Home » සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන පසු විපරමක්-2022

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන පසු විපරමක්-2022

by Mahesh Lakehouse
December 9, 2023 12:45 am 0 comment

මාස 3යි දින 12න් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දුෂ්කර කටයුත්ත සිදු කළේ මෙසේයි
– විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට කරන විශේෂ හෙළිදරව්ව

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ 2023 මැයි මස 29 සිට ජූනි 8 දක්වායි. සාමාන්‍යයෙන් විභාගය පවත්වා ප්‍රතිඵල ලබාදීමට ගත වන්නේ මාස 4 ක කාලයකි. මේ කාර්යයේදී මුලින්ම පිට පළාත්හි පිළිතුරු පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන හරහා විභාග දෙපාර්තමේන්තුවට ගෙන ඒම සිදු කරනවා. අනතුරුව ඒවා නැවත ඇගැයීම් කටයුතු සඳහා මධ්‍යස්ථානවලට යැවීම සිදු කරනවා. එහිදි පිළිතුරු පත්‍ර යැවීමේ ස්ථාන රහස්‍ය දෙයක් වන අතර මේ කාලයට දින 5ක පමණ කාලයක් ගත වනවා.

විභාගය අවසන් වූ වහාම ලකුණු ලබා දීමේ කටයුත්ත සම්මත කරගත යුතු වෙනවා. මේ ක්‍රියාවලිය පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීමයි. මෙම පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ මණ්ඩල සඳහා ප්‍රධාන පරීක්ෂකවරු, සහ ජ්‍යෙෂ්ඨ ගුරුවරු 10-15 ක පිරිසක් එක් විෂයයක් සඳහා පත්වෙනවා. මේ අය දින තුනක් එක් විෂයක් සඳහා ලකුණු ලබා දීමේ පටිපාටිය දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනවා. මේ අතර පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා ළමයින්ගේ පිළිතුරු පත්‍ර විවිධ ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමක් ද සිදු කෙරෙනවා. මේ අවස්ථාවේ ඒ ඒ ප්‍රශ්න සඳහා අපේක්ෂකයන් ලබා දුන් පිළිතුරු මොනවාද යන්න අධ්‍යයනයක් සිදු කරනවා. ළමයින් ප්‍රශ්නය තේරුම් ගත් ආකාරය, දී ඇති විකල්ප පිළිතුරු සම්බන්ධයෙන් දින තුනක් පුරා පූර්ණකාලීන අධ්‍යයනයක් සිදු කරනවා. අවසානයේ ලකුණු ලබා දීමේ පටිපාටිය සම්මත කරනවා.

මින් අනතුරුව සිදු වන ක්‍රියාවලිය ප්‍රධාන පරීක්ෂකවරුන්ට සම්මන්ත්‍රණ පැවැත්වීමයි. මෙහිදී නැවතත් ඔවුන් හරහා ලකුණු ලබාදීමේ පටිපාටිය දෙවැනි වරටත් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. අවශ්‍ය සංශෝධන ද ඒ අවස්ථාවේ සිදු කරනවා. ලකුණු ලබා දීමේ පටිපාටිය සම්මත වන්නේ ඉන් අනතුරුවයි. පසුව සියලුම පරීක්ෂකවරුන්ට බෙදා හැරීම සඳහා ලකුණු ලබා දීමේ පටිපාටිය මුද්‍රණය කෙරෙනවා. මේ අවස්ථාව්දී ප්‍රධාන පරීක්ෂකවරු සමඟ අනුහුරු අභ්‍යාසයක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගන්නවා. මේ කාර්යයේදී සකස් වූ ලකුණු ලබා දීමේ පටිපාටියට ලකුණු ලබාදීම සිදු කරන්නේ කුමනාකාරයෙන්ද යන වග අධ්‍යයනය කෙරෙනවා. මෙහිදී පරීක්ෂකවරයා හරහා සිදු වන පුද්ගල බද්ධතාව අඩුකර ගැනීමට හැකි සැම පියවරක්ම ගන්නා අතර එහිදි එකම පිළිතුරු පත්‍රයෙන් ඡයා පිටපත් කිහිපයක් ගෙන ලකුණු ලබා දෙන්නේ කෙසේද යන්න දීර්ඝ සාකච්ඡාවකට බඳුන් කර ලකුණු දීමේ විෂමතාව අඩු කරනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු පත්‍ර අධීක්ෂණයට පරීක්ෂකවරු 35,000 ක් අවශ්‍ය වුණා. පිළිතුරු පත්‍ර මිලියන 7 ක් ඇගැයීමට තිබුණා. එය විශාල මෙහෙයුමක් වුවත් සංගතතාව, සාධාරණ හා විනිවිද බව ආරක්ෂා කිරීමකට මුල් තැනක් දුන්නා. විශේෂ අවශ්‍යතා ඇති අයගේ පිළිතුරු පත්‍ර වෙනමම තැනක අධීක්ෂණය වුණා.

පිළිතුරු පත්‍ර ලකුණු කළ පසු තවත් අයකු ද එය ලකුණු කිරීමක් සිදු කරනවා. ප්‍රධාන පරීක්ෂක විසින් ඒවා අහඹු පරීක්ෂා කිරීමකට ලක් කරනවා. මේ අතර ගණිත ඇගැයීම් ලකුණු තහවුරු කිරීමේ පරීක්ෂකවරයෙකු පත් කරන්නේ ගණිත ලකුණුවල නිවැරදි බව පිරික්සීමටයි.

ඇගැයීම් අවසානයේ ගණිත ලකුණු ලැයිස්තුගත කර කවරවල බහා මුද්‍රා තබා පිළිතුරු පත්‍ර සමඟ විභාග දෙපාර්තමේන්තුවට එවීම කරනවා. මේ දක්වා සිදු වූයේ ඇගැයීමේදි ගුරුවරු සම්බන්ධ වන කොටසයි. මේ සඳහා සති 6 ක කාලයක් ගත වෙනවා. නමුත් පරීක්ෂකවරු අඩු වීම නිසා මේ කටයුතු අදියර දෙකක් යටතේ මෙවර සිදු කරන්නට වුණා.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භයේ සිටම මේ ඇගැයීමේ කාර්යය ආරම්භ කළයුතු වුව ද, පසුගිය කාලයේ ගුරු සහ සරසවි අධ්‍යයන වර්ජන නිසා උසස් පෙළ ඇගැයීම් කටයුතු ආරම්භ කරන්නට සිදු වූයේ මැයි මස 20 වැනිදාය. උසස් පෙළ ඇගැයීම් කටයුතු සිදු කළ යුතු නිසාවෙන් සාමාන්‍ය පෙළ ඇගැයීම් සිදු කළ නොහැකි වූයෙන් උසස් පෙළ ඇගැයීම් අවසන් කර සාමාන්‍ය පෙළ ඇගැයීම් ආරම්භ වූයේ අගෝස්තු මස 18 වැනි දිනය . සාමාන්‍ය පෙළ ජූනි 8 අවසන් වී ප්‍රතිඵල ලබා දුන්නේ නොවැම්බර් 30 නිසා බොහෝ දෙනෙක් පවසන්නේ මෙවර ප්‍රතිඵල ලබා දීමට මාස 5 යි දින 22 ක් ගත් වී තිබුණු බවය. නමුත් ඒ කටයුතු නිල වශයෙන් ආරම්භ වූයේ අගෝස්තු 18 වැනිදාය. මේ අනුව සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් අවසන්කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව ගත කර ඇත්තේ මාස 3 යි දින 12 ක කෙටි කාලයක් පමණි. එසේ වූයේ විභාග දෙපාර්තමේන්තුව ඒ සඳහා දැරූ වෙහෙසය.

ලකුණු ලැයිස්තු විභාග දෙපාර්තමේන්තුවට ලැබුණු පසු දත්ත ඇතුළු කිරීම කරන්නේ ද විභාග දෙපාර්තමේන්තුවයි. මේ සඳහා මිලියන 7 ක පිළිතුරු පත්‍ර දෙවරක් පරිගණක ගත කළ යුතු වෙනවා. ඒ දෙදෙනකු හරහාය. එසේ කරන්නේ ඉතාම නිවැරදි ලකුණ ඇතුළු කිරීමටය. මෙම ලකුණු දෙක පටහැණී වන්නේ නම් එහිදී නිවැරදි කිරීමක් සිදු කරන අතර මෙහිදී මිලියන 14 ක් පරිගණකගත කිරීම දුෂ්කර කටයුත්තකි. මේ සඳහා සිටින්නේද ඉතා සීමිත නිලධාරීන් පිරිසකි. දිනක් තුළ ඇතුළත් කළ හැකි වන්නේ ලක්ෂ දෙකහමාරක දත්ත පමණි. විභාග දෙපාර්තමේන්තු නිලධාරීන්ට දිවා රෑ නොබලා අඛණ්ඩව සේවාව කරමින් මේ අභියෝගය ජය ගන්නට හැකිවිය. දත්ත ඇතුළු කළ පසු විභාග දෙපාර්තමේන්තු පරිගණක අංශයෙන් ඌනතා අඩුකර නැවත වතාවක් ප්‍රතිඵල සකස් කළ යුතු අතර එහි අරමුණ වන්නේ කිසිදු සිසුවකුට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් ඌනතා අවම නිවැරදිම ප්‍රතිඵලය ලබා දීමටයි.

ඇගැයීම් අවසානය සියයට සියයක්ම අවසන් වුවද තවත් පරීක්ෂා කිරීම් ගණනාවක් මේ අතර සිදු කරනවා. එනම් අසාමාන්‍ය වාර්තා පිරික්සීම. මෙහි A 8 ක් ගත් සිසුවෙකුකු එක් විෂයක් අසමත් නම් ඒ ඇයි? A 1 ක් ගත් සිසුවෙකු විෂයන් 8 ක් අසමත් වන්නේ ඇයි? වැඩිම ලකුණු ගත් අයගේ පිළිතුරු පත්‍ර නිවැරදිද? සිසුවෙකු විභාගයට පෙනී නොසිටියේ නම් එය සැබෑ ලෙසම සිදුවී ඇත්ද? යන්න සෑම මධ්‍යස්ථානයක් හරහාම වාර්තාවක් ලබා ගැනීම් සිදු කෙරෙනවා. සෑම පරීක්ෂාවක්ම සිදු කරන්නේ නිවැරදිම ලකුණු සිසුන්ට ලබාදීමටය. අවසානයේ ශ්‍රේණි නීර්ණ කමිටුවක් පත්කිරීම හරහා පසුගිය විභාග ප්‍රතිඵල ආශ්‍රිතව ලබා ගෙන ඇති ශ්‍රේණි සලකුණු කිරීම සිදු කෙරෙනවා. ශ්‍රේණි ලබා දුන් පසුද නැවත කණ්ඩායම් කිහිපයක් හරහා එහි නිවැරදි බව පරීක්ෂා කරනවා. ඉන් අනතුරුව ප්‍රතිඵල පරීක්ෂා කිරීමේ කමිටුව හා ප්‍රතිඵල භාර කොමසාරිස්වරයා විසින් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන විභාග කොමසාරිස් ජනාරාල්වරයා වෙත නිල වශයෙන් පරීක්ෂා කිරීම් අවසන් හා ප්‍රතිඵල නිවරදි බව තහවුරු කරමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අවසර ඉල්ලනවා. මේ දුෂ්කර කාර්යය අවසන් කර පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ ප්‍රතිඵල ලබා දීම මාගේ අනුමැතිය ඇතිව සිදු වුණා.

මේ සියලු කාර්යයේදී අපේ අරමුණ වන්නේ කිසිදු සිසුවකුට අසාධාරණයක් අවම වශයෙන්වත් සිදු නොවන්නටය. එසේම සෑම සිසුවකුගේම පිළිතුරු පත්‍රයට විශේෂ ගෞරවයක් ලබා දීමටය.

ලංකාවේ ප්‍රධාන ජාතික පාසල් කිහි­ප­යක සාමාන්‍ය පෙළ ප්‍රති­ඵල

ගම්පහ බණ්ඩා­ර­නා­යක විදු­හල
9 A ප්‍රමා­ණය- 259
8 A ප්‍රමා­ණය- 88
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 460
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 460
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 100%

කොළඹ විශාඛා විද්‍යා­ලය
9 A ප්‍රමා­ණය- 206
8 A 1B ප්‍රමා­ණය – 43
විභා­ග­යට පෙනී සිටි සංඛ්‍යාව- 363
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය- 360
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 99.17%

කොළඹ රාජ­කිය විදු­හල
9 A ප්‍රමා­ණය- 199
8 A ප්‍රමා­ණය- 86
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 666
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 652
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 97.90%

කොළඹ ආනන්ද විදු­හල
9 A ප්‍රමා­ණය- 182
8 A ප්‍රමා­ණය- 75
විභා­ග­යට පෙනී සිසුන් සංඛ්‍යාව – 535
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය- 527
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 98.5%

කොළඹ දේවි බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 155
8 A 1B ප්‍රමා­ණය- 30
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 228
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 228
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 100%

හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ විදු­හල
9 A ප්‍රමා­ණය- 129
8 A ප්‍රමා­ණය- 116
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 769
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 769
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 100%

කුරුණෑගල මලි­ය­දේව බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 124
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 342
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 331
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 96.78%

කොළඹ නාලන්දා විදු­හල
9 A ප්‍රමා­ණය- 116
8 A ප්‍රමා­ණය- 59
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 374
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 369
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 98.6%

මහ­නු­වර මහාමායා බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 109
8 A ප්‍රමා­ණය- 33
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව – 307
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය- 301

ගාල්ල සංඝ­මිත්තා බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 106
8 A ප්‍රමා­ණය- 49
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 407
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 393
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 96.08%

කුරුණෑගල මලි­ය­දේව පිරිමි විදු­හල
9 A ප්‍රමා­ණය- 94
8 A ප්‍රමා­ණය- 50
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 391
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 376
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 96.16%

කොළඹ තර්ස්ටන් විදු­හල
9 A ප්‍රමා­ණය- 83
8 A ප්‍රමා­ණය- 45
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 310
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 305
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 98.39%

මහ­නු­වර ධර්ම­රාජ විදු­හල
9 A ප්‍රමා­ණය- 69
8 A ප්‍රමා­ණය- 40
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 298
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 290
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 97.32%

ගාල්ල මහින්ද විදු­හල
9 A ප්‍රමා­ණය- 41
8 A ප්‍රමා­ණය- 39
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 295
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය – 279
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය – 94.57%

විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කළේ ඒ 2022 (2023 ) වසරෙට අදාළ වූ ප්‍රතිඵලය. එම ප්‍රතිඵල නිකුත් කරන තෙක් සිසුහු පෙරමඟ බලා සිටියේ තමන්ට හිමි වූ ප්‍රතිඵලය කුමක්ද යන්න දැන ගැනීමේ අරමුණිනි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විය යුතු වුව ද කොවිඩ් වසංගතය හේතුවෙන් විභාග කාල සටහන් තවමතක් නිසි පරිදි ස්ථානගත නොවීම නිසා 2022 වසරට අදාළ වූ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ මැයි මස 29 සිට ජූනි 8 දක්වාය. එනම් මාස 6 කට ආසන්න කාලයක් ප්‍රමාද වීමෙනි. කෙසේ වුව ද විභාග ප්‍රතිඵල ලබා දීමට මාස 4 ක කාලයක් ගත වුව ද මෙවර විභාගය පවත්වා ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුවට ගත වී ඇත්තේ මාස තුනයි දින 12 ක් වැනි කෙටි කාලයකි.

සමත් ප්‍රමාණය

2022 වසර සඳහා සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් 317,657 දෙනෙක් විභාගයට පෙනී සිට ඇති අතර ඒ පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් වශයෙනි. එයින් මෙවර උසස් පෙළ විභාගය හැදෑරීම සඳහා සුදුසුකම් ලැබීමට 236, 041 දෙනෙක් සුදුස්සෝ වූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රතිශතයක් වශයෙන් එය 74.31% කි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙවර උසස් පෙළ හැදෑරීම් සඳහා සාමාන්‍ය පෙළ සමත් ප්‍රමාණයේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බවකි.

පසුගිය වසර සංසන්දනයේදී එය 2017 වසරේදි 73.05% ක් ද, 2018 වසරේදී 75.09% ක් ද, 2019 වසරේදී 73.84% ක් ද, 2020 වසරේදි 76.59% ක් ද, 2021 වසරේදි එම ප්‍රමාණය 74.52ක් ද වූ බවය.

A 9

විභාග දෙපාර්තමේන්තු දත්තවලට අනුව පසුගිය වසර කිහිපය හා සංසන්දනයේදි මෙවර A 9 සමත්ලාභීන්ගේ ප්‍රමාණය ඉහළ අගයක් ගෙන තිබීම සතුටට කරුණිකි. මෙවර A 9 සමත්ලාභීන්ගේ ප්‍රමාණය 13,380 කි. 2021 එම ප්‍රමාණය 10,863 කි. ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 2018 දී 3.13% ක් ද, 2019 දී 3.34% ක් ද, 2020 දී 3.78% ක් ද 2021 දී 3.49ක් ද, 2022 එනම් මේ වසරේදි 4.21 ක් ද වී ඇති බවයි.

අසමත් ප්‍රමාණය

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් එනම් ප්‍රධාන විෂයයන් 6 හා ඊට වැඩි අසමත් ප්‍රමාණය 7,045 ක් වී ඇති අතර එම ප්‍රතිශතය 2.22% කි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division