Home » බදු නැවැත්වීම හෝ අඩු වැඩි කිරීම තීරණය වෙන්නේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි

බදු නැවැත්වීම හෝ අඩු වැඩි කිරීම තීරණය වෙන්නේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව ඇති බව පසුගිය දිනක නිවේදනය කරනු ලැබිණි. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදු කර තිබිණි.  

දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවන වාරිකය ලබා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමිවීම තුළින් ශ්‍රී ලංකාව බංකො­ෙලාත්භාවයෙන් මිදුණු රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව ද ශ්‍රී ලංකා රජය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)දෙවැනි වාරිකය අනුමත කිරීම සඳහා විවිධ කොන්දේසි පනවා තිබිණි. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම එහි පළමු වැනි කොන්දේසිය වෙයි. දෙවැනි කොන්දේසිය වන්නේ රාජ්‍ය වියදම පාලනය කර ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ IMF වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්න්ධවයි. අපේ රටේ දුර්වල බදු ක්‍රමයක් ඇතැයි යන මතය නිසා ශක්තිමත් බදු ක්‍රමයක් ඇති කරලීමට ඔවුන්ගේ අවධානය ඒ කෙරෙහි ද යොමු විය. ශක්තිමත් බදු ක්‍රමයක් ලෙස ඔවුන් යෝජනා කර ඇත්තේ බදු අනුපාත වැඩි කිරීමයි. අනෙක් කරුණ නම් බදුවලට යටත් වන පිරිස වැඩි කර ගැනීම සඳහා බදු දැල පුළුල් කිරිමයි. අර්බුදයට පෙර ලක්ෂ තුනක් ආදායම ලැබූ පුද්ගලයකුට බදු ගෙවීමට සිදු විය.

නමුත් මේ වන විට ලක්ෂයක ආදායම මසකට ඇති අයකුට ද බදු ගෙවීමට සිදු වෙයි. එනම් මසකට ලක්ෂයක ඉපැයීමක් ඇති අයට 6% සිට 36% දක්වා බදු අය කිරීමක් සිදු වෙයි. මෙලෙස බදු දැල පුළුල් කර ඇත. එසේම අවුරුදු 18 වැඩි අයට බදු ලිපි ගොනුවක් ආරම්භ කිරිමට යෝජනාවක් අය වැයෙන් යෝජනා කෙරිණි. එසේ ම බදු අනුපාතය ශීඝ්‍ර ලෙස වැඩි කර ඇත. වැට් බද්ද මේ වන විට 18%ක් දක්වා වැඩි කර ඇත. ඒ පමණක් නොව වැට්වලට අයත් වන ව්‍යාපාර සහ භාණ්ඩ සංඛ්‍යාව පුළුල් කර ඇත. මෙය IMF බලාපොරොත්තු වූ කරුණකි. මෙහිදී මේ බදුවලට නීත්‍යනුකූල භාවයක් ලබා දිය යුතු නිසා මෙවර අය වැයේ යෝජනා ලෙස මේවා ඉදිරිපත් කෙරිණි. IMF දෙවැනි වාරිකය ලබා දීමට පෙර එය සැලසුම් කෙරිණි. අය වැය ලේඛනය ඒ අයගේ යෝජනාවලට අනුකූල ද නැති ද යන කරුණ දෙස බලා විවිධ උද්ඝෝෂණ විවාද මධ්‍යයේ වුව ද ආණ්ඩුව ඉහළ බදු පුළුල් කිරීමට කටයුතු කරන ලදී. විශාල බදු ආදායමක් සඳහා බදු දෙපාර්තමේන්තුව මෙහෙය වීමට ද හැකි විය. අය වැය යෝජනා ඔස්සේ පාර්ලිමේන්තුවෙ බලය ද ලබා ගන්නා ලදී .

රජය අනුගමනය කළ මේ ප්‍රතිපත්ති සඳහා ප්‍රශංසාවක් ලෙස IMF දෙවැනි වාරිකය ලබාදීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා රජය ඒ අයගේ කොන්දේසි පිළිගත්තා යන අදහස ඔවුන්ට ලැබිණි. එයින් සෑහීමකට පත්වීම දෙවැනි වාරිකය නිදහස් කරන්නට එක් හේතු සාධකයක් විය හැකියි. රජයේ වියදම් පාර්ශ්වය ගත් විට IMF එක තෘප්තිමත් යැයි කිව නොහැකියි.

දළ දේශීය නිෂ්පාදිතය ගත් විට 9% ඉහළම අය වැය හිඟයක් වෙයි. මෙතරම් හිඟයක් පවත්වා ගන්නවාට IMF කිසිදු කැමැත්තක් නොදක්වනු ඇත. ඔවුන්ගේ අදහස වනුයේ අය වැය හිඟය 4% පමණවත් සීමාවක තබා ගත යුතු බවයි. නමුත් බදු ආදායම වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදයක් ඇති බව දක්නට ලැබෙයි. මේ දෙවැනි වාරිකය නිදහස් කර ගැනීමේදී ඩොලර් මිලියන 337ක් යනු විශාල මුදලක් නොවෙයි. මක්නිසාදයත් මෙරට විදෙස් අදායම සලකා බැලීමේදී සාමාන්‍ය ඩොලර් මිලියන 2000ක ප්‍රමාණයක් අනිවාර්යෙන්ම මාසිකව හිමි වෙයි. එලෙස මාසික ආදායමක් ලැබෙද්දී මේ IMF විස්තීර්ණ ණය මුදල ලැබෙන්නේ වසරකට වැනි කාලයකටයි. මෙය ඉතා කුඩා විස්තීර්ණ ණය මුදලක් වුවත් IMF සමඟ ගනුදෙනු කිරීම තුළ රටකට ආර්ථිකමය අංශයෙන් සලකා බැලීමේදී ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබෙයි. මේ මුදල IMF මඟින් ලබාදීම අනෙක් ලෝකයේ මූල්‍ය ආයතනවලට දෙන සහතිකයක් බඳු වෙයි. ශ්‍රී ලංකා රජය IMF ජාත්‍යන්තර කොන්දේසිවලට අනුගත වී ආර්ථික කළමනාකරණය සහ මනා පාලනයක් කර ගත්තා යන අදහසක් එයින් ලබා දෙයි. මේ සහතිකය ආණ්ඩුවට වැදගත් වෙයි. ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා බංකොලොත් තත්ත්වයේ සිටි රටකට මේ සහතිකය වඩා වැදගත් වන්නේ ඒ හෙයිනි. මේ වන විට වාහන හැරුණු කොට අනෙක් ආනයනිකයන් සියල්ලම නිදහස් කිරීම සිදුවී තිබේ. විදෙස් ප්‍රමිතීන්ට අනුගත වී ආර්ථිකය මනා පාලනයක් සිදුවී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ ඇත. විදෙස් සංචිත බිලියන තුනහමාර ඉක්මවා ඇත. ඒ නිසා පසුගිය වසරේ තිබුණ තැන අද රට නොපවතීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු.

නමුත් IMF මඟින් දෙනු ලබන සහතිකය අපිට වඩා වැදගත් වෙයි. ඒ සහතිකය මත පදනම් වී ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අනෙක් ණය හිමියන් කැමැත්ත පළ කර ඇත. ඒ ණය හිමියන්ට IMF එක වඩා ප්‍රසාදයෙන් සිටින බවට යම් පණිවුඩයක් ලබා දෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණය කරමින් සිටින නිසා සුබවාදී ලෙස ඔවුන් මේ දෙස බලනු ඇත. ඒ නිසා මූල්‍ය අරමුදලින් ලංකාව හොඳ මාර්ගයකට අවතීර්ණ ඇති බවට යම් සංඥාවක් මේ විස්තීර්ණ ණය මුදලින් අනෙක් රටවලට දී ඇත. පෙර ලෙස පොරොන්දු වූ පරිදි ණය ගෙවීමට හැකි රටක් බවට පත්වීමට මෙය හොඳ අවස්ථාවකි. මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇතැම් රටවල් කැමැති වීම මෙරට රජය ලද ජයග්‍රහණයකි.

එසේම IMF සතුටු වන ආකාරයට ඉල්ලීම් සපුරා ඇති වීම සුවිශේෂිත කරුණකි. රජය ආර්ථික අගාධයකට එනම් පතුළට ගිය පසුව කිසිදු දිනයකට එකවර උඩට ඒමට නොහැකිය. හිමින් දීර්ඝ මාවතක් ඔස්සේ පැමිණිය යුතුයි. අපි ආර්ථිකය නිවැරදි මාවතකට හරවා ගත යුතු වෙයි. ඒ නිවැරදි මාවතේ ගමන් කරන විට අපේ ආර්ථික වර්ධනය ධන මට්ටමකට නැවත ගෙන ආ හැකිය. අපේ ආර්ථික වර්ධනය 4%ක් 5%කට වත් ගෙන එනු ලැබුණ හොත් එය යථා තත්ත්වයට පත් කරගත හැකිය හැකි වෙයි. සාර්ව ආර්ථික දර්ශකය දෙස බැලූවිට එහි වන ප්‍රගතියෙන් නිවැරදි දිශාවකට ගමන් කරන බව අපිට පැහැදිලි කර ගනු ලැබිය හැකිය. උද්ධමනය 90%කින් ඉහළ යන බව අපි දුටුවෙමු. නමුත් දැන් වන විට 2% දක්වා පහත් උද්ධමන වේගයක් පෙන්නුම් කරනු ලබයි. මෙය ඉතාම හොඳ ප්‍රවණතාවයකි.උද්ධමනය පාලනය කර ගැනීමට හැකි වීම ඉතාමත් හොඳ ජයග්‍රහණයකි.

අපේ විදෙස් විනිමය හිඟය සම්බන්ධයෙන් ගත් විට මිලියන 10කටත් අඩු ප්‍රමාණයක් තිබූ මහ භාණ්ඩාගාරය අද වන විට මිලියන 3,600ක් පමණ වෙයි එනම්; බිලියන 3.5 ඉක්මවූ විදෙස් සංචිත ප්‍රමාණයක් ඉතිරි වී ඇත. රටේ තිබූ ඩොලර් පිපාසාව මේ වන විට පහව ගොස් තිබෙයි. අපේ ඩොලර් ඉප­ැයිම සහ වියදම බොහෝ හොඳ මට්ටමකට පාලනය කරගෙන ඇති තත්ත්වය ප්‍රශංසනීය වෙයි. පසුගිය කාලවලදි මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ නැව් මඟින් ගෙන එනු ලැබුවත් ඒ කිසිවක් මිලදී ගැනීමට මහ බැංකුවට මුදල් නිදහස් කිරීමට හැකියාවක් නොතිබිණි. මේ වන විට පෙට්‍රල් ඩිසල් පෝලිම් නැති, සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි ඇති විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙයි. ඩොලරය රුපියල් 400ට වැඩි වුවත් අද වන විට එය රුපියල් 327ක් දක්වා අඩුවී තිබෙයි. එය විශාල ප්‍රගතියක් ලෙස හැඳින්විය හැකියි. රුපියල ශක්තිමත් වීම වැදගත් කරුණකි. එය භාණ්ඩවල මිල උච්ඡාවචනය වීම වළකාලන කරුණකි. අපි ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යන ලදි.

භාණ්ඩ ආනයනය කිරීම ඔස්සේ දේශීය මුදල පිරිහීමෙන් විශාල උද්ධමනයක් සිදු විය. එය ආනයනික උද්ධමනය ලෙසින් සැලකෙයි. දේශීය මුදල පිරිහීම අඩුවී රුපියල ස්ථායි වී ඇත. ආනයනය කරන භාණ්ඩ මිල ස්ථායි මට්ටමක පවත්වා ගැනීමට මෙය වැදගත් වෙයි. මේ ලැබූ ජයග්‍රහණ රටක් ලෙස වැදගත් වෙයි. යම් තනි පුද්ගලයකුට එක් වරම වැටුප් වැඩි නොවුණත් භාණ්ඩ මිල අඩු නොවිය හැකි වුවත් රට යම් ස්ථාවරයකට පැමිණ තිබීම ඉතා වැදගත් වෙයි. මේ සියල්ල අපි ලබපු ජයග්‍රහණයි.

මේ විස්තීර්ණ ණය පහසුකම ලැබුණේ ක්‍රමානුකූලව අපි මේ බංකොලොත්භාවයෙන් ගොඩ එනු ලබන නිසයි. මෙරට ජයග්‍රහණ රැසක් අත් කරගෙන ඇති බව අපි දනිමු. ඒ ප්‍රශංසාව මත මේ විස්තීර්ණ ණය මුලද ලබා දෙමින් ඉදිරි කටයුතු කර දී ඇත. අපේ රටේ ආර්ථිකය වැඩි වෙන වේගය අනුව එනම් අපේ ප්‍රගතිය අනුව ණය වාරික ලබා දෙනු ලබයි. ඩොලර් මිලියන අටක් ගෙවීමට ඇත. පෙර තිබූ ප්‍රතිරූපය නැවත ඇති කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපේ රට සමඟ ගනුදෙනු කළ නොහැකි රටක් බවට පත්වීමෙන් දැන් මිදී ඇත. පසුගිය කාලය පුරා ණයවර ලිපි නිකුත් කිරීමට ද නොහැකි විය. විදේශීය බැංකුවකින්වත් අපේ ණයවර ලිපි පිළිනොගන්නා තත්ත්වයකට අපි පත්විය. එකවර දෙපයින් නැඟී සිටින්නට නොහැකි නම් අපිට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමෙන් යම් සහයෝගයක් ලබා ගැනීමට සිදු වෙයි. ඒ විශ්වාසය IMF මඟින් අපිට ලැබී තිබෙයි. ඊළඟ වාරිකය ලැබුණු විට විශ්වාසය තහවුරු වී මෙරට ආර්ථිකය පිළිබඳව තවත් ලෝකයට විශ්වාසය ඇති වෙයි. ණය ගෙවීමට නොහැකි රටක් බවට නොව නැඟිටින්න හැකි රටක් ලෙස තහවුරු වෙයි.

අපි මේ දෙස ආපසු හැරී බැලිය යුතුයි. ආණ්ඩුවට මෙච්චර සල්ලි හිඟයක් ඇති වූයේ ඇයි යන කරුණ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි. හැකි තරම් පිටරටිනුත් දේශීය වශයෙනුත් ණය ලබා ගෙන සමාජ සේවා සුබ සාධනය වඩා වැඩියෙන් සැලසීම සිදු විය. මෙය රටකට දරාගත නොහැකිය. සියලු ආණ්ඩු යටතේ රජයේ රැකියා ලබාදීම සිදු විය. මේ සියල්ල ආර්ථික වශයෙන් ඵලදායී නොවන දේ වෙයි. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි දේ හැරුණ විට අනික් හැම අංශයක්ම එතරම් ඵලදායී දේවල් නොවෙයි. මුදල් අච්චු ගැසීමෙන් වැටුප් ගෙවීම් සිදු විය. මහ ජනතාව උද්ධමනය වැඩි වීම ගැන පමණක් දනී. බඩු මිල අඩු වීමට අවශ්‍ය නම් රජය මුදල් මුද්‍රණයක කළ යුතුයි. සහන දෙන්න නම් අදායම් තියෙන තැන්වලින් බදු ලබාගත යුතුයි. මෙය ආර්ථිකයේ චක්‍රයකි. එක තැනකින් ලබාගෙන තවත් තැනකට දීමට වඩා කාර්යක්ෂමතාව දෙස බැලිය යුතුයි. බදු නැවතිය නොහැකියි. බදු නැවත්වීම, අඩු වැඩි කිරීම තීරණය වෙන්නේ අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් භාවය මතයි. රට ගොඩනැඟීමට නම් සියලු පාර්ශ්වයන් විසින් කැපවීම් කළ යුතු වන්නේ ඒ නිසාවෙනි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division