Home » සඳු ග්‍රහයා මූලික කරගෙන සත්පත්තිනි මෑණියන්ට පූජාවක් තබන්නේ මෙහෙමයි

සඳු ග්‍රහයා මූලික කරගෙන සත්පත්තිනි මෑණියන්ට පූජාවක් තබන්නේ මෙහෙමයි

by thanushika
December 16, 2023 12:30 am 0 comment

ධනය, බලය, කීර්තිය, නව නිපැයුම්, නිර්මාණ ශක්තිය, කලාව වචනයේ පරිසමාප්තියෙන් පැවසුවහොත් ජ්‍යොතිෂයේ මව හෙවත් අපේ කේන්දරයේ ඉතා වටිනා තැනක් ගන්නේ චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයායි.

මේ සෞම්‍ය, සුකුමාල ස්ත්‍රී කාරකත්වය දරන චන්ද්‍රයාට රාශියකින් තවත් රාශියකට ඉතාම කෙටි කලක් තුළ ගමන් කළ හැක. දක්ෂ ජ්‍යොතිර්වේදියා සඳු ග්‍රහයා සිටින රාශිය මෙන්ම බලවත් හෝ දුබලභාවය තුළින් ජීවන ගමනේ මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් ගැන ප්‍රබල අනාවැකි පවසයි. සියලුම ග්‍රහ අපල තත්ත්වයන් මඟ හරවා ගැනීමට සහ ජීවන ගමන සාර්ථක කරගැනීමට ප්‍රබල වත්පිළිවෙත් අවශ්‍යම බව කිව යුතුය.

සඳු ග්‍රහයා මිතුරු, සවක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ, උච්ච තත්ත්වයෙන් උපත ලද ජන්මීන් නිරායාසයෙන්ම ඉතා උසස් මනසකට උරුම අය මෙන්ම කලාකාමී සැහැල්ලු සිතුවිලි ඇත්තෝය. ඔවුන් අනිවාර්යයෙන් සිය ජීවිතය දිනා ගනී. මෙලෙස බලවත් සඳු පුරපස දිනෙක පළමුවැනි රාශියට පතිතව උපත ලැබුවහොත් ඔහු හෝ ඇය නිර්මාණ ශක්තියෙන් ඉතා ප්‍රබල වාසනාවන්ත ලේඛන හැකියාව ඇති අයෙකු වේ. වෘෂභ, කටක, රාශියේදී ඉහළ යහගුණයෙන් පරිපූර්ණ සඳු ග්‍රහයා වෘශ්චික රාශිය තුළදී නීච වී බලයෙන් දුර්වල වේ.

එමෙන්ම ලොව දිනූ රාජ්‍ය නායකයන් මැතිඇමති තනතුරු දරන්නන් සේනාධිනායකයන්, සම්මාන දිනන තිර රචනයේ යෙදෙන්නන් බිහිවන චන්ද්‍රයි යෝගය නම් ඉතා බලගතු යෝගයක් මෙම චන්ද්‍ර ස්ඵුටය හරහා යෙදේ. එය යෙදෙන්නේ කේන්දරයේ 6,7,8 ආදී ස්ථානවල (සඳුගෙන්) බුධ, ගුරු, ශුක්‍ර යන තිදෙනා පතිතව ඇතහොත් පමණි. මෙය ඉතා බලගතු චන්ද්‍ර යෝගයකි.

ඔබගේ උප්පත්ති කේන්දරයේ යොවුන් වියේදී මෙම සඳු මහ දශාවක් හෝ අන්තර් දශාවක් ගත වේ නම් ඔබේ දිවියේ සහකරු හෝ සහකාරිය මුණ ගැසී විවාහය සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඕනෑම අයෙකු දරු සම්පතක් බලාපොරොත්තුව බාරහාර වීමේදීත් උතුම් සඳු ග්‍රහයා නියෝජනය කරන සත්පත්තිනි මෑණියන්ට පුද පඬුරු තබා ඉල්ලීම් කිරීම සිරිතකි. සිංහල බොදු දරුවෙකු උපත ලද පළමුවද පත්තිනි දෙවොලට කැඳවාගෙන ගොස් ආශීර්වාද ලබා ගැනීම සම්ප්‍රදායකි.

දශාවකින් තොරව පොදුවේ ඇතිවන විපත්ති, රැකියා අහිමි වීම්, ව්‍යාපාර බිඳ වැටීම්, විවාහය දෙදරා යාම, සහකරු සහකාරිය සොයා ගැනීම සඳහා පත්තිනි දෙවියන් වැඩ සිටින මේ පින්බිම බලවත්ම ජය බිමයි. උතුම් දරු සම්පත් ලැබීමට ද අත්දුටුම ප්‍රතිකර්මයකි. පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉතා භක්තියෙන් තැබිය යුතු නොවරදින බලසම්පන්න පූජා වනුයේ

* උතුම් කිරි දානය

* මුරුතැන් පූජාව

* මල් මාලා පලන්දා සිදු කරන සුවඳ පලතුරු පූජාවයි.

කඩුවෙල නවගමුවේ ජීවමානව වැඩ වාසය කරන උතුම් පත්තිනි දෙවඟනට ඉතා පිරිසිදුව කහ පාට රෙදිකඩක, දෙහි සහ කහ වතුරින් සේදු පඬුරක් තම අභිමතාර්ථය කියා බාරවී එය ඉටු වූ පසු කරනු ලබන භක්තිමත් පූජාව ගැන පොරොන්දු බාරය වී ගැටගසන්න. දින 07ක් තුළ මේ පින්බිමට පිය නඟා පහත සඳහන් බලගතු පූජාව තබන්න. ඔබේ අභිමතාර්ථය අනිවාර්යයෙන් ඉටු වේවි. මේ කාලය තුළ නිර්මාංශව පේ වන්න. සත්පත්තිනි මෑණියන්ට තම දුක කිව යුත්තේ ඉතා පිරිසිදුවය. ස්නානය කර සුවඳ විලවුන් ගල්වා සුදුවතින් හෝ කහවතින් සැරසෙන්න. තම අධිෂ්ඨානය ඉතා පිරිසිදුව සිතට නඟාගෙන පුරපස දිනෙක හිමිදිරියේ ගිතෙල් මිශ්‍ර කිරිබත්ද අදාළ සියලු පූජා භාණ්ඩද අතැතිවය. පත්තිනි දෙවියන් වැඩ සිටින පින්බිමට යන්න. ඉතා භක්තියෙන් නවගමුවේ සත්පත්තිනි පින්බිමේ පළමුව කිරි ආහාර (අනිවාර්යයෙන් ගිතෙල් මිශ්‍ර) බුදු කුටියටත් බෝධින් වහන්සේටත් උතුම් පත්තිනි මෑණියන් වැඩවාසය කරන පිළිම වහන්සේටත් පූජා කරන්න. පන්සිල් ගෙන මල්, සුවඳ දුම් අල්ලා පළමුව බෝධින් වහන්සේ නහවා පූජා පවත්වන්න. අලුත් සුවඳ පලතුරු වට්ටිය බෝ මළුව මත තබා චන්ද පිරිත තෙවරක් කියන්න. හැකිනම් චතුමධුර, බෙහෙත්, ගිලන්පස බෝධින් වහන්සේට පූජා කරන්න. හොඳින් වැඳපුදා ගන්න. අවසානයේ මහා සිද්ධ පත්තිනි වහන්සේට පලතුරු පූජාව මල්, හඳුන්කූරු පූජා කරන්න.

සඳු ස්තෝත්‍රය

“ඕම් සෝම සෝමාය නම්ඃ

අමෘතංගාය විද්මහේ, කලා රූපාය ධීමගී,තන්නෝ සෝමඃ ප්‍රචෝදයාත්”

කහ පාට, මල් වර්ගවලින් සමන්විත මල්මාලය දෙවඟනට පලඳමින් මෙම ස්තෝත්‍රය තෙවරක් කියා පින් දෙන්න. බුදු රුවනට කිරිපිඬු‍, මල් පහන් සුවඳ දුම් පූජා කළ පිනෙනුත් බෝධින් වහන්සේ සුවඳ පැනින් නහවා පූජා තැබූ පිනෙනුත් ආශීර්වාදයත් ඒ පින් උතුම් පත්තිනි මෑණියන්ට අනුමෝදන් කිරීමේ බල මහිමයෙන් තම අභිමතාර්ථය ඉටුවේවායි පතන්න.

සඳු මහ දශා, අන්තර් දශා ගෙවන්නන් නියමාකාරයෙන් ජීවම් කළ රතන යන්ත්‍රය, නවනාථ යන්ත්‍රය, චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පුරපස දිනෙක මෙම පින් බිමේදී පැලඳීම තුළින් සඳුගේ අපල දුරුවී ඉතා පින් යහපත් දිවියක් ළඟාකර ගත හැකිය. තවද ඒ අයට ඉතා සුපිරිසිදු මුතුවලින් තැනූ ආභරණ පැලඳීම ද අපල අඩුවීමට හේතු වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division