Home » 11 වැනි MTM සම්මාන ප්‍රදානෝත්සවයේ MTM Young Achievers – 2023 සම්මානය ශ්‍රී ලංකාවේ යෙනුලි බිනාරාට

11 වැනි MTM සම්මාන ප්‍රදානෝත්සවයේ MTM Young Achievers – 2023 සම්මානය ශ්‍රී ලංකාවේ යෙනුලි බිනාරාට

by thanushika
December 9, 2023 12:30 am 0 comment

පසුගිය 25 වැනිදා එක්සත් රාජධානියේ මැරියට් බ්‍රිස්ටල්හි ඩෙල්ටා හෝටලයේදී පැවැති 11 වැනි MTM සම්මාන ප්‍රදානෝත්සවයේ MTM Young Achievers – 2023 සහ MTM Music & Entertainment යන ද්විත්වයෙන් අවසන් වටයේ තරගකරුවන් ලෙස තේරී පත්වූ රටවල් ගණනක් පරදා MTM Young Achievers – 2023 සම්මානය දිනා ගන්නට ශ්‍රී ලාංකේය සම්භවයක් හිමි 15 හැවිරිදි යෙනුලි බිනාරා සමත් වූවාය. විවිධ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් පැවැති මෙම තරගාවලියේ සිටි ළාබාලතම තරගකාරිනිය ඇය වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ උපත ලද යෙනුලි ඕමානයේ මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව එක්සත් රාජධානියට පැමිණෙන්නේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අරමුණෙනි. ගායනය වාදනය නර්තනය, ක්‍රීඩාව, විවාද ආදී සියලු අංශයන්හි දක්ෂතා දක්වමින් පාසලේත් කැපී පෙනෙන චරිතයක් වූ බිනාරා ඒ ඒ අංශයන්හිදී ලැබූ ජයග්‍රහණ ප්‍රමාණය ද අතිමහත්ය. 2019 වසරේ ස්වීඩන්හි අයිස් වර්ල්ඩ් ජාත්‍යන්තර ගායන තරගයේ ජයග්‍රාහිකාව මෙන්ම බෙස්ට් ඕඩියන් පෆෝමන්ස් තරගයේ ජයග්‍රාහිකාව ලෙස සම්මාන ද්විත්වයටම හිමිකම් කීමට ඇය සමත් වූවාය. එය ඇය ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව විය. එම වසරේම ජර්මන්හි බර්ලින්වල පැවැති Out Of the Europe Singing competitionහි ජූරියේ විශේෂ සම්මානයට ද පාත්‍ර වූවාය.

ශ්‍රී ලංකා නාමය ලොව පුරා විහිදුවමින් 2022 වසරේ එක්සත් රාජධානියේ හන්ඩ්‍රට් ජාත්‍යන්තර සංවිධානයේ ළාබාලතම තරුණ තානාපතිවරිය ලෙස තේරී පත්වුණු යෙනුලි පසුගිය වසරේ දී එහි නැඟී එන නායකයකු ලෙස උසස් වීමක් ලබා ගැනීමට ද සමත් වූවාය. මේ වන විට ඇය එහි කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ශ්‍රී ලාංකේය අපට ද මහත් ආඩම්බරයකි. සමාජ සේවා කටයුතුවලට බොහෝ සේ ඇලුම් කරන ඇය Green Heart Foundation සංවිධානය පිහිටුවා ගන්නේ ද වඩා හොඳ නව ලොවක් තැනීමේ අරමුණෙනි. ඒ හරහා ලොව පුරා සිටින ළමුන් පෙළගස්වා පරිසර දූෂණයෙන් තොර සාමකාමී තිරසර ලොවක් ගොඩනැඟීමට ඇය වෙර දරන්නීය. එහි ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන්නේ ද තම උපන් බිම වෙනුවෙන් ශ්‍රී ලාංකික දියණියකගේ සැබෑ යුතුකම ඉටුකිරීමේ අභිලාෂයෙනි.

අධ්‍යාපනයට මෙන්ම කලාවට ද විශේෂ හැකියාවක් ඇති ඇය ගායනයට පමණක් නොව සංගීත නිර්මාණය මෙන්ම පදරචනයෙහිද දස්කම් දක්වන්නීය. ඇය විසින් පද රචනය කර, සංගීතවත් කර රංගනයෙන් දායක වෙමින් 2022 වසරේ නිර්මාණය කරන ලද Baby walk your Fire Down ගීතය රටවල් 84ක් අතුරින් 13000ක තරගකරුවන්ගෙන් ජයග්‍රාහිකාව බවට පත්වෙමින් UK Song Writing contessහි 5 Star Highly Commended Award හිමිකර ගත්තේ වෘත්තීමය පදරචකයකු ලෙස එය නිර්මාණය කර ඇතැයි ජූරියේ පැසසුමට ද ලක්වෙමිනි.

තම මවගේ ගුරුහරුකම් මධ්‍යයේ ගහට, කොළට, සතා සිවුපාවාට ආදරය කිරීමට පුරුදු වුණු යෙනුලි Green Heart Foundation එක පිහිටුවා ගන්නේ ද පරිසරයට තියෙන ආදරය නිසාමය. දැනට එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පමණක් එහි ශාඛා පවතින අතර ලබන වසරේ සිට එය ලොව පුරා විහිදුවන්නට සූදානමින් සිටින්නීය. තම පියා ප්‍රසාන් රසාංජය සහ මව දිල්රුක්ෂි දේවගේගෙන් ලැබෙන සහායෙන් මෙතරම් පුංචි වයසකදී ලොවක් දිනන්නට හැකියාව ලද මේ පුංචි දියණිය වෙර දරන්නේ ලොවට වැඩදායී පුරවැසියෙක් වීමටයි. යෙනුලිගේ මව ද වයලීන් විශාරදවරියකි. කුඩා කල සිටම විදෙස් රටවල ජීවත් වුවද හොඳින් සිංහල කතා කිරීමේ හැකියාව ඇති යෙනුලි සිංහල ගීත ගායනයට ද දස්කම් දක්වන්නීය. ඇය දර්ශන රුවන් දිසානායක සමඟ ගයන ‘අහස එක කුස‘ ගීතය එයට හොඳම උදාහරණයකි. නිවසේ දී තම මවගෙන් ලබන සංගීත දැනුම මෙන්ම මෙලෙස තරගවලින් ලබන ජයග්‍රහණයන් තම සංගීත ගමනට දිරියක් බව ඇය පවසන්නීය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division