Home » සුබ ගමනට නිවෙසින් පිටත් වීමට පෙර මේ අසුබ ලකුණු මඟ හරින්න

සුබ ගමනට නිවෙසින් පිටත් වීමට පෙර මේ අසුබ ලකුණු මඟ හරින්න

by thanushika
December 16, 2023 12:31 am 0 comment

සුබ ගමනක් යන විට වතුර වීදුරුවකට සුදු මල් ප්‍රමාණයක් දමා මව හෝ වාසනාවන්ත කාන්තාවක් ඉදිරියට පැමිණීම අප සමාජයේ පැවත එන සිරිතකි.

එසේම එතෙර සංචාරයකට හෝ රැකියාවකට යාමේදී පෙරමඟ සුබ නිමිති බලා යාමද වැදගත්ය. එසේ වැදගත් ගමනක් පිටත් වීමේදී රාහු කාලය මඟ හැර සුබ හෝරාවක් බලා පිටත්වීමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. එසේ නොසිතා නොබලා ගණන් නොගෙන යාමේදී කරදර බාධක විපත් ගෙන දුන් අවස්ථා අත්දැකීම් අනුව දනිමු.

1990 දී මම කුවේට් රට බලා පිටත් විමී. මා පෙරට යන විට ඉදිරියට හමු වූයේ අඩක් පිරුණු භුමිතෙල් බෝතලයක් රැගත් කනවැන්දුම් මහලු ස්ත්‍රියකි. අසුබ නිමිත්තක් බව වැටහුණ නමුත් ආපසු හැරී ඒමට නොසිතුවෙමි. මම කුවේටය බලා ගියේ මගේ නාට්‍ය පිටපතක් එහි කලාකරුවෙකු විසින් කලා ලැදි පිරිසක් සමඟ වේදිකාගත කිරීමට යන නාට්‍යයක විශේෂ ආරාධිත අමුත්තන් ලෙසය. එහි නාට්‍ය දර්ශනයට සහභාගී වී සිය රට බලා ඒමට ප්‍රථම එනම් 1990 අගෝස්තු 1 දා ඉරාකයේ සදාම් හුසේන් ජනාධිපතිගේ ආක්‍රමණික හමුදාව විසින් කුවේටය අල්ලා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් සති දෙකකට එහි ගිය අපට ඒමට සිදු වූයේ ඉතා අසීරු තත්ත්වයකට පත්ව යුද ගිනිදැල් මැදින් රටවල් කීපයක් හරහා දින 45 කට පසුවය. අප ගෙන ගිය බඩු මුට්ටු, ලැබුණ තෑගිබෝග සියල්ලම අහිමිව ඇඳිවතින් ඒමට සිදු විය.එදා ‘පෙර නිමිත්ත’ කියා පෑවේ මතු සිදුවන විපතක ලකුණුය.

සුබ හෝරාව, පක්ෂියා රජවන වේලාව, බලා ගියත් පෙරමඟ පෙරනිමිති ගමනේ සුබ අසුබ ප්‍රතිඵල සංකේතවත් කරයි.

පිටත්වන විට හූනන් ‘චික් චික්‘ හඬ නැඟීම, බල්ලා කන්පොට ගැසීම ගමනේ බාධාව කියාපායි. ලණු ආයුධ රැගෙන ඒම අසුබ නිමිත්තකි. පිටත්වන විට පය පැකිළීම, පුටුවක හෝ පය වැදීම ද එසේය. යාචකයන්, අංගවිකල වූවන්, තුවාලකරුවන්, හිස් බඳුන්, කළ ආදිය රැගත් අය, හිස් වාහන ප්‍රතිඵල හිස් බව කියාපාන්නකි. බල්ලෙකු පෙරමඟ කැත කිරීම, බල්ලන් මෛථුනයේ යෙදීම, කපුටෙකු හරහා පියඹා යාම, බළලෙකු හරහා දිවීම, අවි ආයුධ රැගෙන එන්නන්, පොල්කිච්චෙකු පෙරට ඒම අසුබ සිද්ධියක පෙරනිමිතිය. කළු ඇඳුම්, රතු ඇඳුම් ඇඳ එන අයද, දර ඉපල් රැගෙන එන අයද අසුබය.

මල් රැගෙන එන අය, ගමන්මලු, බඩු මුට්ටු පුරවා රැගෙන එන අය, දරුවන් වඩාගෙන එන අය, වතුර කළ පුරවාගෙන එන අය, සිනාමුසු මුහුණින් එන තරුණ තරුණියන් ළමුන් සුබය.

සැලළිහිණි සංදේශ කාව්‍යය රචනා කළ ශ්‍රී රාහුල හිමි දූතයා වූ සැලළිහිණියාට කැලණියේ විභීෂණ දෙවොල වෙත යාමට පෙර මංසලකුණු ගැන මෙසේ සඳහන් කළ සේක.

නැකතටත් වඩා පෙර මඟ සුබ නිමිති වැදගත් බව මේ කවියෙන් පෙන්වා දී ඇත.

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩී

පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි

සල සුදු සෙමර සේසත් ගිජිඳු නොද වැඩී

බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජේ.ඒ.ඩී. පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division