Home » දැන් මගේ ජීවිතේම එයා

දැන් මගේ ජීවිතේම එයා

by thanushika
December 9, 2023 12:34 am 0 comment

මොණරතැන්නට සත්‍යා වූ ඈ රංගනයට මුල්ම අඩිතාලම තබමින් අලුත්ම නිළියක් හැටියට හොඳම නිළියට හිමි සම්මානය අරන් එදා සිට අද දක්වා කලාත්මක කෘතිවලින් එකිනෙකට වෙනස් වූ චරිත එක්ක හැප්පෙමින් සම්මාන ගත් ඈ නමින් මේනකා පීරිස්. නම ඇහුවත්, රුව දුටුවත්, හඩ ඇහුණත් හැමෝම හඳුනා ගන්න ඈ අද මවගේ භූමීකාව එක්ක තරමක් නිහඬ වෙලා, ඒ නිහඬතාවය බිඳින්න පානමංකඩ ට පුල්ලි වූ ඈ පසුගියදා සිව්වැනි වතාවටත් හොදම නිළියට සුදුසු බව ඔප්පු කළා. මේ කතාබහ මේනකා පීරිස් ගැනයි.

මේනකා කොහොමද ජීවිතේ..?

සතුටත් එක්ක ලස්සනට ජීවත් වෙනවා කියන්න පුළුවන්

මේනකාත් පවුල දරුවෝ කියන වගකීම් ගොන්නක් කරපින්නා ගත්තා නේද ..?

ගැහැනියක් විවාහ වුණාට පස්සේ බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් හදලා මවක් වෙන එක. මම දැන් අම්මා කෙනෙක්. අවුරුදු දෙකයි මාස තුනක පුතෙක් ඉන්නවා. මගේ පුතාගේ නම රොවෙන් විද්වාන්. නමේ තේරුම වෙනම ඉරක් කියන එක. ඇත්තටම එයා මගේ ජීවිතේ එළිය කරපු වෙනම ඉරක්. මේ ජීවිතේ හරි ලස්සනයි. මේනකා කියන කෙනා අද සතුටින් ජීවත් වෙන්නේ පුතා නිසා. එයා මාව වෙනම ලෝකයකට අරන් ගියා. වගකීම් තමයි. ඒත් ඒ බර මට දැනෙන්නෙ නැහැ . දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත් මොහොතේ තිබ්බ සතුට තවම දැනෙනවා මට. මම මේ ජීවිතේ හරි ලස්සනට විඳිනවා.

මේනකා පුතාට තියෙන ආදරේ නිසාම පුතාගේ වැඩ කිසි කෙනෙකුට කරන්න දෙන්නෙ නැහැ කියන්නේ ඇත්තද..?

බබා ලැබුණේ සිසේරියන් සැත්කමකින්. මුලදි වැඩ කරන්න අමාරු වුණා. රෝහලෙන් පිටවුණාට පස්සේ ගියේ මහත්තයාගේ ගෙදර. ඒ ගිය දවසේ ඉදලා මම දරුවගේ නැෆ්කින් එකක්වත් හෝදන්න දුන්නෙ නැහැ. මගේ අම්මා වගේම මහත්තයාගේ අම්මත් මට හරියට උදව් කරනවා. එයාලා බණිනවා පැත්තකට වෙන්න ඒ වැඩ කරන්නම් කියලා. ඒත් මම හරිම ආසාවෙන් දරුවගේ සියලු වැඩ කරනවා. පුතා නිදි වෙලාවට කිසිම සද්දයක් ඇහෙන්නවත් දෙන්නේ නෑ. මගේ යාළුවෙක් මට ළඟදි කිව්වා මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේනකා කොහොමද ඔය දරුවව ඔහොම හදන්නෙ කියලා. එයත් පුදුම වෙනවා. මට බණිනවා. හේතුව මම දරුවා වෙනුවෙන් ම ඉන්නවා කියලා. දැන් මගේ ජීවිතේම පුතා. එයාව සතුටින් තියන්න මම හැම දෙයක් ම කරනවා. අනිත් එක මේ හුරතල් කාලේ අපිට ආයේ බලන්න නැහැ. ඒ වගේම පුංචි කාලේ නිතරම අම්මා දරුවා ළඟ ඉන්නවා නම් ඒක වටිනවා කියලා මම හිතනවා.

පුතත් දඟකාරයෙක්ද..?

කියලා වැඩක් නැහැ හරිම දඟයි. ඒත් හරි ආදරණිය චරිතයක්. ඒ වගේම මම වෙන දරුවෝ එක්ක හුරතල් වෙනවා එයාට බලන්න බැහැ. ඒ වෙලාවට එයාට දුක හිතෙනවා. මගේ නර්තන පන්තියට එයාගෙම වයසේ පුංචි දුවක් එනවා. එයා මාත් එක්ක හුරතල් වෙද්දී මගේ පුතා කේන්ති ගන්නවා. දැන් මම එයාට කියනවා ඔයාගේ යාළුවානේ මේ කියලා. මට තව දරුවෝ එක්ක ආදරෙන් ඉන්න එයා ඉඩ දෙන්නෙ නැහැ. එයාට ඕන මම එයාට විතරක් ආදරේ කරන්න… හුරතල් කරන්න… වඩා ගන්න. එයාගේ ඔය හුරතල් වැඩ එක්ක තමයි මමත් ජීවිතේ ගෙවන්නෙ දැන්.

මේනකා ආයෙමත් නර්තනය පැත්තට යොමු වෙලා, ඒ කියන්නේ රංගනයෙනුත් දකින්න පුළුවන් වෙයි නේද ..?

හොඳ නිර්මාණයක් ලැබුණොත් මාව “දකින්න පුළුවන් වෙයි. බබා නිසා හැම දෙයක්ම මම සීමා කරගත්තා. ඒත් දැන් පුතාට ටිකක් තේරෙන නිසා මගේ පිළියන්දල නර්තන ඇකඩමියේ වැඩ පටන් ගත්තා. එයාවත් අරන් මම පන්තියට යන්නේ. එයත් සමහර වෙලාවට බෙර පදවලට තෙයි තෙයි කියලා පාද තියලා තාල අල්ලන්න උත්සාහ ගන්නවා.

පුතා නිසා හැම දේකටම සීමා දා ගත්තා වගේ ඇඳුම් පැලඳුම්වලටත් සීමා දාගෙන ද ඉන්නේ මවගේ වගකීම් එක්ක..?

මම කවදත් ශරීරය නිරාවරණ වෙන විදිහට විලාසිතා කළේ නැහැ . මගේ ශරීරයේ හැඩයට ගැලපෙන චාම් විලාසිතා කළා. අදත් එහෙමයි. ඒක මට කම්ෆටබල්

මේනකා ලස්සන මේන්ටේන් කරන්න ජිම් යන කෙනෙක් ද..?

බබා ලැබෙද්දි මගේ බර කිලෝ 94ක්. ඒ කාලේ හොඳට කෑවා. ඇඳුම් තෝරා ගන්න බැරි තරම් මහත් වුණා. දරුවා ලැබුණට පස්සේ මම ශරීරයේ බර අඩු කරගත්තේ නටලාමයි. කිලෝ 30ක් අඩු කරගත්තා. නර්තනය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. මගේ අම්මත් කියනවා ඔයා නම් කවදාවත් නැටිල්ල නතර කරන එකක් නැහැ කියලා. ඒ තරම් මම නර්තනය ට කෑදරයි. ඒක මට භාවනාවක් වගේ, ඉතිං මම මාව මේන්ටේන් කරන්න නර්තනය භාවිත කරනවා.

කොහොමද නටන්න පටන් ගත්තේ..?

මට අවුරුදු එකහමාරක් විතර කාලේ අම්මයි තාත්තයි මාව තරුණ සේවා සභාවේ උත්සවයකට අරන් ගිහිං. මම මියුසික් සද්දෙට නටනටා ස්ටේජ් එක ළඟටම ගිහිල්ලා. ඒක තාත්තා නිතරම මතක් කරපු දෙයක්. මගේ පාසලෙන් තමයි මම නර්තනය පටන් ගන්නේ. සිරිනාම තල්ගහගොඩ සර් හා ස්වර්ණා සිරිනාම මිස් තමයි මාව නැට්ටුවෙක් කළේ, මාව පොලිෂ් කළේ. අපේ මිස් හරි හැඩයි. ඇය ලස්සනට ඇඳලා ගෙජ්ජි දාලා වළලු දාලා අඩිය උස්සලා නටද්දී මට ඕන වුණා ඇය වගේ වෙන්න , ඒ හීනේ නර්තන ඇකඩමිය දාලා සැබෑ කරගත්තා. ඊට පස්සේ ස්වර්ණවාහිනියේ මෙගාස්ටාර් කොරියග්‍රැෆර් කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. ඒ වගේම ඒ රියැලිටියෙ නටලා තෙවැනි තැන ගත්තා. එතනින් පටන් ගත්ත ගමන තමයි මේ විදිහට පවත්වාගෙන යන්නේ.

නැටුම රංගනයටත් වාසනාව ගෙනාවා නේද ..?

ඒක නම් ඇත්ත. ස්වර්ණවාහිනියේ විකාශය වූ මොණරතැන්න තමයි මගේ පළමු රංගනය. ඒ නාට්‍යට අලුත් මූණක් හොයමින් ඉන්න මොහොතක තමයි මාව තෝරා ගත්තේ. ගැමි චරිතයක් කරන්න තිබ්බේ සත්‍යා කියලා. මේ සත්‍යා භූතයෙකුට ආදරේ කළේ.

හි අධ්‍යක්ෂක සමන් කුමාර මහත්මයා මට කිව්වා මේනකා ඔයාගේ මුලින්ම රංගනය, මුලින්ම ඔයාට වළං හෝදන්න තියෙන්නේ . මේ වළද ගමේ කෙනෙක් වගේම දැලි ගාගෙන බිම තියාගෙන හරියට හෝදන්න කියලා. ඔහු කිව්වේ සත්‍යාට ආරූඩ වෙලා මේ භූතයාට ආදරේ කරන්න. හරියට චරිතය ගොඩ නගන්න කියලා ඔහු මාව නාට්‍ය අවසන් වනතුරුම ගයිඩ් කරා. ඒ චරිතයට මම උපරිම කැපවීම් කළා. ඒ නිසා පළමු නිර්මාණයෙන්ම හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ වගේම කියන්න ඕන මම රංගනයට සම්බන්ධ වෙද්දි රංගනය ගැන මුල් හැදෑරීමක් කරලා තිබ්බ කෙනෙක් නෙමෙයි. ඒත් රංගන පාසලකින් මගේ රංගන ජීවිතේ පටන් ගත්තා කියන හැඟීම දැණුනා. ඒකට හේතුව හොඳ දක්ෂ අධ්‍යක්ෂකවරු යටතේ වැඩ කිරීමට ලැබීම. මගේ මුල්ම නාට්‍ය කළේ සමන් කුමාර ලියනගේ මහතා. ඊට පස්සේ ශිවගුරුනාදන්. සරත් ධර්මසිරි, ජැක්සන් ඇන්තනී කියන කලාවේ මහා යෝධයා. සනත් අබේසේකරයන්. මෙවැනි අධ්‍යක්ෂකවරු යටතේ තමයි මම හැමදාම වැඩ කළේ. ඔවුන්ගේ දැනුම අත්දැකීම් එක්ක මගේ හැකියාව මම ඔපමට්ටම් කරගත්තා. ඔවුන් තමයි මගේ රංගන පාසල වෙන්නේ. ඒ නිසා වෙන්න ඇති මට සම්මාන කිහිපයකට හිමිකම් කියන්න අවස්ථාව ලැබුණේ. ඒක ඇත්තටම වාසනාවක් මොකද මුල සිටම ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්, ඒත් මට වාසනාව තිබුණා.

ඔය හැම දෙයක් එක්කම සතුටු වෙන මේනකාට හතරවැනි වතාවටත් හොඳම නිළිය සම්මානය ලැබුණා, පුල්ලී මේනකාගෙ රංගන හැකියාව ආයෙමත් මතක් කරලා දුන්නා කිව්වොත් ..?

මම අවුරුදු තුනක් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. මේ සම්මානය ලැබුණේ පානමංකඩ නාට්‍යට. මගේ ජීවිතේ මම ලොකු කැපවීමක් කරලා හදපු චරිතයක් තමයි පුල්ලී කියන්නේ. ඒ චරිතයට සිග්නීස් සම්මාන උලෙළේ හොඳම නිළිය වුණා, සිග්නීස් සියලුම දෙනාට ඊට ස්තූතියි කියනවා. ඒ වගේම පානමංකඩ නිෂ්පාදක ඇතුළු සියලු දෙනාට ස්තූතියි මට නන් අයුරින් සහාය දුන්නට. පානමංකඩ ටීම් එක මට දුන් සහාය නිසයි පුල්ලී සාර්ථක විදිහට කැමරාව ඉදිරියට ආවේ. මේ මගේ හතරවෙනි හොඳම නිළිය සම්මානය. ජූරියේ ඇගයුම් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. බොහෝ දෙනෙක් ඒ ගැන කතා කළා. හරි සතුටුයි.

කාලයක් නොදැක්ක නිසා, මේනකා පීරිස්ව ජනතාවට අමතක වෙලාද,..?

මම හිතුවෙත් එහෙම. මම වැඩිය ෂෝශල් මීඩියා නැහැ. ඒ නිසා මම ගැන ජනතාව අතරට යන්න ක්‍රමයක් නැහැ. හේතුව මාව නිර්මාණ වලින් දකින්නත් නැති නිසා. ඒ හේතූ නිසා මම හිතුවා මාව ආදරණීය රසිකයින්ට අමතක වෙලා ඇති කියලා. ඒත් පාරේ තොටේ යද්දී කතා කරන අය දිහා බැලුවම මාව අමතක වෙලා නැහැ කියලා හිතුණා, සමහරු චරිත වලින් කතා කරනවා. සමහරු අර නාට්‍යයේ මෙහෙම කළා මෙහෙම වුණා හරි ලස්සනයි කියලා කියනව. ආයේ රඟපාන්නේ නැද්ද අහනවා. ආසයි බලන්න රඟපාන්න කියලා කියපු, කියන අයත් ඉන්නවා. එහෙම ආදරේ දැනෙද්දි හරි සතුටුයි.

බොහෝ දෙනෙක් කියන්නේ ප්‍රසිද්ධ වෙන්න නම් දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඒත් මේනකාගේ ඉරණම ඊට වඩා වෙනස් වුණා නේද ..?

මම පටන් ගත්තෙම කලාත්මක නිර්මාණ වලින්. ඒ හැම නිර්මාණයක්ම අතිශය ජනප්‍රිය වුණා. මම රඟපෑ චරිත ජනප්‍රිය වුණා. ඇතැම් ඒවාට සම්මාන ලැබුණා. එහෙම බලද්දී මම හරි වාසනාවන්තයි ඒවගේ චරිත ලබන්න. මම කොහොමත් මට චරිතය ඇතුළේ යමක් කරන්න නැත්නම් මම ඒ වැඩේ භාර ගන්නෙ නැහැ, මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ කලාත්මක නිර්මාණවලට කියලයි මම හිතන්නේ , ඒකට හේතුව මගේ රංගන ගමන එතැනින් පටන් ගත්ත නිසා වෙන්න ඇති. දීර්ඝ නාට්‍යවලට මම වැඩිය සම්බන්ධ වෙන්න උත්සාහ ගත්තේ නැත්තේ කාලය කළමනාකරණය කරගන්න බැරි නිසා. ඒකට හේතුව දීර්ඝ නාට්‍ය අවුරුදු ගණන් ඇදෙන නිසා. චරිතය ඇතුළේ මට යමක් කරන්න තියෙනවා නම් මට නිර්මාණයට සම්බන්ධ වෙන එක ගැන හිතන්න පුළුවන්.

සිනමාවට මේනකාට ආරාධනා ලැබෙන්නේ නැද්ද , ඒ ගැනත් කියලා අපි කතාබහ ට සමු දෙමු..?

ඇත්තටම කවදත් මට සිනමාවට ආරාධනා ලොකුවට ලැබුණු කෙනෙක් නෙමෙයි , හොඳ කලාත්මක නිර්මාණ වළට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙන්න පුළුවන්.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division