Home » යහපත් ගතිගුණ ඇති පෞරුෂ අංක 8 හිමියෝ

යහපත් ගතිගුණ ඇති පෞරුෂ අංක 8 හිමියෝ

by thanushika
December 16, 2023 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක

16පෞරුෂ අංකයට අදාළ පලාපල සඳහන් කිරීමට ප්‍රථම ඔබ පෞරුෂ අංකය සොයාගන්නා ආකාරය දැනගත යුතුය. ඒ සඳහා මුලින්ම කොළයක ඉංග්‍රීසි භාෂාවෙන් ඔබගේ සම්පූර්ණ නම ලියාගත යුතුය. (ඊට වාසගම අවශ්‍ය නොවේ) ඉන්පසු රූපසටහනේ පෙන්නුම් කරන ආකාරයට ඔබගේ නමේ අකුරුවලට යෙදෙන අංක සටහන් කරගත යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ සඳහන් a e i o u යන ස්වර අකුරුවලට අදාළ අංක අතහැර අනිකුත් අක්ෂරවලට අදාළ අංක පමණක් සටහන් කර ගැනීමයි. ඉන්පසු එම අංක තනි අංකයක් වන තුරු එකට එකතු කරගත යුතුය. ඊට උදාහරණයක්ද පළ වේ.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි පෞරුෂ අංක 8 හිමි ඔබ ඉතාමත් යහපත් ගතිගුණ ඇති හිත හොඳ පුද්ගලයන් ලෙස හඳුන්වන්නට පුළුවනි. මේ අය තමාගේ ස්ථාවරත්වය පිළිබඳ ජීවිතයේ මුල් කාලයේ සිටම කල්පනා කළ යුතු වෙයි. ජීවිතය පුරාවටම අස්ථාවර වීම් ගණනාවකටම මුහුණ දෙන්නට සිදු වුවත් උත්සාහය අතහරින්නට කැමති නැති නිසා කෙසේ හෝ තම ඉලක්ක අරමුණු ජයග්‍රහණය තෙක් මෙහෙයවයි. මොවුන් තමා පිළිබඳව වැඩිපුර කල්පනා කරයි. යම් දෙයක් හිතට වැටුණොත් එය කෙසේ හෝ තමාට උරුම කරගැනීමට උත්සාහ දරයි.

පෞරුෂ අංක 8 හිමි ඔබ ඇසුරු කරන කාටත් හිත හොඳින්ම උදවු පදවු කිරීමට ඉදිරිපත් වෙයි. එසේම කොතරම් පිරිස හිටියද තමාගේ බොහෝ කටයුතුවලදී මුහුණ දීමට සිදු වන්නේ තනිවමය. විනෝදයට සහ විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කිරීමටද කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවල තමාගේ කටයුතු හුදෙකලාව කරගැනීමට මොවුන් පෙලඹෙයි.ඇඳුමින් පැලඳුමින් මෙන්ම කතාබහෙන් ද බාහිර කරුණුවලින් ද තමාගේ පෞරුෂය පිළිබිඹු වන ආකාරයට කටයුතු කිරීම මොවුන්ට ඉතා වැදගත් වෙයි.

එසේ පෞරුෂ අංක 8 හිමියන් සමාජය තුළ කටයුතු කරන ආකාරය අනුව අන් අය පහසුවෙන් අවනත කරගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. කෑමබීම සහ වැරදි ආහාර පුරුදුවලින් මොවුන් වඩාත් ප්‍රවේසම් විය යුතු වෙයි. මත්ද්‍රව්‍ය භාවිතය වැනි දේවලින්ද වඩාත් ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය. පහසුවෙන් වැලඳීමට ඉඩ ඇති හෘද රෝග ආදිය පිළිබඳ පෞරුෂ අංක 8 හිමියන් කල් තියා වඩාත් ප්‍රවේසම් සහගතව කටයුතු කිරීමට සිතේ තබා ගැනීම හොඳය. තවද මොවුන්ට හොඳ ආත්ම ශක්තියක් මෙන් ම ආත්ම විශ්වාසයක්ද පවතී. කෙසේ වෙතත් ඔබ අන් අය ඉදිරියේ ඉතා හොඳ පෞරුෂයක් ඇති අයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ දරන ගතිය පවතී.

අන් අයට විශේෂ බලපෑමක් කිරීමේ ශක්තියක් හැකියාවක් ඔබට නිරායාසයෙන්ම ලැබී තිබේ. තමාගේ ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරයි. තමාගේ තත්ත්වය රැකගෙන කටයුතු කිරීමට කෙසේ හෝ උත්සාහ දරයි. නායකත්වය දැරීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. අන් අය කෙරෙහි තම ආධිපත්‍යය පැතිරීමේ ස්වභාවය ඔබ තුළ පවතී. ජීවිතය පුරාවට එක පිට එන බාධා අභියෝග හමුවේ නොසැලී ක්‍රියා කරන පෞරුෂ අංක 8 හිමි ඔබට ‍තම දුර්වලතා හඳුනාගෙන ක්‍රියා කිරීම තුළ වැඩි උත්සාහයක් නැතිව සාර්ථකත්වය කරා පියමං කිරීමේ භාග්‍යය සහජයෙන්ම හිමිව තිබේ.

පෞරුෂ අංක 9 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division