Home » රූපලාවණ්‍යාගාරයක බලය වැඩි කරන වයඹ දිසාවේ මුහුණ බලන කණ්ණාඩිය

රූපලාවණ්‍යාගාරයක බලය වැඩි කරන වයඹ දිසාවේ මුහුණ බලන කණ්ණාඩිය

by thanushika
December 16, 2023 12:35 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

වත්මන් සමාජයේ ස්ත්‍රී පුරුෂ තරුණ දෙපක්ෂයේ අය තම රූසපුව රැක ගැනීමටත් තව තවත් ලස්සන වීමටත් සෑම විටම උත්සාහ කරන බැව් නොරහසකි. පැරණි කාන්තාවන් සිය රූ සපුව රැක ගැනීමට දේශීය රුව වඩන දේශීය ශාකසාර ඖෂධීය ආලේපන වර්ග උපයෝගී කර ගන්නා ලදී.

වර්තමානයේ බොහෝ දෙනෙක් විදේශීය වෙළඳපොළ හරහා මෙරටට ආනයනය කරන ලද විවිධ අන්දමේ ආලේපන වර්ගවලට හුරු වී ඇත. මෙවර සටහන් කරන්නට යන්නේ රූසපුව වඩන ස්ථානය නැත්නම් රූපලාවණ්‍යාගාරය සැලසුම් කරන අන්දම සොයා බැලීමටයි. වාස්තු විද්‍යානුකූලව ගොඩනඟාගත් ගොඩනැඟිල්ලක හෝ එසේ නැත්නම් කාමරයක් ඇතුළත බ්‍රහ්ම පාදය අවහිර නොවන සේ තබා ගැනීම ඉතාම වැදගත් වේ.

දිශානුගත කිරීමේදී වර්ණ ජාලය කාන්දු වන නැඟෙනහිර, ඊසාන, උතුර අවහිර නොවන සේ තබා ගන්න. වයඹට මුහුණලා කණ්ණාඩිය තැබීම සුදුසුය. එසේ නැත්නම් සේවාදායිකාවගේ මුහුණ ඊසාන, උතුර හෝ නැඟෙනහිරට සිටින සේ සිටීම ධනාත්මක වේ. මුහුණේ දහදිය, තෙල් හා දූවිලි වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමටත් ආලේපනයන්ට ද සම්බාහනයට ද සුදුසු වේ. උතුරු දිසාවේ රන් රිදී මුතු මැණික් මෙන්ම ලෝහ වර්ග තැබීමට සුදුසුය. ශාරීරික සම්බාහනයට උතුර, ඊසාන, නැඟෙනහිර සුවිශේෂි වේ. හිස උතුරු දිශාවට නොදමා ඇඳ තැබීමට යොදා ගන්න.

වාස්තු විද්‍යානුකූලව ළා කොළ පැහැය, රෝස පැහැය, ළා තැඹිලි පැහැය, ක්‍රීම් වර්ණය වැනි ළා වර්ණ මෙන්ම උණුසුම් තද වර්ණ ආලේපනය අයහපත්ය.

ඇසට ප්‍රිය උපදවන කලාත්මක සෞන්දර්යාත්මක වර්ණාලේපය ඉතාම සුබය. රතු පැහැති මල් (රෝස වඩාත් සුදුසුය) පෝච්චියක් තබන්න. දිග උල් සහිත කටු ඇති ශාක වර්ග අහිතකරය. මුහුණට පිටතින් ලැබෙන ආලෝකය වඩාත් යහපත්ය. ගිනිකොන මේ කිසිවකට යහපත් නැත. ඒ අග්නිකාරකීය නිසාය. මනාලියන් හැඩ ගැන්වීමට නිරිත දිශාවේ සුබයි. සම පෝෂණය කරන වර්ණ යොදා ගන්න. දේදුනු වර්ණ පදාසයන් මිනිස් සිරුරට අදාළ තරංග චක්‍ර ආයාමයන්ට අනුබද්ධයි.

තවද ජීවිතයේ මූලික ක්‍රියාකාරිත්වයට වර්ණ බලපෑම් හිත කරයි. සිරුරේ සෞන්දර්ය රිද්ම රටා වියමන ඔප් නංවන ක්ෂේම භූමිය රූපලාවණ්‍යාගාරයයි. තවද රූපලාවණ්‍ය ශිල්පිනියගේ ලග්නයට උචිත කලාත්මක වර්ණ පමණක් යොදා ගන්න. රූමතියන් තම සිරුර තව තවත් ඔප් නංවා ගැනීමට පා තබන්නේ ද දහසක් කලාත්මක සිතුවිලි මනසේ පුරවාගෙනය. එය හරිහැටි ඉටුකර දීමට රූපලාවණ්‍ය ශිල්පිනිය සෑම අතකින්ද උපක්‍රමශීලී විය යුතු වේ. වාස්තු දේව පූජාවක් කරන්නේ නම් වඩාත් සුබදායක වේ.

වාස්තු විද්‍යාවට අධිපති ශ්‍රී මහා විශ්වකර්ම දෙවිඳුන්ගේ චිත්‍රය ඉදිරියේ බුලත්, පාට මල් 5ක්, පලතුරු 5, කැවිලි 5, පස්ගෝරස චතුමධුර මී පැණි, සුදු හඳුන් කෑල්ලක්, රන් රිදී මුතු මැණික් ආදිය තබා එළඟිතෙල් පහනක් දල්වා අෂ්ටගන්ධ ධූපයෙන් සුවඳ දුම් අල්ලා වාස්දේව පූජාව කිරීම ඉතාම සුබදායක වේ.

මන්ත්‍රය :- ඕං හ්‍රීං මහා විශ්ව කර්ම දේව

නමෝ නාරායන නමඃ

මේ මන්ත්‍රයෙන් කහ දියරවලට මතුරා දෙහි අත්තෙන් රූපලාවණ්‍යාගාරය තුළ ඉසින්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division