Home » පරපුරට කුලයට පහනක් බඳු කුලදීපක යෝගය

පරපුරට කුලයට පහනක් බඳු කුලදීපක යෝගය

by thanushika
December 16, 2023 12:31 am 0 comment

යමෙක් උපදින අවස්ථාවේදී ග්‍රහ තාරකාවන්ගේ ආකර්ෂණ බලය ප්‍රබලව ගෙන දේ නම් ඒ අයට ලෞකික ජීවිතය ඉතා වාසනාවන්ත ලෙස ගත කිරීමට පිළිවන. යම්කිසි කෙනෙක් ප්‍රබල සුබ ග්‍රහ යෝගවලින් ජනිත වුණි නම් සැප සම්පත්වලින් අඩු නැති ජීවිතයක් ගත කිරීමට හැකි බව ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත. ප්‍රබල සුබ යෝගවලින් උපන් ඇතැම් අයගේ ජීවිතයේ මුල් අවදිය කරදර සහිත විය හැකිය. ඇතැමුන්ගේ ජීවිතයේ මැද කොටසක් තවත් කෙනෙකුගේ ජීවිතයේ අග කොටසක් කරදර බාධක සහිත විය හැකිය.

මෙසේ වීමට හේතුව යමෙක් ඉපදී ඇත්තේ ප්‍රබල සුබ යෝගවලින් වුවද උපතේදී ග්‍රහයින් දුෂ්ට ස්ථානවල සිටී නම් එම ග්‍රහයන්ගේ මහ දශා, අතුරු දශාවලදී ඉහත කී ප්‍රබල සුබ යෝගවල ක්‍රියාකාරීත්වය මර්දනය කර අසුබ පල දීමට පටන් ගනී. එසේ වුවද අසුබ මහ දශා, අතුරු දශා ගෙවී ගිය විට යළිත් සුබ ග්‍රහ යෝගවල සුබ පල උදා කෙරේ.

මෙයට උදාහරණයක් ලෙස අප බුදුරජාණන් වහන්සේ පංච මහා පුරුෂ යෝගවලින් උපත ලැබූවද අපල කාල ගෙවූ බව සඳහන් කිරීමට පිළිවන. බුදුරජාණන් වහන්සේට සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයක් ලැබූ විටදී දුක් කරදර සහ වධ බන්ධන ආදියට ලක් වූ බව බුදු දහමේ පොත්වල සඳහන් වේ. සිය පරපුරට, කුලයට පහනක් බඳු ‘කුලදීපක යෝගය’ ඔබේ කේන්දරයේ තිබේ දැයි බලාගත හැකි උදාහරණයක් ගෙනහැර දැක්විය හැකිය.

යමෙක් ඉපදී ඇති ලග්නයෙන් තුන්වැන්නේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ද, එකොළොස්වැන්නේ සඳු හෙවත් චන්ද්‍ර ග්‍රහයා ද සිටී නම් ඔබ ඉපදී ඇත්තේ කුලදීපක යෝගයෙන් බව සිතාගත හැකිය. මෙම යෝගය වඩාත් ප්‍රබල වන්නේ තුන්වැන්නේ ගුරු උච්ඡක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් ද එමෙන්ම සඳු එකොළොස්වැන්නේ උච්ඡක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් බව සඳහන් කිරීමට පිළිවන.

කුලදීපක යෝගයට නිදර්ශනයක් ගෙන බලන කල මෙසේය. යමෙක් වෘෂභ ලග්නයෙන් උපන්නේ නම් 3 වැන්න වූ කටක රාශියේ ගුරු සිටීමෙන් 11 වැන්නේ සඳු සිටීමත් ගෙනහැර දැක්විය හැකිය. තවත් නිර්දේශයක් ලෙස කටක ලග්නයෙන් උපන් අයකුගේ 11 වැන්නේ සඳු සිටීමත් 3 වැන්නේ ගුරු සිටීමත් හේතු කොටගෙන කුලදීපක යෝගය උදාවන බව පෙන්වා දිය හැකිය.

මෙම යෝගයෙන් උපන් අය සිය කුලයට රජෙක් හා සමානව කටයුතු කරති. උපන් ප්‍රදේශයට පළාතට ප්‍රධානියෙක් වේ. පරිපාලන කටයුතුවලට ක්‍රීඩාවට දක්ෂයෙක් වේ. සේවක සේවිකාවන්ගෙන් වැඩ ගැනීමට හැකි දක්ෂකම් පෙන්වන මෙම යෝගයෙන් උපන් අය තම පරපුරට කුලයට මිණි පහනක් වැනි යැයි ජ්‍යොතිෂයේ පෙන්වා දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division