Home » විවාහ උත්සවයත් මේ වගේම හදිස්සියේ ගන්න පුළුවන්

විවාහ උත්සවයත් මේ වගේම හදිස්සියේ ගන්න පුළුවන්

by thanushika
December 9, 2023 12:35 am 0 comment

ඩිලූෂි හංසිකා මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය පුංචි දරුවන් අතරේ. ඒ දෙරණ නාළිකාවේ විකාශය වෙන සැලෙනා නුවන් ටෙලි නිර්මාණයේ වර්ෂා ටීචර් නිසා. අද අපි ඇයව සම්බන්ධ කරගන්න හිතුවේ නිර්මාණවලට එහා ගිය පුවතක් ගැන විමසීමේ අදහසින්. ප්‍රේමවන්තයකු ගැන කිසිම හෝඩුවාවක් නැතුව හිටපු ඩිලූෂි හදිසියේම විවාහ ගිවිසගෙන කියල ලැබුණු ආරංචිය නිසා ඒ ගැන ඇයගෙන්ම විමසා බැලුවා. ඇගේ අතගත් ඔහු ගැන මෙතෙක් කිසිවකු නොදන්නා තොරතුරුයි මේ. ඩිලූෂි කියන්නේ‍ තමන්ගේ හැම පෞද්ගලික තොරතුරක්ම සමාජ මාධ්‍යවලට මුදාහරින ශිල්පිනියක් නොවෙයි. මේ ඇය අප හා කියූ තොරතුරුයි.


“ඒ කතාව ඇත්ත. දවස් හත අටකින් වගේ අපි උත්සවය සංවිධානය කළේ. එයාගෙ නම සුරේන්. ආදරේට කියන්නෙ සෝනු කියලා. අපි දෙන්න ඉස්සෙල්ලම හමුවුණේ විහාරමහා දේවී උද්‍යානයේ තිබුණු කොන්සට් එකක් බලන්න ගිහින්. ඊට කලින් මගේ ස්ටෝරි එකක් දැකලා මගේ යාළුවෙක්ව අඳුනගෙන එයා හරහා අපි අඳුනගෙන කතාබහ කළා. මං රංගන ශිල්පිනියක් කියල එයා මුලින්ම දැන ගත්තෙ එදා. ඊට පස්සෙ මගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්වල තියෙන වීඩියෝ ඔක්කොම බලල තිබුණා. එයා වැඩිය ටීවී බලන කෙනෙක් නෙවෙයි. එයා බිස්නස් කරන්නෙ. කොන්සට් එක දවසෙ ගත්ත පොටෝ එකක් එයා ගෙදර අයට පෙන්නල තිබුණා. එයාගෙ අක්ක නම් මං ගැන දැනන් ඉඳලා. ඉතාම කෙටි කාලෙකදි මං තේරුම් ගත්තා එයා මම කැමැති ජාතියෙ, ජීවත් වෙන්න ලේසි මනුස්සයෙක් කියලා. ඒ නිසා අපි ඉක්මනින් තීරණය කළා විවාහ වෙන්න. නොවැම්බර් 15 වෙනිදා එයාලගෙ ගෙදරින් අපේ ගෙදර ආවා. නොවැම්බර් 17 වෙනිදා අපේ ගෙදර අය එයාලගෙ ගෙදර ගියා. වෙලාවලුත් හොඳින් ගැළපුණා. අපිට නැකත් තිබුණෙ දෙසැම්බර් මාසෙ. මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා ගිවිස ගැනීම ගංගාරාම පන්සලේ ගන්න. ඒත් දිනය යෙදුණු දවසෙ ගංගාරාමයේ ඉඩ තිබුණෙ නැහැ. නොවැම්බර් 23 වැනිදා ගොඩක් හොඳ නැකතක් තියෙනවා කිවුවා. එදා ගංගාරාමෙත් ඉඩ තිබුණා. දෙපැත්තෙම කැමැත්තෙන් අපි එදා විවාහ ගිවිස ගැනීම සිදු කළා.

මට ලොකුම ආසාව තිබුණේ විවාහ ගිවිස ගන්න වෙලාවට හාමුදුරුවො වඩම්මල, පිරිත් කියලා ආගමික වතාවත් කරන්න. ඒ නිසාමයි ගංගාරාමෙ කරන්න හිතුවේ. වෙඩින් එකට කොහොමත් කැන්ඩියන් අඳිනවනෙ. සමහරු ඒත් ඇහුවා ඇයි ඉන්දියන් විදිහට ඇන්දෙ කියලා. හැමෝම එක්කො සාරියක් එහෙම නැත්නම් ගවුමක්නෙ අඳින්නෙ. මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න. ලොකුම ගැටලුව වුණේ සුරේන්ට ජටාව බඳින එක. එයා බැහැම කිවුවා. මං කලින් අන්දල බලන්න එක්ක ගිහින් බොහොම අමාරුවෙන් කැමැති කරගත්තෙ. අන්තිමට එයා මුළු දවසම බොහොම කැමැත්තෙන් ජටාව බැඳන් හිටියා. කොහොම හරි වැලිගම ෂූට් එකට යද්දිවත් එයා ජටාව ගැලෙව්වෙ නෑ. හිතුවටත් වඩා හොඳට ලස්සනට වැඩේ කර ගන්න පුළුවන් වුණා. ෆොටෝ ෂූට් එක කළේ වැලිගම මලබාහිල්ස්වල. අශාන් අයිය තමයි හැමදේම කෝඩිනේට් කළේ. ඔහු ඇතුළු සහාය දුන් හැමෝටම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන.“

බොහෝ දෙනාට කුතුහලයක්ව පැවැති ඩිලූෂිගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණේ ඔන්න ඔහොමයි. කාටත් ගැටලුව වුණේ ආදරවන්තයෙක් ගැන පුංචි හෝ හෝඩුවාවක් නැතුව හිටිය ඩිලූෂි හදිසියේම විවාහ ගිවිස ගත්තේ කෙසේද කා සමඟ ද යන්නයි. කිසිදු පැකිළීමකින් තොරව එයට පිළිතුරු දුන් ඩිලූෂි ලබන වසරේ විවාහ උත්සවයත් මෙලෙසින්ම හදිසියේ වුව ද සිදුවිය හැකි බව පැවසුවේත් මුව රැඳි සිනහවකින්.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division