Home » බොලිවුඩයේ අලුත්ම කතාව

බොලිවුඩයේ අලුත්ම කතාව

ෂාරුක්ගේ දියණිය සහ අමිතාබ්ගේ මුනුපුරා පෙම්වතුන්ලු !

by thanushika
December 9, 2023 12:30 am 0 comment

බොලිවුඩයේ ජනප්‍රියම සිනමා පවුල් දෙකකට අයත් නව පරපුරේ දෙදෙනකු අතර ඇතැයි කියන ආදර සම්බන්ධයක් ගැන ඉන්දීය මාධ්‍ය තුළ ලොකු කසුකුසුවක් තියෙනවා. මේ ආකාරයෙන් ආරංචි පැතිරෙන්නේ අමිතාබ් බච්චන් පවුලේ සාමාජිකයකු සහ ෂාරුක් ඛාන් පවුලේ සාමාජිකාවක ගැනයි. අමිතාබ් බච්චන්- ජයා බච්චන් දෙදෙනාගේ මුනුපුරෙකු වන අගස්ත්‍ය නන්ද සහ ෂාරුක් ඛාන් – ගෞරි ඛාන් දෙදෙනාගේ එකම දියණිය වන සුහානා ඛාන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳී ඇති බවයි මේ කතන්දරවලින් කියැවෙන්නේ. එය සත්‍යයක් නම් ඔවුන් දෙදෙනා ඉතා හොඳින් ගැළපෙන දෙදෙනකු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මේ දෙදෙනාම මේ වනවිට පසුවන්නේ 23 වැනි වියේයි. අමිතාබ්- ජයා දෙදෙනාගේ දියණිය වන ශ්වේතා බච්චන් තමයි අගස්ත්‍යගේ මව. ඇය විවාහ වී සිටින්නේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන නිකිල් නන්ද සමඟයි. බච්චන් පවුලේ තවත් ජනප්‍රිය සාමාජිකයකු වන අභිෂේක් බච්චන් අගස්ත්‍යගේ මාමා. අගස්ත්‍යට නව්‍යා නවෙලි නමින් වැඩිමල් සොහොයුරියක් ද සිටිනවා.

සුහානා ෂාරුක් ඛාන්ගේ එකම දියණියයි. ෂාරුක් ඛාන් පවුලෙන් ඔහුගේ අඩි පාරේ යන එකම සාමාජිකයාත් සුහානායි.

අගස්ත්‍ය සහ සුහානා අතර ආදර කතාව ආරම්භ වූයේ ඔවුන් දෙදෙනා The Archies නමැති සිනමාපටයේ රඟපාද්දී බවයි පැවසෙන්නේ. මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේයි. එය පසුගිය 7 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කළා. නමුත් The Archies ප්‍රදර්ශනය වන්නේ සිනමා ශාලාවල නොවෙයි. එය නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීම් සේවා හමුවට එන්නේ.

අගස්ත්‍ය සහ සුහානා අතර ආදර සම්බන්ධයක් ඇති බව The Archies චිත්‍රපටයට සම්බන්ධව සිටි අයත් මාධ්‍ය සමඟ පවසා තිබුණා. ඔවුන් දෙදෙනා නිතර එකට ගැවසෙන ආකාරය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප ද මාධ්‍ය තුළ පළ වෙනවා. පසුගිය නොවැම්බර් 23 වැනි දින අගස්ත්‍ය ඔහුගේ 23 වැනි උපන් දිනය සැමරූ අවස්ථාවේත් සුහානා එම උපන් දින සාදයට සහභාගි වී තිබුණා. අගස්ත්‍ය උපන් දින කේක් ගෙඩිය කපද්දී සුහානාත් ඒ අසලින්ම සිටිනු දකින්නට ලැබුණා. එමෙන්ම ඇය ඔහුට සමාජ මාධ්‍ය හරහා සුබ පැතුම් පිරිනමා තිබෙනු ද දැකිය හැකි වුණා. දීපවාලි උත්සවය වෙනුවෙන් පැවැති සාදයකට ද ඔවුන් දෙදෙනා සහභාගි වූ ආකාරය පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, තමුන් අතර ආදර සම්බන්ධයක් ඇති බවක් තවමත් අගස්ත්‍ය සහ සුහානා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ. නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් නම් පැවසෙන්නේ එම සම්බන්ධය ගැන දෙදෙනාගේ වැඩිහිටියන් ද දන්නා බවයි. එය එසේ නම් මේ සම්බන්ධයට විරුද්ධ වීමට ඒ වැඩිහිටියන්ට හේතුවක් ඇතැයි සිතන්නට බැහැ. බච්චන් පවුල සහ ෂාරුක් ඛාන් පවුල යනු මෙවැනි හිර ගනුදෙනුවකට හොඳටම ගැළපෙන පවුල් දෙකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. අගස්ත්‍යගේ මව වන ශ්වේතා සුහානාට බෙහෙවින් කැමැති බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

මේ දෙදෙනා රඟපාන The Archies චිත්‍රපටය ගැනත් මේ දිනවල විශාල අවධානයක් යොමු වෙනවා. එය තරුණ වියේ මිතුරු මිතුරියන් සත්දෙනෙකු වටා ගෙතුණු කතාවක් රැගත් සිනමාපටයක්. මේ අය සංගීත කණ්ඩායමක සාමාජිකයන් බවත් පැවසෙනවා. අ‍ෙමරිකානු චිත්‍ර කතා පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ මෙය නවසිය හැටේ දශකය පසුබිම් කරගත් චිත්‍රපටයක්.

අගස්ත්‍ය සහ සුහානා හැරුණු විට බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා පවුලක කෙනෙකුත් මෙහි රඟපානවා. එනම් කලකට පෙර ජීවිතයෙන් සමුගත් ශ්‍රී දේවිගේ බාල දියණිය වන කුෂි කපූර්. බොලිවුඩයේ ප්‍රධානම පළේ චිත්‍රපට නිෂ්පාදකයකු වන බොනී කපූර් තමයි ඇයගේ පියා. කුෂිගේ වැඩිමල් සොහොයුරිය වන ජන්විත් ජනප්‍රිය නිළියක්.

The Archies සුහානා, අගස්ත්‍ය සහ කුෂි තිදෙනාගේම පළමු සිනමාපටයයි. මේ නිසා මෙම සිනමාපටය ගැන සිනමා ලෝලීන් මහත් බලාපොරොත්තු තබාගෙන ආසාවෙන් බලා සිටි ආකාරයක් දකින්නට ලැබුණා.

මෙහි පූර්ව ප්‍රචාරක පටය මාධ්‍ය වෙත නිකුත් වූ අවස්ථාවේ අමිතාබ් බච්චන් ඒ ගැන තබා තිබූ සටහනක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබුණා. ඔහු එහි විශේෂයෙන් සඳහන් කර තිබුණේ තම මුනුපුරාගේ රඟපෑම් ගැන යි. අගස්ත්‍යගේ පළමු රංගනය ගැන අමිතාබ් සීයා මහත් සතුටට පත්ව සිටි බවකුයි එම සටහනෙන් පෙනුණේ. තම පවුලේ උරුමය අගස්ත්‍ය ඉතා හොඳින් ඉදිරියට ගෙන යන බවක් ඔහු සඳහන් කර තිබුණා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division