Home » එයාගෙ මූඩ් එක හොඳ නම් මම දන්නවා පත්තු වෙයි කියල

එයාගෙ මූඩ් එක හොඳ නම් මම දන්නවා පත්තු වෙයි කියල

by thanushika
December 9, 2023 12:32 am 0 comment

නයෝමි පෙරේරා මේ දිනවල අපට හමුවන්නේ දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිත නිදි නෑ‘ ටෙලි නිර්මාණයේ සහ ‘සීසර්ලා‘ ටෙලි නිර්මාණයෙනි. ඇගේ රංගන දිවියේ අත්පොත ආදරණීය සැමියා බුද්ධික සේමසිංහය. දැන් දැන් ජනප්‍රිය වෙමින් යන ඔහුගේ නිර්මාණ නිසාම බොහෝදෙනා අතර ඔහු හැඳින්වෙන්නේ යුගයේ කතාකාරයා ලෙසිනි. අතර මඟදී තිර රචනයෙන් දායක වුණු පාර දිගේ සහ මේ දිනවල විකාශය වන සීසර්ලා ඊට හොඳම උදාහරණයන්ය. අද අපේ කතාබහට එක්වන ඔවුන් දෙදෙනාට අද විශේෂ දිනයක් වීම තවත් විශේෂත්වයකි. අපි පළමුව කතාබහට එක්කර ගත්තේ නයෝමි පෙරේරායි.

අද ඔබ දෙදෙනාගේ ජීවිතේ විශේෂ දවසක්. ඒ ගැනත් කියලම කතාව පටන් ගමු?

ඔව්. අද අපේ දෙවැනි විවාහ සංවත්සරය. හරියටම මීට අවුරුදු දෙකකට කලින් අපේ ජීවිතේ ලස්සනම දවස උදා වුණා. ඒකත් හරි ලස්සන හමුවීමක්. මං මනාලියකට ඇඳපු බ්‍රයිඩ්ල් ෂෝ එකක එයා මනාලයාට ඇඳලා හිටියා. එතැනදි තමයි අපි අඳුන ගන්නෙ. එයාගෙ යාළුව, මගේ යාළුවගෙ බෝයි ෆෙන්ඩ් වීම නිසාම අපේ කතාව දුරදිග ගිහින් විවාහයෙන් කෙළවර වුණා.

නයෝමි මේ දවස්වල ගොඩක් කාර්‍යබහුල වෙලා නේද?

ඔව්. මේ දවස්වල දෙරණ නාළිකාවෙ විකාශය වන ටෙලි නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන සිත නිදි නෑ සහ විශ්ව ලංකා අධ්‍යක්ෂණය කරන සීසර්ලා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් වගේම නිරූපණ කටයුතුවලත් නියැළෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකටත් ආරාධනා ලැබුණා.

සීසර්ලා ඔබේ සැමියාගේ තිර පිටපතක් නිසා ඔබට අවස්ථාව ලැබුණා කියල හිතන අයත් ඇති නේද?

කතාව ලිවුවටත් පස්සෙ විශ්ව අයිය තමයි තීරණය කළේ හිරූගේ කැරැක්ටර් එකට මාව ගමු කියලා. එතැනදියි බුද්ධික කැමති වෙන්නෙ. එහෙම නැතුව එයා කවදාවත් මාව ඒම් කරගෙන කතා ලියන්නෙ නෑ. ඒ නිසාම තමයි එයාගෙ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මට මේතරම් කාලයක් ගියෙත්. මට ගැළපෙන චරිතයක් තිබුණොත් විතරයි මට අවස්ථාවක් ලැබෙන්නෙ. ඉදිරියේදී එන්න තියෙන එයාගෙ බයිස්කෝප් ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ සිවගුරුනාදන් සර්.

තිර රචකයෙක්ගෙ භූමිකාව බොහෝ නිදහසේ කරන්න ඕන දෙයක්. ඒ සඳහා ඔබෙන් ලැබෙන දායකත්වය ගැන සඳහන් කළොත්?

තිර පිටපතක චරිතයක් ඔළුවට ආවම ඔෆිස් රූම් එකට වෙලා එයා දිගටම ලියනවා. කන්න විතරයි එළියට එන්නෙ. ඒ වෙලාවට වචනයක් දෙකක් කතා කළොත් ඇරෙන්න අපි දෙන්නට කතා කරන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ. මුල් දවස්වල නම් ඒ තත්ත්වය දරාගන්න මට හරි අමාරු වුණා. ඒත් එයාගෙ නිර්මාණ දිහා බැලුවම මට තේරුම් ගියා මේ තරම් ලස්සන නිර්මාණ එයාගෙ අතින් ලියවෙන්නෙ මගෙන් ලැබෙන ඒ සපෝට් එක නිසා නේද කියලා. රංගන ශිල්පිනියක් විදිහට මාත් කාර්‍යබහුල වෙනවා. වෙන අය එක්ක ආදර ජවනිකා රඟපානවා. එයත් ඒවා හොඳින් තේරුම් අරන් ඉන්න නිසා දෙන්නට දෙන්න අවබෝධයෙන් ලස්සනට ජීවිතේ ගෙවනවා.

ආදරය කරන කාලෙ තත්ත්වය මීට වෙනස් ඇති?

ඒ කාලෙ නම් අපි අතරෙ රණ්ඩුම තමයි. මං දන්නෙ නෑ, මට පේන්නෙ නෑ එයා මොනව කරනවද කියලා. ඒත් බැන්දට පස්සෙ මට පේනව එයා කරන දේවල්. අපි දෙන්නම කාර්යබහුලයි. බුද්ධික මටත් වඩා කාර්යබහුලයි. සමහර දවස් තියෙනවා අපි දෙන්නට වචනයක්වත් කතා කරන්න නොලැබෙන. එයා පුදුමාකාර විදිහට ඉවසන කෙනෙක්. ඒකම තමයි මං එයාට කැමැති වෙන්න හේතුව. එයා එහෙම නොවුණා නම් එයා වගේ හොඳ මනුස්සයෙක් මට නොලැබෙන්නත් තිබුණා.

සම්බන්ධය පටන් ගනිද්දි බුද්ධික ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් බව දැනගෙන හිටිය ද?

ඒ දවස්වල එයා උසස් පෙළ සිංහල ටියුෂන් කළා. මාත් නිරූපණ කටයුතු කරන ගමන් පෙර පාසල් ගුරුවරියක් විදිහට කටයුතු කළා. දෙකම එකට කරන්න බැරි නිසා පස්සෙ මං මොඩ්ලින් පැත්ත තෝර ගත්තා. ඒ දවස්වල එයා බටහිර අහස ටෙලිනාට්‍ය ලියමින් හිටියේ. ඒක එයාගෙ පළවෙනි තිර පිටපත. ඒත් මට රඟපාන්න අවස්ථාවක් දුන්නෙ නෑ. මං රඟපානවට එයා කැමති වුණෙත් නෑ. එයාගෙ වැඩවලදි විවිධ අධ්‍යක්ෂවරු අඳුන ගනිද්දි එයාල බුද්ධිකගෙන් ඇහුව ඇයි මෙයාට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ කියලා. ඊටපස්සෙ තමයි අවස්ථාවක් දෙකක් දීල බලලා එයා තීරණය කළේ මට කරගන්න පුළුවන් කියලා. මගේ අම්මා, තාත්තා, පවුලෙ අය එදා ඉඳන්ම මට ලොකු සපෝට් එකක් දුන්නා. මගේ පළවෙනි විචාරකයොත් එයාල තමයි.

නයෝමි තමන්ට ක්ෂේත්‍රයට එන්න ලැබුණු අවස්ථාව ගැන සිහිපත් කරද්දි බුද්ධිකත් අපේ කතාවට සම්බන්ධ වුණා.

බුද්ධිකගෙ පළවෙනි තිර පිටපත ලියවෙන්නෙ සෑහෙන කාලෙකට කලින්. ඒත් ඔබ ජනප්‍රිය වෙන්නෙ මෑත කාලයේ?

මගේ පළවෙනි තිර පිටපත විදිහට බටහිර අහස ලියවෙන්නෙ 2016 වසරෙදි. මං ගැන සඳහන් වුණු අවස්ථා ගණන අඩු වුණාට මං තමයි ලංකාවෙ වැඩිම ප්‍රමාණයක් අතරමඟදි ටෙලිනාට්‍ය රචනා කරන්න භාර ගත්ත රචකයා. බොහොමයක් දීර්ඝ ටෙලි නාට්‍යවල මැද හරිය ලියපු නිසා අධ්‍යක්ෂවරුන්ට මාව පෙනුනේ නෑ. ඒ නිසා මුල ඉඳන් ලියන නිර්මාණ ලැබුණෙ නෑ. ගොඩක් වෙලාවට අතරමඟ දාල ගියපු ඒව තමයි ලැබුණෙ. ඒ නිසා ඒක මට පුරුදු වැඩක් වුණා. ඔය අතරෙ තමයි පාර දිගේ ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ. ඒකෙ 411 කොටසෙ ඉඳන් ලියන්නෙ මම.

පාර දිගේ කියන්නෙ අදටත් ජනප්‍රිය නිර්මාණයක්. ඒ වගෙ එකකට මඟදි අතගහද්දි බයක් හිතුණෙ නැද්ද?

සද්ධා අයිය කාර්‍යබහුල වෙද්දි චාමර අයිය තමයි මාව විශ්වාස කරල මගේ නම යෝජනා කරල තිබුණේ. අපි දෙන්න දීර්ඝ කාලයක ඉඳන් දන්නවා. මං හිතන විදිහ, ලියන විදිහ වගේම මගේ රචනයේ වෙනසත් චාමර අයියා දැනගෙන හිටියා. සද්ධා අයිය එක්කත් මං මීට කලින් දඩයම් බඹරු ටෙලි නිර්මාණයේ වැඩ කරල තිබුණා. පාර දිගේ ජනප්‍රියත්වය අඩුවක් නැතුව පවත්වා ගැනීමේ අභියෝගය මිසක් මට බයක් දැනුණෙ නෑ. මුල ඉඳන්ම මං පාර දිගේ රසිකයෙක් වෙලා හිටිය නිසා ඒකෙ හැඩය මං දැනන් හිටියා. ඒ නිසා ලොකු අපහසුවක් වුණේ නෑ. ඒකත් හරියට මැච් එකක අතිරේක ක්‍රීඩකයකුට හදිසියේ පිට්ටනිය මැදට එන්න ලැබුණා වගේ වැඩක්. ඊළඟ දවසෙ මැච් එක ලැබෙන්න නම් මේ මැච් එකේ ළඟ ළඟම හයේ පාරවල් ටිකක් ගහන්න වෙනවා. මාත් ඒ වගේ ළඟ ළඟ හයේ පාරවල් කීපයක් ගහල බැලුවා. ඒක සාර්ථක වුණා. මං ලියපු පළමු කොටස් තුනම වාර්තාගත අයුරින් යූටියුබ් නාළිකාවෙ ළඟ ළඟම ට්‍රෙන්ඩිං වුණා. ඒ වගේ වුණ පළමු අවස්ථාව ඒක. ලංකාවෙ තිබුණු සියලුම සම්මාන උලෙළවල ජනප්‍රියම කාණ්ඩයේ සියළු ටෙලි නාට්‍යවලින් සියලු සම්මාන ගත්තෙ ඒ අවුරුද්දෙ පාර දිගේ ටෙලි නිර්මාණය. ඒක ලොකු ජයග්‍රහණයක්. මෑතකදී කාංචනමාලා මහාවිතාන අක්ක එයාගෙ සටහනක මාව යුගයේ කතාකාරයා කියල හඳුන්වලා තිබුණා. ඊට පස්සෙ හැමෝම මාව ඒ නමින් අමතන්න පටන් ගත්තා. ඒක තමයි මට ලැබුණු ලොකුම සම්මානය.

මේ දිනවල විකාශය වෙන සීසර්ලා සම්පූර්ණයෙන්ම ඔබේම පිටපතක් ?

ඔව්. සීසර්ලා වගේම මගේ තව නිර්මාණ තුනක් එන්න තියෙනවා. බයිස්කෝප් සහ සිකුරු ඇවිත් නිර්මාණ දෙකම අධ්‍යක්ෂණය සිවා අයියගෙ. සීසර්ලා ගැන ලියන්න ආරාධනාව ලැබුණෙ ප්‍රදීප් මානවඩු හරහා එහි අධ්‍යක්ෂ විශ්ව ලංකාගෙන්. ඔහු මට කිවුවෙ මේක වාහන සීස් කරන කණ්ඩායමක් ගැන කතාවක්, ඒක ඇතුළෙ ඉඳන් ලියන්න කියලා. ඒ විදිහට තමයි සීසර්ලා ලියවුණේ. සීසර්ලා නාට්‍යයේ විශේෂත්වය තමයි හැම චරිතයකම රංගන හැකියාව මත තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ. එතැනදි කාස්ට් එක තෝරද්දි අපි දෙන්න ගොඩක් පරිස්සම් වුණා. මොකද ඒක මත තමයි සීසර්ලා දුවන්නෙ. තෝරගත්ත කාස්ට් එක වගේම මේ සිදුවීම් මාලාවෙ නැවුම් බව නිසාම මුල් කොටස් කීපය විකාශය වෙද්දිම ගොඩක් මිනිස්සු අතරට ගියා. හැමෝගෙම වෙනද දකින චරිතයට වඩා වෙනස් විදිහේ චරිතයක් ගොඩනඟන්නයි අපිට ඕන වුණේ. මගේ හිතේ හිටිය චරිත ඒ විදිහට ගොඩනඟද්දි විශ්ව ඒකට එකඟවුණු නිසා අපි දෙන්න අතරෙ ගොඩනැඟුණු බොන්ඩ් එක මේක සාර්ථක වෙන්න හේතුවක් වුණා.

රංගන ශිල්පීන් කාස්ට් කරද්දි ඔබේ බිරියගෙ කැරැක්ටර් එක තීරණය කළේ ඔබද?

ඇත්තම කතාව කිවුවොත් මගේ නිර්මාණවලට මං එයාව යොදාගන්නව හරිම අඩුයි. මං මේ චරිතෙ ලියන්නෙ මගේ වයිෆ්ට කියල දැනුණම වෙන නිළියකට ලියනව තරම් මං කම්පටබල් වෙන්නෙ නෑ. ඕනම රචකයෙකුගෙ තත්ත්වෙ ඕක තමයි. මෙතැනදිත් විශ්ව අයියා තමයි කිවුවෙ හිරූගෙ චරිතෙට අපි නයෝමි නංගිව ගමු කියලා. හැබැයි එයා ඒක හොඳට කරනවා.

විශ්ව කොඩිකාර වගේම පූජනීත් වෙනස්ම ස්වරූපයකින් ඔබ මේ තුළට ගෙනැල්ලා?

විශ්ව යෝජනා වෙද්දි මට ඇත්තටම ඕන වුණේ හැමදාම දකින චරිතයට වඩා වෙනස් විදිහේ චරිතයක් ගොඩනඟන්න. පූජනීගෙ කැරැක්ටර් එක ගැන නම් පොඩි බයක් තිබුණා. මගෙ ඔළුවෙ තිබුණෙ රේඩියෝ ප්‍රසන්ටින් ඇතුළෙ තියෙන ස්ටයිල් එක මේක ඇතුළට ගේන්න. රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් ඕක කළා නම් ප්‍රශ්නයක් නෑ. රංගන ශිල්පිනියක් කොතරම් දුරට මේක සාර්ථකව කරයි ද කියන ගැටලුව මට තිබුණා. ඒත් පූජනී මං හිතුවටත් වඩා හොඳින් ඒක කළා.

රහට ලියන්න උපරිම නිදහස දෙන නයෝමි ගැනත් කියමු?

ඇගෙන් ලැබෙන සහාය නම් සීයට සීයයි. ඇය මට හමුවුණෙත් මගේ කොණ්ඩෙයි රැවුලයි නිසා සැලෝන් එකකින් මාව බ්‍රයිඩ්ල් ෂෝ එකක නිළමෙට ඇන්දුව වෙලාවක. ඒ වගේ අපි දෙන්න දහ දොළොස් සැරයක් ඇඳලා තියෙනවා. අන්තිමට ඒ මොඩ්ල් එකම ගෙදර ගේන්න වුණා. මගේ කාර්‍යබහුලත්වය හමුවේ එයාට පුදුම ඉවසීමක් තියෙන්නෙ. මට ටිකක් තරහ ගියත් එයා ෂේප් එකේ බටර් ටිකක් ගාලා අඩියක් පස්සට තියලා ෂේප් වෙන්න බලනවා. මං කරන නිර්මාණ මුලින්ම මං දෙන්නෙ එයාට. එයාගෙ මූඩ් එක හොඳ නම් මං දන්නවා ඒක පත්තු වෙයි කියලා. එයාගෙ මූඩ් එක අවුල් නම් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරල මං ආයිම ලියනවා. එයාගෙන් තමයි මුලින්ම ෆිල්ටර් වෙන්නෙ.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division