Home » 2025 වසරේ මකර ලග්න හිමියන්ගේ ජීවන ක්‍රමයේ වෙනසක්.

2025 වසරේ මකර ලග්න හිමියන්ගේ ජීවන ක්‍රමයේ වෙනසක්.

by thanushika
December 16, 2023 12:30 am 0 comment

සාමාන්‍යයෙන් මකර ලග්න හිමියන් පරිපාලන කටයුතුවලට සහ මූල්‍ය කටයුතුවලට දක්ෂ වේ. නිවස පිළිබඳව ද නිවසේ සාමාජිකයන් පිළිබඳව ද දැඩි ලෙස වෙහෙස වන ඔවුන් තම අභිමානය රැක ගැනීමට උත්සාහ කරති. තම මතය එළිදැක්වීමට නොහැකි වූ අවස්ථාවල දැඩි සේ කෝපයට පත්වන මකර ලග්න හිමියන්ට මිතුරන් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් සිටී. අලංකාරයත්, පිරිසිදුකමත් ප්‍රිය කරන මකර ලග්න හිමියෝ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වුවද ප්‍රධානත්වය අපේක්ෂා කරති. යම් අයෙකු තම මතයට විරුද්ධව අදහස් පළ කළහොත් කෝපයට පත්වන මකර ලග්න හිමියෝ වචන පිට කරද්දී අන් අයගේ සිත් රිදේවිද යන්න ගැනවත් නොසිතති.

සමිති සමාගම්වල නිලතල ලබා ගැනීමට පවා මකර ලග්න හිමියන් වාසනාවන්තය. පිරිස් පාලන හැකියාව සහ ඉතා හොඳ සංවිධාන ශක්තිය හේතුවෙන් ඉතා දක්ෂ ව්‍යාපාරිකයන් වීමට මකර ලග්න හිමියන්ට හැකිය. එමෙන්ම ගණකාධිකාරී සේවය වැනි අංශ ද වෙනත් පරිපාලන අංශ ද මකර ලග්න හිමියන්ට ඉතා හොඳින් ගැළපේ. මූල්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව ඉතා ඉහළ දැනුමක් මකර ලග්න හිමියන්ට ඇත. මුදල් පරිහරණයේදී මකර ලග්න හිමියන් ඉතා විශ්වාසදායක ලෙස කටයුතු කරන අතර, ඔවුන් තමන් කෙරෙහි අන් අය තබා ඇති විශ්වාසය කිසි විටෙකත් කඩ නොකරති. එමෙන්ම මකර ලග්න හිමියන් රහස් රකින්නට ද දක්ෂයෝය. මකර ලග්න හිමියන් යානවාහන කෙරෙහි ද දැඩි කැමැත්තක් දක්වති. කාලය නිකරුණේ වැය කිරීමට අකමැති වන මකර ලග්න හිමියන්, නිතරම කිසියම් කාර්යයක නිරත වෙති. එනම් ඔවුන් නිශ්චිත කටයුත්තක් නොමැති විට එකම කාර්යය නැවත නැවත සිදු කරති.

ඉදිරි කාල සීමාව සලකද්දී මකර ලග්න හිමියන්ට වෙනසක් සිදුවිය හැකි කාල වකවානුවක් ලෙස 2025 වසරේ ජුනි 7 වනදාත්, 2025 වසරෙහි ජූලි 28 වනදාත් අතර කාල වකවානුව දැක්විය හැකිය. එම කාල වකවානුව තුළ මකර ලග්න හිමියන්ගේ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස් වන අකාරයට අලුත් සිදුවීමක් පෙන්නුම් කෙරේ. තවද ඉහත කාල සීමාව තුළ මකර ලග්න හිමියන්ගේ දැනට පවතින අතිරේක ආදායම් මාර්ගයක් අහිමි වීමට ඉඩකඩ ඇති අතර, ඒ වෙනුවට අලුත් අතිරේක ආදායම් මාර්ගයක් නිර්මාණය වීමට ඉඩ ඇත. මීට අමතර ලෙස 2025 වසරෙහි ජුනි 7 වනදාත්, 2025 වසරේ ජූලි 28 වනදාත් අතර කාල සීමාව තුළ මකර ලග්න හිමියන්ට කිසියම් අලුත් කටයුත්තක් ආරම්භ කිරීමක් හෝ ඒ සඳහා ඉඟි ලැබීමක් හෝ ඒ සඳහා දින නියම වීමක් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් ඉහත කාල සීමාව තුළ මකර ලග්න හිමියන්ගේ අභ්‍යන්තර මානසික තත්ත්වය ආශ්‍රිතව ප්‍රබල වෙනස්කම් පෙන්නුම් කරන අතර දෙගිඩියාව රජයන බව පෙනේ.

එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මකර ලග්න හිමියන්ට වඩාත් ආන්දෝලනාත්මක කාල වකවානුවක් ලෙස 2036 වසරෙහි අගෝස්තු 27 වනදාත් 2038 වසරෙහි ඔක්තෝබර් 26 වනදාත් අතර කාල වකවානුව සහ 2039 වසරෙහි මාර්තු 31 වනදාත් 2039 වසරෙහි ජූලි 14 වනදාත් අතර කාල වකවානුව දැක්විය හැකිය. එම කාල වකවානු තුළ මකර ලග්න හිමියන්ගේ රැකියාවේ වෙනසක් හෝ රැකියාවේ උසස්වීමක් පෙන්නුම් කෙරේ. තවද ඉහත කාල වකවානු තුළ මකර ලග්න හිමියන්ව කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් පාලනය කරන බව පෙනේ. ඉහත කාල සීමාව තුළ මකර ලග්න හිමියන්ගේ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි සිහිනයක් සැබෑ වුවද එම සිහිනය සැබෑ කර ගැනීමට අදාළ පූර්ණ සතුට නොලැබී යනු ඇත.

මීට අමතර ලෙස 2049 වසරෙහි මාර්තු 9 වනදාත්, 2049 වසරෙහි ජූලි 2 වනදාත් අතර කාල සීමාව තුළද, 2049 වසරෙහි දෙසැම්බර් 4 වනදාත් 2052 වසරෙහි පෙබරවාරි 20 වනදාත් අතර කාල සීමාව තුළද මකර ලග්න හිමියන්ට ජීවිතයේ කිසිදා නොලද අත්දැකීම් ලබන කාල වකවානුවක් උදා වන බව පෙනේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division