Home » ජීවිතේ මඟ හැරුණොත් සොරිම තමයි

ජීවිතේ මඟ හැරුණොත් සොරිම තමයි

by thanushika
December 9, 2023 12:30 am 0 comment

 

අපි අවට ජීවත් වෙන හුඟක් මිනිස්සු රස්සාවයි ජීවිතෙයි පටලවගෙන ඉන්නෙ, මළ ගෙවල්, මගුල් ගෙවල් දානේ ගෙවල්, get together, ට්‍රිප් විතරක් නෙමෙයි, සමහර වටිනා යාළුවො ඔය රස්සා කෙරුවාව නිසා නැතිවෙලා තියෙනවා. තමන්ගෙ කාලය හරියට කළමනාකරණය කර ගන්න බැරුව මොන උපාධි ගැහුවත් මොකටද ? කළමනාකරණය කියන්නේ, කලට මනාවට කිරීම ඒ්කේ තේරුම රස්සාවට අදාළ කාලය ඇතුළේ රස්සාවේ වගකීම් ටික කර ගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ කියන එක. එතැනට ගිය වෙලාවේ ඉඳල, වටේම ඉන්න අයත් එක්ක ඕපදූප කියවල, දුරකතනයේ එල්ලිලා ඉඳල වැඩ ගොඩ ගැහුණම ඒ වැඩ උස්සන් ගෙදර ආවම වෙන්නේ. රස්සාවයි පෞද්ගලික ජීවිතෙයි දෙකම නැති නාස්තිවෙලා යන එක.

*නියමිත වෙලාවට රැකියාවට යන්න.

(කලින් යාම මඟින් ආයතනය දිනපතා ඔබගේ කලින් පැමිණීම බලාපොරොත්තු වීම ඔබට අවාසි විය හැකි අතර, ප්‍රමාද වී පැමිණීම දවස පුරාම ඔබව පීඩනයෙන් පෙ‌ෙළන අතර විනයානුකූල ද නොවේ.)

*වැඩ කරන කාලය තුළ, පෞද්ගලික වැඩ කිරීම නවතා දමන්න. (දරුවන්ගේ පාසලේ වැඩ, අන්තර්ජාලයේ සැරිසැරීම වැනි..)

*රැකියා ආයතනය තුළ කේලම් කීම, කේලම් වලට සවන්දීම ඕපා දුප කියවීම නවතා දමන්න.

*රැකියාවේ සහ තනතුරේ වගකීම අවබෝධ කර ගන්න. ඔබේ වගකීම් එකිනෙකාගේ පිට පැටවීමට නොගොස් ඔබේ රාජකාරි විසින්ම සිදු කරන්න.

ආයතනයේ මිතුරන් සමඟ ඉතා තද සහ කිට්ටු සම්බන්ධතා පැවැත්වීම අවම කර ගන්න. මන්ද එය ඔබගේ සහ ඔවුන්ගේ තනතුරේ වගකීමවලට බාධාවක් විය හැකිය.

පෞද්ගලික ජීවිතයේ තොරතුරු ප්‍රශ්න රැකියා ආයතනයේ කතා කිරීම සීමා කරන්න.

(සැමියාගේ බිරියගේ අඩුපාඩු, පවුල් ආරවුල්, දරුවන්ගේ ප්‍රශ්න වැනි දෑ ..)

*ඔබගේ සියලු වැටුප රැකියාව වෙනුවෙන්ම වැය නොකරන්න. (බොහෝ අය මුළු පඩියම වැය කරනු ලබන්නේ වැඩට යාමට අවශ්‍ය ඇඳුම් සපත්තු බෑග් මිලදී ගැනීමටය.)

*ආයතනයේ ඉහළ නිලධාරීන් සමඟ රැකියාවෙන් ඔබ්බට සම්බන්ධතා පැවැත්වීම අවම කරන්න.

*ඔබ කුමන ආයතනයේ කුමන තනතුර දරුවත්, වැඩිදුර අධ්‍යාපනය, හෝ ඉහළට යාමේ සිහින දැකීම අත නොහරින්න .

*එකම ආයතනයක අනාගතය පැහැදිලි නැති විටක රැකියාව වෙනස් කිරීම සඳහා ඕනෑම වෙලාවක සූදානමින් සිටින්න.

*උදේම වැඩට ගොස් මහ රෑ වෙනකම් වැඩ කරමින්, තමාට අදාළ නොවන රජකාරීන්ද කරමින් මුළු ජීවිතයම රැකියාවට කැප කරන ලද බොහෝ මිනිසුන් හේතුවක් ඇතුව හෝ නැතුව රැකියාවෙන් එළියට විසි වුණු අවස්ථා බොහෝය.

එනිසා ඔබ වැඩ කරන ආයතනයට ප්‍රේම කිරීමෙන් වැළකී සිටින්න. මන්ද, ආයතනය ඔබට ප්‍රේම කිරීම නවතා දැමීම ඕනෑම මොහොතක සිදු විය හැකිය.

*ප්‍රධානම දේ නම් රැකියාව ඔබේ රාජකාරී කාලය තුළට පමණක් සීමා කරන්න.

*රැකියාවෙන් පසු වැඩ කිරීම, නිවසට ගෙනැවිත් වැඩ කිරීම නිවාඩු දවසේ වැඩ කිරීම මඟින් ඔබට පමණක් නොව ඔබගේ, සැමියාගේ බිරිඳගේ, දරුවන්ගේ සතුටට ද එය මහා ලොකු බාධාවක් බව සිහියට ගන්න..

*රැකියාවේ ප්‍රශ්න එතැන තබා ගෙදර එන්න. ඔබගේ රැකියාවේ පීඩනය, ඔබේ දරුවාට හෝ නිවසේ තනිවී සිටින බිරිඳට තවත් පීඩනයක් නොකිරීමට වග බලා ගන්න.

*බොහොමයක් පවුල් ප්‍රශ්න, අනියම් සබඳතාවලට මූලික හේතුව ද තමාට අනෙකා වෙනුවෙන් කැප කිරීමට කාලය නොමැති වීම වන අතර, අවසානයේ “මම ඉතින් මේ තරම් රස්සාවට කැපවුණේ ඔයාල නිසානේ“ කීම පල රහිතය.

*ඔබ නිවසට පැමිණි විට ඔබේ අයිතිය, ඔබේ පවුලට ලබා දෙන්න. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබගේ කාලය වැය කරන්න.

*ඔබ කොතරම් රැකියාවෙන් සාර්ථක වුවත් ඔබගේ නිවැසියන් ඉන්නේ ඔබ නිසා පීඩාවෙන් නම් ඔබේ උගත්කමෙන්වත්, රැකියාවෙන්වත්, මිල මුදල්වලින් වත්, කිසිදු ප්‍රයෝජනයක් නැති බව STEVE JOBS මහතා ද අවසානයේ තේරුම් ගත් බව මතක තබා ගන්න.

මිනිස්සුන්ට ඒ කාල රාමුව ඇතුළේ කරන්න පුළුවන් වැඩ කොටසක් විතරක් දෙන්න බොස්ල වුණත් උනන්දු වෙන්න ඕනේ.

නැත්තම් වෙන්නෙ PRODUCTIVITY එක නැතිවෙනවා විතරක් නෙමෙයි රස්සාවේ පීඩනය දරා ගන්න බැරි වුණු මානසික ලෙඩ්ඩු ටිකක් බිහිවෙන එක. කාලරාමුවට දරා ගැනීමට නොහැකි තරම් වැඩ වැඩි රස්සාවක් නම්, රස්සාව මාරු කරන්න.

අපේ ඔෆිස් එකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කොච්චර රස්සාවටම ඇබ්බැහි වෙලාද කියන්නේ උන්ට හරි කාලේදී කසාද බඳින්නත් අමතක වෙලා. එයාලත් නොදැන එයාල වයසට ගිහින්. තවත් සමහරු සහෝදරයාගේ මඟුලට ගිහින් නැහැ, ආච්චිගේ මළගෙදරක ගිහින් නැහැ, යාළුව බලන්න ඉස්පිරිතාලෙට ගිහින් නැහැ, ළමයාගේ කොන්සට් එක බලන්න ගිහින් නැහැ, කොටින්ම කිව්වොත් ජීවිතේ ආයෙත් නොඑන කිසිම අවස්ථාවකට සහභාහිවෙලා නැහැ රස්සාව නිසා.

අපිට අමතක වුණාට, අවසානයේ අපි මේ හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. රස්සාව නිසා අපේ සතුට සැනසීම නැතිවෙනවා නම් ඒක රස්සාවක් නෙමෙයි කරුමයක්. ඒ කරුමය නිසා ඔබ විතරක් නෙමේ ඔබේ ආදරණීයයන් පවා දුක් විඳිනවා.

මොකද ගෙදර එක්කෙනෙක් ඉන්නෙ පීඩනයෙන් නම් මුළු පවුලේම සතුටට ඒක සෘජුවම බලපානවා.

පෞද්ගලික ජීවිතය උස්සන් වැඩට යාමත් රස්සාව උස්සන් ගෙදර ඒමත් නවතා දමා, රස්සාවක් කිරීමට ජීවත් වන මිනිසෙකු නොවී ජීවත් වීමට පමණක් රස්සාවක් කරන්න..

හේතුව, රස්සාව නැති වුණොත් තව එකක් හමුවෙයි, ජීවිතේ මඟ හැරුණොත් නම් ‘සොරි‘ ම තමයි..

 අනිශා ජයකොඩි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division