Home » ‘කවි සිළුමිණ’

‘කවි සිළුමිණ’

by gayan
December 16, 2023 12:30 am 0 comment

අහිමි පිය සෙනෙහස

නින්දට වැටෙන කල සීතල නිසල රැයේ

අපේ පියතුමාණන් මගෙ සිහියට ආයේ

අමිහිරි අතීතය වෙත සිත යොමු වුයේ

බොඳ වු සිත්තමකි මහදෙහි නිම වුයේ

සමුගති පියාණෝ අපගේ ළදරු වියේ

මා සිවුවැනි වියේ නැඟණිය දෙවැනි වියේ

මගෙ පොඩි මල්ලියා හට නව මසක් ගියේ

සෙනෙහස කැදැල්ලෙන් ඉගිළී යන්න ගියේ

අවසන් ගමන් ගිය හැටි යන්තම් මතකයි

ජන ගඟ ගැලු අයුරු අප නිවසට සිහිවෙයි

බිම පෙරළෙමින් අම්මා ඇඬුවා තමකයි

මළ බෙර මැදින් පෙරහර ගිය හැටි සිහිවෙයි

සරදම් කළත් අප හට දෛවය පිටුපා

මෙවන් විපත් මතු භවයක වන්න එපා

අපහට වන දුක කාටත් වන්න එපා

පතමින් වඳිමි සම්බුදු හිමියන්ගේ දෙපා

විමලා ආරියරත්න


කුමරුණි පෙම්බර

මහද දිනු පෙම්බර

කුමරුණි රෝමියෝ

පරම පිවිතුරු පෙමක

මුදු සුවය විඳ ගන්න

ආදරේ නාමයෙන්

ඒ සොඳුරු සැන්දෑවෙ

නින්දකය මා උන්නේ

සදාකාලික නොවන

මා අසල වැතිර ගෙන

හලා හළ විස බඳුන

හලා ගෙන මුව තුළට

තෙමා ගත්තේ කිමද

ඔබේ උණුසුම් දෙතොල

එකම එක බිඳක් වත්

ඉතිරි නොකරම මවෙත

වාවනුද මා කෙලෙස

සිදුව ඇති මේ විපත

පලක් වේද ඉතින් මට

ඔබෙන් තොර ජීවිතය

සිප ගනිමි ඔය දෙතොල

ප්‍රියේ අවසන් වරට

ඔබේ මුදු බදෙහි රැඳි

දයාබර සිරිය

ඔබ නමින් සෙනෙහසින්

පිරී ගත් මේ පපුව

වේය ඔබ හට නිතින

රැකවරණ දෙන කොපුව

එන්න සුමිතුරාණෙනි

ලැගුම් ගන්නට ඒ තුළ

චන්ද්‍රා රෝහිනී කැටිපෙආරච්චි


වරා මලේ

වරා මලේ ලස්සන

රුව දුටුවාම

අවිහිංසක සිත රැඳුනේ

රෝස දෙකොපුල් අතර

සඳු සේ පායා

තරු සේ ආවා නම්

මා සැනසෙන්නෙමි

අලුයමේ අවදි වී

වස් දොස් බින්දා

ඇස් මගේ වින්දා

හැඟුමන් අවුස්සා

සහනය සෙව්මා

ඔය ඇස් අතර

තාල රාග අතර

තුන් කල හීන බල බල

සයුරේ ගැඹුරයි

ඒ හැඟුමේ…

ඩබ්ලිව්. ජී. තිලිණ සඳරුවන්


හඬන ලක්මව

හැත්තෑපස් වසරක්

පක්ෂ රැසක

බල අරගලේ

ණයයි අද දින

උපන් බිලිඳත්

මේ ලක්බිමේ

මිලින වු සිත් තුළ

බලාපොරොත්තු ඇත

මහ කප්පරක්

එහෙත්

සින්න වී ඇත

අපෙ ලක්මවත්

යු. ලිසාරා තිසාකි උඩකන්ද


අනියත බව

පිටාරය ගලායන සුවඳ ගඟ උතුරවා

සිහිල් නල කැරලි මත රස හැඟුම් සතපවා

පසිඳුරන් සනසවා බමර තත් කිති කවා

කිමද මේ ආත්මය නුහුරු ගමනෙක යවා

සුවඳ ඇති සුවඳ නැති මලෙක වෙනසක් වෙයිද

පියකරුය අපියකරු කියා දහමක් ඇයිද

කුඩා ගස්වල කුසුම් පමණක්ම පර වෙයිද

කැකුළු ලොකු ගස්හි පර නොවන්නට ඉහිරෙයිද

මෝහයෙන් වැඩුණු පුහුදුන් ලොවෙහි බැමි කඩා

ජනිත කළ ගැඹුරු දහමක් පියලි මත කුඩා

ජීවිතේ අනිස පළ කරන නිහඬව හඬා

මැරුණු මල අගෙයි මට පිපුණු මලකට වඩා

ඇම්. ගුණරත්න


නොඑන ගමනක් යන්න

නෑසියොත් යහළුවන් එක තැනක එක්වෙලා

පෝරුවේ සිරිත් ටික නිසි පරිදි සිදු කළා

සැමදෙනගෙ සුබාසිරි මැද නික්ම ආ අපව

මඟුල් බෙර ජයමඟුල් හඬ සමඟ මුසු වුණා

නැකතකට නිවහනට ගොඩ වදින මොහොතෙදි

පිපුණ මල් නැමි නැමී සුබ පැතුම් එක් කළා

ගඟක් හලමින් ඉවුරු දෙක එකට එක් වුණා

පෙම් ලොවේ රජ කිරුළ පලඳින්න හැකි වුණා

සුපුෂ්පිත මල් ගොසින් මිලානව විසිරිලා

නොපැතු දෙයක් නොසිතූ ලෙස කිමද මේ සිදු වෙලා

ලද සතුට සොම්නසක් දිනයකට ලඝු වෙලා

කිමද මේ මුතු අහුර සුදු වතින් හැඩ වෙලා

මා නොදුන් මල් මිටක් සුරත මත දැවටිලා

දෙතොල් දෙකපුල් මිලානව දෙනෙත පියවෙලා

සඳහටම මා මෙලොව හුදකලා කර දමා

නොඑන ගමනක් යන්න මගෙ මැණික සැරසිලා

දීප්ත කරුණාරත්න


නොතේරීම

නටුවේ ඇති කටු සඟවා

දෝතින් මල් නෙළිය හැකී

කළුගල් මුල් මැද වුවත්

දෙපා තබා යන්න හැකී

දෙනුවන දැවටෙන දූවිලි

පිසලා ලොව දැකිය හැකී

මඩ වගුරේ මල් පිපුණම

ඒවා අර ගන්න හැකී

අත්තටු දෙක ගිලිහි ගියත්

දෙපා තබා නැගිට්ට හැකි

දුරස් වෙලා ගියත් නොරට

කෙදිනක හෝ හමු විය හැකි

අහසින් තරුවක් වැටුනම

ඒවා අල්ලනු නොහැකී

ඒ වුණාට කිසි දිනකදි

අහස අඳුරු නම් නොවෙති

මල් සුවඳින් සුපිපුනාම

වැස්සට සේදී නොයතී

මියෙන තුරාවට කිසි දින

මිනිසා හැඳිනිය නොහැකී

මාලිනී ජයසේකර


ඉල්මහ මහ වැහි

අලුයම සිට පරිසරයම පැහැදී රන්වන්

හිරු රැස් බැබළෙන්නේ

මොහොතින් මොහොතට අඳුර මුවාවී මැදියම්

දහවල ජය ගන්නේ

හිරු දෙවි ටික ටික අවරට යන විට අහස

වලාකුළු පැතිරෙන්නේ

මේඝ ගිඟුම් දී ඔහොමයි හවසට ඉල්මහ

මහ වැසි ඇතිවෙන්නේ

අයි. ඩී. නන්දාවතී


අන්ධ බැතිපෙම

විසල් වූ පුද බිමෙහි නෙක දෑ

ගොඩ නඟන්නට ලැබී ඇරයුම්

ඇදෙති සැප රිය බසිති උතුමන්

දෝත පුරවා පුදති මසුරන්

යකඩ කටකින් පතුරුවාලයි

හඬ නඟා ඒ අයගෙ නම් ගම්

හිමිගෙ පා යුග නැමද පිටවෙයි

මහා ධන සිටුවරුන් උතුමන්

පුද බිමට යන එන තැනෙහි රැඳි

අති විසල් වු තොරණ යට හිඳ

නැගෙන කුසගිනි නිවා ගැන්මට

දිවියෙ රැඳි දුක් කම්කටොලු මැද

දෑතෙ සවියට දියණියගෙ අත

රැඳී වියපත් මවක් නෙත් අඳ

දෝත පානා අයුරු නොපෙනෙයි

සිටුවරුන්හට යන එනා සඳ

බඹරැන්දේ ජගත් පත්මසූරිය


පුංචි සමනලී,

“සෙහන්සා”

සුවඳ සමනල් සොඳුරු

මවු සෙවනෙ විදු බිමේ

සිනහා මල් යායෙ පිපි

පුංචි සමනලිය,

“පිනි බිඳක් සේ”

කඩා හැලුනේ ඇයි ද..?

සුවඳ රතු රෝස කුසුම

“සෙහන්සා” සුදු දෝණියේ,

නෙත් දහස් හඬවමින්

රූරනා කඳුළැලි

ඉකිබිඳියි හද පත්ලෙ

නුඹව මිලිනව ගිය සොවින්

දැක සමනලිය නිදනයුරු

වේදනාබර සුසුමක

හඬන වැළපෙන

කඩා හැලෙනා කඳුළක

සොවින් තුරුලතාවෝ

නිමා නොපෙනෙනා “සසරෙ”

නිමා දැක මතු දා

උතුම් නිවසේ සුවය විඳ

සැනසෙන්න රන්කඳ

සමනල් දෝණි වී,

පුංචි සමනලී “සෙහන්සා….”

කීර්ති කපුවත්ත


බාරයක්

බාරයක් වගේ වහිනවා

ඉවරයක් නැතුව

කවරයක් හදලා විකුණා

තුන් දෙනෙක් රැකුණා…

වලාකුළු අහසේ

වෙළුම් පටිවලින් මිදිලා

වෙලාවක් නැතිව

මහා වැහි හැලුවා…

පන්සල් පල්ලි පාසල්

මිනිස් වුන්ගෙන් පිරුණා

රස කෑම ආහාර ජාති

පන්සල් බිමේ පිසුණා…

පුළන්නන් වගේ අපි අතපෑවා

කොතැනකින් හෝ අපේ ජීවිතය ඉරුණා

ඒ ඉරුණ තැන් තවම කොතැනද

හොයාගන්න බැරි වුණා….

සුආසන – රඹුක්කන


සෙවණැලි ඇමතුම

වෙස්වළාගත්, රාත්‍රිවේ ගුප්ත සහකාරියක්,

සඳ එළියෙන් නෑවිලා යන්න යෝජනාවක්

එහෙත්, ආත්මය ප්‍රතිවරෝධය දක්වයි,

උත්සාහයට ගිනි දැල්ලක් සමඟ,

සන්ධයාවේ නිහඬ නිහඬතාවේ,

ඇයි වේ තරේ මෘදු රහසක්, නිහතමානී කරුණාවක්.

ආදරෙන් හොරෙන් එන

රහස් අමුත්තෙක් මෙන්

සෙවණැලි ඇමතුමක්, අභියාචනයක්

නමුත් හදවත නිදහසේ සිටීමට ආශා කරයි…

වෙස්වලාගත්, රහසිගත මනාලිය

දෙනෙත්වල කඳුළක් සේ මුදු ස්පර්ශයකින් ආරාධනා කරයි….

එහෙත් ආත්මය වෙන් කිරීමට කැමති නැහැ

ආදරය සඳහා, ජීවිතය සඳහා, තවමත් උත්සාහ කිරීමට

මාව අතහරින්න

මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක


නොනිම් ආදරේ

ආකාසේ තරු ගනින්න

කවදාවත් කාටවත්ම බෑ

ඒ වගේම පිවිතුරු නම්

ආදරේට වැට බඳින්න

කවදාවත් කාටවත්ම බෑ….

එක පිට එක මුහුදු රැල්ල

වෙරළ බලා පෙරළෙන එක

කවදාවත් කාටවත්ම

නවතන්නට බෑ

ඒ වගේම පිවිතුරු නම්

ආදරේට වැට බඳින්න

කවදාවත් කාටවත්ම බෑ

කේ. ජී. සංඝදාස


කඳුළක පැතුම

අහස් කළුවටත් වඩා

ඝනදුරු කළුවත්

මේඝ වලාවෙන් වට

හදේ අහස් දිය….

ඔබේ ආදරයේ

සීමා මායිම් වසන් කරන්නට

උතුරා දෙගොඩතලා

යන සතුට ගංවතුරක්ම වේවා…

සියලු අනාදරයේ

සැක මුසු තැන්

වහන් කරන්නා වූ

අවිශ්වාසයේ උස් මිටි තැන්

සම කරන

සැඩ ගංවතුරක්ම වේවා…

නයන්ත ජගත් පුංචි හේවා

ඔබේ කවි නිර්මාණ ‘කවි සිළුමිණ’

සිළුමිණ, ලේක්හවුස්, කොළඹ – 10

ලිපිනයට යොමු කළ හැකිය.

දුරකතනය 011 2429269

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division