Home » සජිත්ට කටඋත්තර නැති වුණු විගණන වාර්තාව

සජිත්ට කටඋත්තර නැති වුණු විගණන වාර්තාව

by gayan
December 9, 2023 12:30 am 0 comment

ජයේ මුදල් පෞද්ගලික කටයුතුවලට යොදාගත් බවට විගණන වාර්තාවෙන් ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පසුගිය හයවැනිදා පැවසීම කාගේත් කතාබහට ලක්විය.

සජිත් ප්‍රේමදාසගේ බිරියට ආරක්ෂකයන් දහ දෙනකු යොදවා ඔවුනට රජයෙන් වැටුප් ගෙවා ඇති බවත් ඇගේ රූපලාවණ්‍යාගාරයට 19 දෙනකු යොදා ගත් බවත් විගණන වාර්තාවකින් හෙළි වන අතර ඒ පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටියදී රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් අවභාවිත කර ඇති බවට තිබෙන විගණන වාර්තාව අසත්‍ය නම් එය ඔප්පු කර පෙන්වන ලෙස විපක්ෂ නායකවරයාට අලුත්ගමගේ අභියෝග කරන ලදී.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ මේ රටටත් මේ අයගේ පක්ෂයටත් හොඳම කාලයක්. විපක්ෂ නායක අයින් වෙන්න යන්නේ. විපක්ෂ නායකතුමා කිව්වා ඉදිරිපත් කළොත් ඉල්ලා අස්වෙනවා කියලා. මම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තාව එතුමාට දුන්නා. එතුමා ඒක කියෙව්වා. වචනයක්වත් කිව්වේ නෑ. කොන්ද පණ තියෙන විපක්ෂ නායක කෙනෙක් නම් අද එතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ යනුවෙනි.

මේ සකලසිරින් පිරි ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකේ අර්බුදය ක්‍රීඩා ඇමති නොහොත් ‘සෙල්ලං ඇමති’ටත් වඩා කරට ගෙන කටයුතු කළේ සජිත් විපක්ෂ නායකතුමාය. විපක්ෂ නායකයයි එතුමා භාවිත කළත් එතුමාගේ පියාණෝ වූ රණසිංහ ප්‍රේමදාස එකී ධුරයට මානුෂික මුහුණවරක් දුන්නේ ‘ප්‍රතිපක්ෂ නායක’ ලෙස හඳුන්වමිනි.

පසුගිය කාලයේදී “දිවි නැඟුම” ක්ෂේත්‍රයේ අසීමිත මහජන මුදල් කන්දරාවක් ඉලක්ක වූ ජනතාව වෙත යොමු නොකර විවිධ පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් වැය කෙරුණා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව කිව යුතුයි. මා මේ කරුණු ඉදිරිපත් කරන්නේ “ඔවා දෙනු පරහට තමන් සම්මතයේ පිහිටා” යන්න අනුවයි. අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා ක්‍රියා කළ යුතු බව “ධම්මපදයෙහිත්” සඳහන් වෙනවා. මා කටයුතු කරන්නේ ඇමැතිවරයකුට හිමි වැටුප, නිල වාහන සහ ඒවාට ඉන්ධන, නිල නිවාස, දීමනා සහ වෙනත් ප්‍රතිලාභ ලබා නොගනිමින් බව කිව යුතුයි. ඒවායේ එකතුව මසකට රුපියල් 357,000ක් වනවා. ඒ මුදල් මා පරිත්‍යාග කරන්නේ රටේ නිවාස හැදීම වෙනුවෙනුයි.

එහෙත් කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි කියමන සිහි ගන්වමින් අභ්‍යන්තර විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායකවරයා නිරුත්තර විය.

සභාපතිවරයා වෙත 2022.02.28 දින ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා විසින් ප්‍ර.අ.වි. 19/36.48,2022/SI 06 යටතේ අභ්‍යන්තර විගණන වාර්තාවේ විෂය හඳුන්වා ඇත්තේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කටයුතු සහ ඔහුගේ බිරියට අයත් ව්‍යාපාරික ස්ථානවල සේවය කිරීම සඳහා ආරක්ෂක සේවකයින් 19 දෙනකු බඳවාගෙන සේවයේ යෙදවීම පිළිබඳ පරීක්ෂණය 2021 යනුවෙනි.

මෙම විගණනය ගැන මූලික හැඳින්වීමක් කරමින් විගණකවරයා වැඩිදුරටත් සාක්ෂි සහිතව සපථ කරමින් කරුණු ගොනු කරමින් තහවුරු කරන්නේ පසුගිය 2015 හා 2016 වර්ෂයන්හි ආරක්ෂක සේවකයන් ලෙස සංස්ථා ආරක්ෂක අංශය වෙත බඳවා ගෙන ඇති 19 දෙනකුගෙන් සමන්විත සේවකයන් පිරිසක් 2016/06/01 සිට 2019/10/31 යන කාල සීමාව තුළ අමාත්‍යාංශ රාජකාරි ලෙස සටහන් කරන ලද බැහැර කාර්ය සටහන් පත්‍ර (Duty Card) මඟින් සංස්ථාවට අයත් නොවන විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන හා තම බිරියට අයත් ව්‍යාපාරික ස්ථානයන්හි සේවයේ යොදවා නැවත ප්‍රතිපූර්ණය කර ගැනීමකින් තොරව සංස්ථාව මගින් වැටුප් හා අතිකාල ගෙවීම් කර ඇති බව ආරක්ෂක අංශ බැහැර රාජකාරි පසු පරීක්ෂාවේදී විගණනයට නිරීක්ෂණය වූ බවය.

එමෙන්ම 2018 හා 2019 වර්ෂ 02 සඳහා වන බැහැර රාජකාරි පත්‍ර පමණක් ආරක්ෂක අංශය සතුව පැවති අතර ඒවායෙහි අමාත්‍යාංශ රාජකාරි ලෙස සඳහන් කර තිබුණ ද, ලබාගත් ප්‍රකාශ සටහන් අනුව ඇතැම් සේවකයන් ඉහත කාල සීමාව තුළ හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයන්හි මහජන දින පැවැත්වෙන කාර්යාලයන්හි හා ඔහුගේ බිරියට අයත් රූපලාවණ්‍යාගාරයන්හිද සේවය කර ඇති බවට කරුණු අනාවරණය විය. මෙම සේවකයන් 19 දෙනා වෙත ගෙවීම් කරන ලද වැටුප් හා අතිකාල මුදල් නැවත ප්‍රතිපූරණය කර නොගැනීම මත සංස්ථාවට රු. මිලියන 42ක් හෝ ඊට ආසන්න මූල්‍ය අලාභයක් සිදුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයට අදාළ විගණන වාර්තාව ගරු සභාපතිතුමාගේ කාරුණික අවධානයට යොමු කර ඇත්තේ ලිඛිත සාක්ෂි මතය.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2022 වසරේ එහි ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී එන්.වී.ටී. ධම්මිකගේ අත්සනින් යුතුව නිකුත් කළ ඉහතින් සඳහන් කළ විගණන වාර්තාවයි.

විගණන පරීක්ෂණය සිදු කිරීමේදී 2018 සහ 2019 වසර සඳහා බැහැර රාජකාරි පත්‍ර පමණක් ආරක්ෂක අංශය සතුව තිබූ අතර ඒවායේ අමාත්‍යාංශ රාජකාරි ලෙස සඳහන් කර තිබුණ ද ලබාගත් ප්‍රකාශ අනුව ඇතැම් සේවකයන් ඉහත කාල සීමාව තුළ හිටපු නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ආරක්ෂක කටයුතු, දේශපාලන කටයුතු, මැතිවරණ මෙහෙයුම් කාර්යාලයන්හි මහජන දින පැවැත්වෙන කාර්යාලයන්හි හා ඔහුගේ බිරියට අයත් රූපලාවණ්‍යාගාරයන්හි සේවය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. මේ සේවකයන් 19 දෙනා වෙත ගෙවීම් කරන ලද වැටුප් හා අතිකාල මුදල් නැවත ප්‍රතිපූරණය කර නොගැනීඹ මත සංස්ථාවට රුපියල් මිලියන 42ක් හෝ ඊට ආසන්න සමස්ත මුල්‍ය අලාභයක් සිදුව ඇත.

මේ 19 දෙනා අතරින් ආරක්ෂක නියාමකවරුන් තිදෙනකු වන එච්.පී. නන්දන කුමාර, පී.ජී. සංජය සහ එච්.පී.යූ.එම්. කල්දේරා යන අයත් නුපුහුණු සේවකයින් පස්දෙනකු වන බී.වී. සුරංජිත් රත්නප්‍රිය, ඒ.ජී.ටී.පී. කුමාර, ජී. ඩෙන්සිල්, එස්.පී.එස්. දිසානායක සහ එස්.කේ. හපුආරච්චි යන අටදෙනා දැනටමත් ස්ථිර සේවයේ යෙදෙමින් සිටී.

නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස එකල කටයුතු කළ සම්බන්ධීකරන ලේකම් නුවන් සිරිවර්ධන, මාධ්‍ය ලේකම් මහිලාල් එම්. සෙනෙවිරත්න, සම්බන්ධීකරණ ලේකම් ලලිත් ඩී. කහපොල, මහජන සම්බන්ධතා නිලධාරී අරුණ දහනායක සහ පෞද්ගලික ලේකම් පී. සමරසිංහ 2018 සහ 2019 වසර සඳහා ඉහත ආරක්ෂක සේවකයන් 19 දෙනාගේ ඇතැම් බැහැර රාජකාරි පත්‍ර සහ වේලා සටහන් පත්‍ර සඳහා අමාත්‍ය කාර්යාලයේ සේවය කළ බවට සිය අත්සන් හා නිල මුද්‍රාව තබා සහතික කර තිබෙන්නේ චෝදනා අංක 3 යටතේය. එහි 04 ලෙස සේවයේ යොදවා ඇති කාල සීමාව ලෙස 2016/05/01 සිට 2019/10/31 දක්වා ඇත.

මෙම විගණන වාර්තාවේ අංක 5 ලෙස යොදවා ඇති සේවකයන් ගණන හා ඔවුන්ගේ සේවයේ ස්වභාවය ද දක්වා ඇත්තේ මෙසේය. සංස්ථා ආරක්ෂක අංශ සේවකයන් 19 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 2016 අප්‍රේල්, මැයි‍, ජුනි 2017 පෙබරවාරි, 2019 මැයි මාසයන්හි සිට 2019 ඔක්තෝබර් මස දක්වා අවස්ථාවන්හිදි කණ්ඩායම් වශයෙන් අමාත්‍යාංශ රාජකාරි, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පුද්ගලික ආරක්ෂක කටයුතු හා දේශපාලන කටයුතු, රූපලාවාණ්‍යාගාර කටයුතු සඳහා සේවයේ යොදවා ඇති අතර එක් එක් සේවකයා විසින් සිදුකරන ලද කාර්යයන් හා සේවයේ යොදන කාලසීමාවන් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් මත පදනම්ව ඇමුණුම් අංක 01 යටතේ දක්වා ඇත.

එමෙන්ම මෙම විගණන වාර්තාවේ හයවැනි අංකය යටතේ මෙකී පරීක්ෂණය සඳහා පාදක කරගනු ලබන නීතිමය ලේඛනය ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ 2 වන කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ පළවන උපලේඛනයේ අංක 08, 09, 10 හා 16 යන උප ශීර්ෂ (ඇමුණුම් අංක – 02) ලෙස හුවා දක්වා ඇති අතර පාදක කර ගනු ලැබූ අණ පනත ලෙස සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනජයේ 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත (ඇමුණුම් අංක 03) ලෙසය.

සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලක මෙම ආරක්ෂක සේවකයන් 19 දෙනා සජිත් ප්‍රේමදාසගේ විවිධ කටයුතු සඳහා බැහැර කාර්ය සටහන් පත්, වේලා සටහන් පත් සඳහා ලිඛිත අනුමැති ලබා දෙමින් සේවකයන් යෙදවීම, ඒ සඳහා ඔවුනට වැටුප් සහ අතිකාල දීමනා සකස් කරන ලෙස සහ ගෙවීමට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දීම සිදු කර ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.

හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පාලන එච්.ඒ.එස්.පී. හතුරුසිංහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලකගේ ලිඛිත සහ වාචික උපදෙස් මත පදනම්ව එම ආරක්ෂක සේවකයන් අමාත්‍යාංශ රාජකාරි ඇතුළු අමාත්‍යවරයාගේ පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා අනුයුක්ත කර තිබේ. එසේම වසර ගණනාවක් බැහැර සේවයේ යෙදුණු මෙම ආරක්ෂක සේවකයන් වෙත ගෙවීම් කරන ලද මුදල් අදාළ පාර්ශ්ව වෙතින් නැවත ප්‍රතිපූරණය කර ගැනීමට කටයුතු කරගෙන නැත.

හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඊ.එස්.එස්. ද සිල්වා බැහැර සේවයේ යොදවා තිබූ මෙම ආරක්ෂක සේවකයන්ගේ වැටුප් හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලකගේ උපදෙස් අනුව කටයුතු කිරීම සහ එම සේවකයන් අතුරින් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කටයුතුවල යොදවා සිටි ඇතැම් ආරක්ෂක සේවකයන්ගේ සේවා දීර්ඝ කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදුකර තිබේ.

එමෙන්ම විගණන නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ඉහතින් උපුටා ඇති ඉහත සේවකයින් පස්දෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති නිර්දේශ මෙසේය.

ඉහත නිරීක්ෂණ අංක 8.11 හි දැක්වෙන ආරක්ෂක සේවකයන් 05 දෙනා සඳහා 2017 නොවැම්බර් මස සිට සේවා දිගු කිරීම් ලිපි නිකුත් කරන ලද 2019 පෙබරවාරි මස දක්වා මාස 14ක පමණ කාලයක් සේවා දීර්ඝ කිරීමක් නොමැතිව වැටුප් / වේතන සකස් කරමින් රුපියල් 3,267,045.62 ක් හෝ ඊට ආසන්න මුදලක් ඔවුන් වෙත ගෙවීම් කරමින් ආයතන සංග්‍රහයේ 11 කාණ්ඩයේ 48 වන පරිච්ඡේදයේ පළමුවන උපලේඛනයේ අංක 07, 09, 10, 16 යන වරදවල් සිදුකර ඇති බැවින් හිටපු ගණකාධිකාරී (වැටුප් හා වේතන) A.N.D. ද සිල්වා (M 17149) ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීම සුදුසු යැයි යෝජනා කර තිබේ.

දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එදා ඇමති ධුරය දැරූ යුගයේදී තම රාජකාරියෙන් පරිබාහිරව අමාත්‍යවරයාගේ හා බිරින්දෑගේ කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ අවභාවිතය වෙනුවෙන් අන්තිමට විගමන නිර්දේශ තුළින් අදාළ නිලධාරීන් පස්දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු අන්දම ඉදිරිපත් කොට ඇත්තේ මෙසේය.

හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුගේ දේශපාලන කාර්යයන් හා බිරියට අයත් ව්‍යාපාරික ස්ථානයන්හි සේවයේ යොදවන ලද සංස්ථා අධ්‍යක්ෂ සේවකයන්ගේ 2018 හා 2019 වර්ෂවලට අයත් ඇතැම් බැහැර කාර්ය සටහන් පත් හා වේලා සටහන් සඳහා අමාත්‍ය කාර්යාලයේ සේවය කළ බවට දක්වමින් එක් එක් මාසයෙහි දිනයන් ඉදිරියෙන් සේවය ලබාගත් බවට සිය අත්සන හා නිල මුද්‍රාව තබා සහතික කරමින් සංස්ථාවට රුපියල් මිලියන 12ක් හෝ ඊට ආසන්න වටිනාකමක් සහිත මුල්‍ය අලාභයක් සිදු කිරීම සඳහා ආධාර අනුබල ලබාදී ඇති බැවින් පහත නිලධාරීන්ට විරුද්ධව 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සුදුසු යැයි යෝජනා කරමි.

හිටපු නිවාස හා ඉදිකිරීම්

අමාත්‍යතුමාගේ,

1. සම්බන්ධීකරණ ලේකම් – නුවන් සිරිවර්ධන

2. මාධ්‍ය ලේකම් – මහීලාල් එම්. සෙනෙවිරත්න

3. සම්බන්ධීකරණ ලේකම් – ලලිත් ඩී. කහපොල

4. මහජන සම්බන්ධතා

නිලධාරී – අරුණ දහනායක

5. පෞද්ගලික ලේකම්

– පී. සමරසිංහ

2016 වසරේ සිට 2019 දක්වා කාලය තුළ ආරක්ෂක අංශයට බඳවා ගත් සේවකයන් 19 දෙනා පෞද්ගලික සේවයට යොදවා ගෙන ඔවුනට වැටුප් අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම් කිරීම තුළින් රුපියල් මිලියන 42කට ආසන්න මුදලක අලාභයක් සිදු කිරීම ඇතුළු වරද සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ හිටපු ක්‍රියාකාරී අධයක්ෂ සරත් පී. ජයතිලක, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හතුරුසිංහ, ප්‍රධාන ආරක්ෂක නිලධාරින් වන ඊ.එස්.එස්. ද සිල්වා, ආර්.ජී.ජී. වික්‍රමසිංහට නඩු පැවරීමට විධිමත් ලෙස කරුණු ගොනුකොට තිබේ.

2017/11/30 සිට 2019/02/21 දක්වා මාස 14ක කාලයක් සේවා දීර්ඝ කිරීමක් නැතිව අදාළ සේවකයන් වෙත වැටුප් හා අතිකාල ගෙවීම් සිදුකර තිබේ. අදාළ කාලය තුළ එම සේවකයන් සඳහා සේවා දිගු 03ක් ලබා දෙමින් ඔවුනට රුපියල් මිලියන 3.26ක් හෝ ඊට ආසන්න වටිනාකමක මුදලක් වැටුප් අතිකාල හා අනෙකුත් දීමනා ලෙස ගෙවීමට ආධාර අනුබල දීම තුළින් ආයතන සංග්‍රහය යටතේ හිටපු පරිපාලන නිලධාරි කුඩාහෙට්ටිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කොට තිබීම විශේෂත්වයකි.

රුපියල් 3,267,045.62ක මුදලක් එම සේවකයන්ට ගෙවීම් සිදු කර ඇති හෙයින් ආයතන සංග්‍රහය යටතේ හිටපු ගණකාධිකාරී සිල්වාට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට සුදුසු යැයි ද, සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් පස්දෙනා සිදුකර ඇති ක්‍රියාව මගින් සංස්ථාවට රුපියල් මිලියන 42ක මුල්‍ය අලාභයක් සිදු කිරීමට ආධාර අනුබල දී ඇති බැවින් පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීමට සුදුසු යැයි ද ප්‍රධාන අභ්‍යන්තර විගණනක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නිර්දේශ කොට ඇත්තේ පූර්ණ විනිවිද භාවයකින් යුතුව බව මෙරට මහජන නියෝජිතයන් තහවුරු කරගත යුතුව ඇත.

මෙම විගණන වාර්තාවේ ඇමුණුම් අංක එක යටතේ ගොනු කොට ඇත්තේ බැහැර සේවාපත් මත සංස්ථාවෙන් පරිබාහිර ස්ථානයන්හි යොදවා ඇති නිලධාරීන් / සේවකයන් ගණන, සේවයේ ස්වභාවය හා සේවයේ යෙදී ඇති කාල සීමාවය. එහි අනුපිළිවෙලින් වගුවකින් කරුණු 15ක් පෙළගස්වා තිබේ.

මෙම වගුවේ දෙවෙනි තීරුවේ ඇති පරිදි හපුආරච්චි නමැති නිලධාරියා 2017/06/05 සිට 2019/10/31 දක්වා යොදවා ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ වීරවිල පිහිටි මැතිවරණ හා දේශපාලන කටයුතු සිදු කළ කාර්යාලයේ කටයුතු සඳහාය.

එමෙන්ම 2016/04/01 සිට 2019/10/31 දක්වා කාලය තුළ ගුණසේකර නම් නිලධාරියා යොදවා ඇත්තේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ වීරවිල දේශපාලන කාර්යාලයේ රාජකාරි, හම්බන්තොට ප්‍රදේශයේ විවිධ දේශපාලනික කටයුතුවල ආරක්ෂක රාජකාරි (ප්‍රකාශ සටහන) සඳහාය.

වගුවේ හතරවැනි තීරුවේ ඇත්තේ රූපලාවණ්‍යාගාරයේ කටයුතු සඳහා යොමුකළ කල්දේරා නම් නිලධාරියා ගැනය. එහි සඳහන් පරිදි 2016/05/01 සිට 2019/10/31 දක්වා කල්දේරා රාජකාරි කොට ඇත්තේ රූපලාවාණ්‍යාගාරයේ කටයුතු, අමාත්‍ය කාර්යාලයේ රාජකාරි කටයුතු (ප්‍රකාශ සටහන) ලෙසය.

එමෙන්ම මෙම වගුවේ සඳහන් පරිදි තවත් නිලධාරීන් තිදෙනකුට භාර වූ කාර්යයන් වී ඇත්තේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ වීරවිල දේශපාලන කාර්යාලයේ රාජකාරි කටයුතු (ප්‍රකාශ සටහන),

බත්තරමුල්ල අමාත්‍ය කාර්යාලයේ සහ වීරවිල පිහිටි සජිත් අමාත්‍යවරයාගේ දේශපාලන කාර්යාලයේ රාජකාරි සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂක කටයුතු, වීරවිල මැතිවරණ දේශපාලන කාර්යාලයේ කටයුතු බිරියට අයත් රූපලාවණ්‍යාගාරයේ කටයුතු වැනි විපක්ෂ නායකතුමාගේ දේශපාලන කටයුතුවලත් ඔහුගේ බිරියගේ රූපලාවණ්‍යාගාරයේත් රාජකාරි කොට මහජන බදු මුදලින් ආණ්ඩුව ලබාදෙන වැටුප් ලබා ගැනීමය.

සජිත් විපක්ෂ නායකවරයාට මේ විගණන වාර්තාවෙන් එල්ලවී ඇති චෝදනාව ඇසුණ විට අපේ මතකය ඇදී ගියේ ඔහු නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගනිමින් කළ කතාවටය.

“පාලකයන් වන අපේ යුතුකම හා වගකීම වන්නේ රටේ ඇති මුදල් සොරා කනු වෙනුවට, ඒවා පිල්ලි ගසා සුර සැප විඳිනු වෙනුවට පළාත් ගානේ සුඛෝපභෝගී මාලිගා ඉදි කරනු වෙනුවට, ඒ මුදල් දුප්පත් පොදු ජනතාවගේ යහපත පිණිස යොමු කිරීමයි. මා මේ කුහකයන්ට කියන්නේ මා සමෘද්ධි මුදල්වලින් කටවුට්, බැනර්, පෝස්ටර් ගසන්නේ නැති බවයි.

දිවි නැඟුම සම්මේලන පවත්වන්නේ නැති බවයි. මගේ පින්තූරය දමා ලිත්, දින දර්ශන ගසන්නේ ද නැති බවයි. අපේ පක්ෂයේ කොඩි දැමීමට, කොඩි කණු මිලදී ගන්නේ ද නැති බවයි. ඒ දේවල් සිදු වුණේ පසුගිය ජනවාරි 8 වැනිදාට කලිනුයි. එදාට පසු රටට උදා වූ නව පාලනය යටතේ අපට ලැබුණු පළමු උපදෙස නම් “නිර්මලව, පිරිසුදුව හා විනිවිදභාවයෙන් යුතුව රටේ ජනතාවට උපරිම සේවයක් ඉටු කරන්න” කියායි.

මෙසේ කතාවකින් වැඩ ඇල්ලූ විපක්ෂ නායක සජිත්ගේ යුතුකම මේ විගණන වාර්තාවට නිසි පිළිතුර දීමය. නැතිනම් එය ඔප්පු වුණොත් ඉල්ලා අස්වීම නොවේද?

සිරිල් ලියනාරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division