Home » මම හැමවෙලේම ඒ කෙනා හඹා යනවා

මම හැමවෙලේම ඒ කෙනා හඹා යනවා

by thanushika
December 9, 2023 12:30 am 0 comment

තිලක්ෂණී රත්නායක කියන්නේ මෑත කාලයේ බිහිවුණු චරිතාංග රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම ඉන්න රංගන ශිල්පිනියක්. එකිනෙකට වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයින්ගේ හදවතේ රැඳෙන චරිත කරන්නට තිලක්ෂණීට හැකියාව ලැබුණා. තණමල්විල කොල්ලෙක් හි සුලෝ, මාණික්කාවත හි සුගුණහාමි සේම මෑතක නිමා වූ කොඩිගහයට මනීශා සේම ඉදිරියට එන්න තියෙන නිර්මාණ තුළිනුත් තිලක්ෂණී රත්නායක එකිනෙකට වෙනස් චරිත ඔස්සේ දැක ගන්නට පුළුවන්.

තිලක්ෂණී රංගනයෙන් දායක වුණු කොඩිගහයට නිර්මාණය නම් අවසන් වුණා, කොහොමද මනීශාට ලැබුණු ප්‍රතිචාර?

ඒක ඇත්තටම අතිශය ජනප්‍රියත්වයට පත් වුණ නාට්‍යයක් වුණා. ඒකත් එක්ක ඒ චරිතයේ තිබ්බ ස්වභාවයන් එක්ක ප්‍රේක්ෂකයා ඒ චරිතයට ආස කළා. ඒ නිසා පාරේ යද්දී කතා බහ කරන තත්වයකටම ජනප්‍රිය වුණා.

ඔබ චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?

චරිතයක් තෝරා ගනිද්දී මම ටිකක් සැලකිලිමත් වෙනවා. මෙතෙක් කරපු චරිතම නැතුව වෙනස් විදියේ චරිත තෝරා බේරා ගන්න. ඒ හැර චරිතයක් භාර ගත්තම ඒ චරිතය තුළ මට සීමාවන් නැහැ.

තිලක්ෂණීගේ වෘත්තීය රංගනයද?

මෙහෙමයි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන එක හරිම සංකීර්ණයි. මම විශ්වාස කරන්නේ රඟපෑම කරන්න බැහැ වෘත්තිමයභාවයක් නැතුව. අපිට ලැබෙන මුදල් තත්ත්වය මතනේ අපි දිගටම රංගනය කරනවද කියන එක තීරණය කරන්න වෙන්නේ. මම කියන්නේ දිගටම කළත් සතියට දවසක් කළත් ඒ තියෙන වෘත්තිමයභාවය අපි පවත්වාගන්න ඕනේ. අපි වෘත්තියක් විදියට දෙන වගවීම සහ කැපවීම කරන්න ඕනේ. ලංකාවේ මේ මොහොතේ තියෙන සිටුවේෂන් එකත් එක්ක මේක වෘත්තීය විදියට කරනවද එහෙම නැත්නම් මුදල් උපයන්න වෙන රැකියාවක් කරන ගමන් කරනවා ද කියන එක තමන්ගේ තීරණයක්. මම තාමත් වාසනාවන්ත වෙලා ඉන්නවා මේ වෘත්තියෙන් පමණක් යැපෙන්න.

මේ ක්ෂේත්‍රයට ඇවිත් ගත වෙන්නේ කීවෙනි අවුරුද්ද ද?

මම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ 2011 දී වේදිකා නාට්‍යයක් හරහා. එහෙම බලද්දී දැන් අවුරුදු 12ක් විතර වෙනවා.

මේ කාලය තුළ කළ රඟ පෑ නිර්මාණ ගැන තෘප්තිමත් ද?

ඇත්තටම සෑහෙන්න තෘප්තිමත්. මම හිතපු නැති විදියේ අධ්‍යක්ෂවරු යටතේ මම හිතපු නැති විදියේ රංගන ශිල්පින් සහ ශිලිපිනියන් සහ කලාවේ අනෙකුත් ක්ෂේත්‍රයන් හි නියැළී ඉන්න බහුතරයක් එක්ක මට වැඩ කරන්න ලැබුණා. ඒ හැමෝම මගේ මේ ගමනට ගොඩක් දේවල් එකතු කළා. මට එකිනෙකට වෙනස් චරිත භාරදීම තුළින් ඒ චරිත කරමින් අධ්‍යයනය ලබමින් මම මේ ගමන ආවේ. ඒ නිසා අතිශය තෘප්තිමත්.

ඉදිරියට ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

ITN එකේ විකාශය වන මිනි සීරියස් නාට්‍යය එන්න තියෙනවා. ටෙලි නාට්‍යයවලින් ඉදිරියට එන්න තියෙන්නේ ඒක. චිත්‍රපටවලින් නම් මෑතක පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ “එලිෆන්ට්පාස්” චිත්‍රපටයේ ෂූටින් ඉවර කළා. ඒ එක්කම චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ දුස්රා චිත්‍රපටය ළඟදීම තිරගත වෙන්න තියෙනවා.

ඉදිරියට එන්න තියෙන දුස්රා චිත්‍රපටය ගැන කතා කළොත්, කොහොමද ඒ අත්දැකීම?

හරි සුන්දර කාලයක් අපි ගත කළා. රංගන ශිල්පිනියක් විදියට රංගනයේ නව පරාසයක් හොයාගන්න පුළුවන් වුණු නිර්මාණයක්. අපි චරිතයකට ප්‍රවේශ වෙන්න දන්නවා වුණත්, අපි චරිතයකින් එන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තේ රතී කියන චරිතය හරහා. ලංකාවේ රංගනය ගැන විධිමත් විදියට ඉගෙන ගන්න තියෙන ආයතන හරි සීමිතයි. එතකොට නිර්මාණ ඇතුළේ තමයි අපිට රංගනය ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා මේ චිත්‍රපටය කෙරුණු කාල සිමාවේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. ක්‍රිකට් ගහන්නත් චුට්ටක් ඉගෙන ගත්තා.

චන්න දේශප්‍රිය අපිට සමීප වෙන්නේ සම්මානිත කැමරා ශිල්පියෙක් විදියට, ඔහු අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබට දැනුණේ?

මම දකිනවා චන්න දේශප්‍රියව හරිම නිර්භීත අධ්‍යක්ෂණය ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් විදියට. එයා කැමරා අධ්‍යක්ෂණය අතින් මාස්ටර්. DOP කෙනෙක් විදියට එහි පරතෙරටම ගිහින් තියෙනවා. ඔහු හරිම නිහතමානීව ඉගෙන ගන්න ළමයෙක් වගේ අධ්‍යක්ෂණයට ආවේ. මම දැක්කා දවසින් දවස එයා අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩෙන හැටි. එයාගේ කැමරාකරණයේ තියෙන පරිණතභාවය සහ අධ්‍යක්ෂණය කියන භූමිකාව ඉගෙන ගන්නා විදිය දැක්කම අපිටත් උත්තේජනයක් ඇතිවෙනවා එයත් තාම ඉගෙන ගන්නවා නම් අපි කොච්චර ඉගෙන ගන්න ඕනෙද කියන එක. මට හරි ලේසි වුණා ඔහු එක්ක වැඩ කරන්න.

රතී කියන චරිතය අභියෝගයක් වුණු තැන් තියෙනවද?

රතී මුහුණ දුන් සමහර අත්දැකීම් මම ජිවිතේ පෞද්ගලිකව මුහුණ දීලා නැහැ. නමුත් ලංකාවේ සමහර ගැහැනු ළමයින් අත්විදින තත්ත්වයන්. එතකොට මට ඒ ආත්මය තේරුම් අරන් නිරුපණය කිරීමක් තිබ්බේ. හැම නිර්මාණයක් ඇතුළෙම එහෙම අභියෝගයක් හම්බෙනවා. මොකද ඒ ඉන්නේ මම නොවන නිසා. ඒ නිසා චරිතවල අභියෝගවලට මුහුණ දෙන එක මම ආස දෙයක් සහ මට පුරුදු දෙයක්.

පුංචි තිරයට යළිත් එන්නේ සඳමාලි විදියට?

ඔව්. ශ්‍යාම් ප්‍රනාන්දු කියන දක්ෂ නළුවාගේ අධ්‍යක්ෂණයක් වන “සඳමාලි තවම මම පණ පිටින්” කියන නාට්‍යයේ සඳමාලි ලෙස. ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නේ ගොඩක් අය නොදන්නවා වුණාට දක්ෂ කතාකාරයෙක් සහ දක්ෂ පිටපත් රචකයෙක්. එයා ඒ දෙකේම වාසිය අරගෙන එයාටම ආවේණික විදියට මේ අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒකත් මේ දෙසැම්බරයේ ප්‍රේක්ෂකයින්ට භාරයි.

තිලක්ෂණී ආදරේ දකින්නේ කොහොමද?

ආදරේ කියන්නේ ක්‍රියා පදයක්. මම ආදරේ කරන එක තමයි මගේ ජිවිතේ සතුට. ඒ තුළ සාමය මට ලැබෙනවා. ගොඩක් අය ජිවිතේ එක එක දේවල් කරලා සතුටු වෙනවනේ. මම සතුටු වෙන එක විදිහක් ආදරේ කරලා.

තිලක්ෂණීගේ ආදරේ ගැන කිව්වොත්?

මම විවාහකයි. ඔහු කලා ක්ෂේත්‍රයේ රංගන ශිලිපියෙක්, තිර රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරන නලින් ලුසේනා. මගේ රංගන ජීවිතේට ලොකු සහයෝගයක් දෙනවා. නිර්මාණයක් කරලා ගෙදර ආවම ගෙදර ඇතුළෙත් ඒ වැඩේට සහයෝගයක් තියෙනවා කියන්නේ ලොකු වාසනාවක්.

ජිවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ජිවිතේ ගැන හරි සතුටුයි. කිසිම පසුතැවීමක් මගේ ජිවිතේ නැහැ. මිට අවුරුදු 10කට කලින් මම ජිවත් වෙන්න ඕනේ කියලා හිතපු හැමදේම මට දැන් තියෙනවා. පුද්ගලයෙක් විදියට වර්ධනය වෙන්න ඕනේ දේවල් සහ නිර්මාණකාරියක් විදියට මම ජිවත් වෙන්න ඕනේ විදිය මේ වෙද්දී වෙලා තියෙනවා. ඒ වගේම මට දැන් තියෙනවා හීනයක් තව අවුරුදු 10කින් මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියන හීනයක්. ඉතින් මම හැමවෙලේම ඒ කෙනාව හඹා යමින් ඒ කෙනාව නිර්මාණය කරමින් ඉන්නවා. මම හීන මවපු ජිවිතේ මේ මොහොතේ ජිවත් වීම ගැන මට හරි සතුටුයි.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division