මෙරට ගැමි ජනතාව අතර අතීතයේ සිටම ප්‍රචලිතව පැවැති දුම්වැටිය වන්නේ බීඩියයි. එහෙත් පසුව නාගරික පෙළැන්තිය ක්‍රමයෙන් බීඩියෙන් ඈත්වන්නට වූ අතර නාගරික ජනතාව අතර නිකොටින් බහුල දුම්වැටි භාවිත කිරීම ආරම්භ වීමත් සමඟම බීඩිය නගරයෙන් ක්‍රමයෙන් ඈත් විය. එහෙත් ගමෙන් නගරයට පැමිණෙන ගම්වාසීන්ගේ ඉල්ලුම තිබෙන හෙයින් බීඩිය සම්පූර්ණයෙන්ම නගරයෙන් ඈත් වූයේ නැත. ඒ අනුව දිවයින පුරාම බීඩියට තිබුණු ඉල්ලුම එතරම් විශාල ලෙසින් අඩු වූයේ නැත. ගෘහ කර්මාන්තයක් ලෙස පැවැති බීඩි කර්මාන්තය පසුව ව්‍යාපාරයක් බවට පත්ව තිබුණේ එයට තිබුණු අධික ඉල්ලුම හේතුවෙනි. ඒ ගමේ ගොඩේ පමණක් නොව නගරයේ පවා බර වැඩ කරනා සියලු දෙනා ‘ඇඟ රත්වීමට‘ භාවිත කරන කෙටි ක්‍රමයක් වීම නිසාය.
කෙසේ හෝ ‘මතට තිත‘ යනුවෙන් පසුගිය කාලයේ ගෙන ආ සංකල්පය යටතේ සියලු බීඩි කර්මාන්ත ආයතන ලියාපදිංචි කර ඒවාට බලපත්‍ර ලබා ගත යුතු විය. ඒ හරහා අදාළ කර්මාන්තය විධිමත් ලෙස පවත්වා ගැනීම හා එයට පිළිගැනීමක් ඇති කිරීමේ අවශ්‍යතාව එයින් පෙන්නුම් කර තිබුණි.
කෙසේ හෝ දේශීය දුම් කොළ හා ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්කොළ ඇසුරින් නිපදවනු ලබන බීඩි නිෂ්පාදනය එයින් පසු නව මාවතකට හැරුණ ද මෙරට පාරම්පරික බීඩි කර්මාන්තයේ නියැළුණු පිරිස් පවසා සිටියේ බලපත්‍ර ලබා දීම හරහා තම කර්මාන්තය අවිධිමත් හා ඒ හරහා අනිසි ක්‍රමවේදයන් ඔස්සේ මුදල් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට මං පෙත් විවරව ඇති බවයි.
එමෙන්ම පසුගිය රජය විසින් බීඩි කොළ ආනයනය සම්බන්ධව අවධානය යොමු කළ අතර අවසානයේ බීඩි කොළ කිලෝවක් ආනයනය සඳහා රුපියල් 6000ක බද්දක් පැනවිණි.
ඒ බද්ද පැනවීමත් සමඟ මෙරටට රේගුව හරහා පැමිණෙන බීඩි කොළවලට අමතරව බදු ගෙවීම පැහැර හරිමින් උතුරු මුහුදු මාර්ගයෙන් හොර පාරෙන් පැමිණෙන බීඩි කොළ තොගද වැඩි වන්නට විය. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් බීඩි කර්මාන්තයේ යෙදෙන පිරිස් විසින් කරුණු පෙන්වා දීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට බීඩි කොළ සඳහා අය කළ බද්ද රුපියල් 250ක් දක්වා අඩු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා විසින් දැනුම් දුන්න ද එය මේ දක්වා ක්‍රියාත්මක නොවීය.
කෙසේ හෝ පාරම්පරිකව හා නීත්‍යනුකූලව මේ කර්මාන්තයේ යෙදෙන පිරිස්වලට අමතරව ජාවාරම්කමෙන් මුදල් උපයා ගැනීමට කටයුතු කරන ලද පිරිස් නිසා මේ බීඩි කර්මාන්තය දෙස විමසුම් ඇස් යොමු කෙරිණි.
ඒ අනුව කර්මාන්තයේ යෙදෙන පිරිස් මෙන්ම අකටයුතුකම්වල නියැළෙන පිරිස් සම්බන්ධයෙන් විමසා බලා අදාළ බදු ගෙවන අයට ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්නට හා වංචාකරුවන් සොයන්නට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් හා බලපත්‍ර ලබා දීමේ ක්‍රමව්දය ගැන මේ කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිස් සතුටක් දැක්වූයේ නැත. ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ බලපත්‍ර ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බවත් මේ හරහා පාරම්පරික කර්මාන්තයන්ට අසාධාරණයක් සිදුවන බවයි.
විශේෂයෙන්ම මේ කර්මාන්තයේ නියැළෙන පිරිස් ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ අපට වර්ගීකරණය කළ හැකිය.
ඒ අනුව පළමු කාණ්ඩයට අයත් වන්නේ බීඩි නිෂ්පාදකයන් සහ දුම්කොළ ගබඩා කිරීමේ පිරිසයි. දෙවැන්න වන්නේ දේශීය දුම්කොළ නිෂ්පාදනය කිරීම හා ගබඩා කිරීමේ කර්මාන්තයේ නියැළෙන කණ්ඩායමයි.
මෙහි තුන්වැනි කණ්ඩායමට අයත් වන්නෙ බීඩි කොළ හා දුම්කොළ ආනයනය කරන්නන් වන අතර ඔවුන් බීඩි නිෂ්පාදනයට සම්බන්ධ නොවේ.
නමුත් බීඩි නිෂ්පාදනයට සම්බන්ධව සිටින පිරිස් පවසන්නේ මේ සියලු දෙනාටම සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන්නේ ‘බීඩි නිෂ්පාදනය කිරීම හා දුම්කොළ ගබඩා කිරීමේ‘ බලපත්‍රයක් පමණක් බවයි.
මේ කර්මාන්තයේ යෙදෙන පිරිස් දෙස සැලකිය යුතු ඇසින් විමසා බැලූ විට පෙනෙන්නේ වයෝවෘද්ධ හෝ ආබාධිත අය රැසක් මේ කර්මාන්තයේ ස්වයං රැකියාවක් ලෙස නියැළෙන බවයි. එමෙන්ම අතිරේක ආදායම් මාර්ගයක් ලෙසින් මේ කර්මාන්තයේ උප කොන්ත්‍රාත් කටයුතු කරන්නට ද ඇතැම්හු පෙලඹ සිටිති. ඒ කිසිවෙක් මේ කර්මාන්තයේ මහා පරිමාණ වෙළෙන්දෝ නොවෙති.
බීඩි කර්මාන්තය ගැන නිතරම හඬ නඟන්නේ මේ ව්‍යාපාරයේ නියැළෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ය.
බීඩි නිෂ්පාදනය හා ගබඩා කිරීම ඇතුළු අනෙක් කටයුතු සියල්ල වෙනුවෙන් අයිතිවාසිකම් මෙන්ම ඒ වෙනුවෙන් ඇති බාධා ආදිය ගැන කතා කරන්නේ හා ඒ වෙනුවෙන් හැකියාව ඇත්තේ ඍජුව මේ කර්මාන්තයේ නියැළී සිටින ඒ පුද්ගලයන්ටය.
අදාළ සංගම් විසින් දිගින් දිගටම කියා සිටියේ මෙරටට බීඩි ආනයනය කිරීම බීඩි ගබඩා කිරීම මෙන්ම බීඩි ප්‍රවාහනය වැනි කරුණු අධ්‍යයනය කර ඒ ඒ අංශ වෙත වෙනම බලපත්‍ර ලබා දිය යුතු බවයි.
එමෙන්ම ඔවුන් නිරතුරුවම පවසා සිටියේ බීඩි කර්මාන්තය ගොඩ ගැනීමට පහසුකම් සැලසිය යුතු බවයි.
බීඩි නිෂ්පාදනයේ ප්‍රමුඛයකුව සිටි සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ හා බීඩි කොළ දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමයේ අනුශාසකවරයා වූ හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස පවසන්නේ, බීඩි ඔතන කම්කරුවන් පමණක් දිවයින පුරා ලක්ෂ 5කට අධිකව සිටිනා බවයි. ඔවුන් ජීවනෝපාය සිදු කරන්නේ බීඩි එතීමෙන් ලබා ගන්නා මුදලින් බවත් 2015 වර්ෂයේ බීඩි කොළ මිටි 100ක් වෙනුවෙන් වරායට ගෙවිය යුතු මුදලේ බදු වාරිකය වූයේ රුපියල් තිස්තුන් ලක්ෂ තිස් අට දාහක මුදලක් වුවත් එය 2018 වන විට කොළ මිටි 100ක් සඳහා වරායට දෙකෝටි තිස් හත් ලක්ෂ විසිහයදාස් හාරසියක මුදලක් ගෙවීමට සිදු ව තිබූ බවත් පෙන්වා දෙයි.
එසේ නීත්‍යනුකූලව මෙරටට බීඩි කොළ එවකට ආනයනය කරන ලද්දේ ව්‍යාපාරිකයන් 6 දෙනකු පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම අයථා ලෙසින් බීඩි කොළ ගෙන්වා රේගුවට අසුවුවහොත් ඇතැම් නිලධාරීන්ගේද සහායෙන් ඒවා අඩු දඩ මුදලක් ගෙවා නිදහස් කර ගන්නා බවත් ඔහු ප්‍රසිද්ධියේම පවසා තිබුණි. එම බීඩි කොළ රේගුවේදී රේගු ඇසට ඇසු නොවුවහොත් රේගුවෙන් එළියට පැමිණ වෙළෙඳ පොළේ එම කොළ ඉතා අඩු මිලට ලබා දෙන බවත් එවිට නියමිත පරිදි ආනයනය කළ අයට බලවත් අසාධාරණයක් සිදු වන බව ද ඔහු පවසා තිබුණි.
සමස්ත ලංකා බීඩි සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ හා දුම්කොළ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති උපුල් ධර්මසේන පවසන්නේ බීඩි 000ක් වෙනුවෙන් රුපියල් 1000 සිට 1200ක් දක්වා වන මුදලක් බීඩි නිෂ්පාදකයාට ගෙවිය යුතු බවයි.
‘‘ බීඩි කර්මාන්තයේ යෙදෙන අංශ 3ක පිරිස් ඉන්නවා. ඒ අයට ඒ ඒ අංශවලට ගැළපෙන ලෙසින් බලපත්‍ර ලබා දිය යුතුයි. නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව බලපත්‍ර ලබා දී ඇත්තේ එකම ආකාරයෙන්. නිෂ්පාදකයාට ලබා දෙන බලපත්‍රය බීඩි ගබඩා කරන්නාට ලබා දීමෙන් ගැටලු මතු වෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් බීඩි කොළ ආනයනය කරන අයට එම බලපත්‍රය නිකුත් කිරීම නිවැරැදි නැහැ. ඔහු කරන්නේ බීඩි ගබඩා කිරීම නොවෙයි. ආනයනික බීඩි කොළ බෙදා හැරීමයි. මේ තත්ත්වය නිසි පරිදි තේරුම් නොගෙන සිදු කරන කටයුතු නිසයි මේ කර්මාන්තයට පහර වැදී ඇත්තේ. ආනයනකරුට බීඩි නිෂ්පාදන බලපත්‍රයක් ලබා දීමෙන් ඔහුට එම කොළ ප්‍රවාහනය කරන්න හැකියාවක් නැහැ.
මේ කර්මාන්තයේ පූර්ණ කාලීනව 200ක පමණ කර්මාන්තකරුවන් පිරිසක් යෙදී සිටියා. නමුත් මේ වන විට එම සංඛ්‍යාව 700ක් පමණ දක්වා ඉහළ ගිහින් තියෙනවා. එසේ ඉහළ ගොස් ඇත්තේ ඉන්දියාවෙන් හොර පාරෙන් එන බීඩි කොළ අඩු මිලට ලබා ගෙන එම කර්මාන්තයට යොමු වීම නිසා විය හැකියි.
ඉන්දියාවෙන් බීඩි කොළ ලංකාවට එනකොට ප්‍රවාහන ගාස්තුත් එක්ක කිලෝ එකක් 2500ක් විතර වෙනවා. ඒකට සෙස් බද්ද 6000ක් අය කරනවා. ඒ බද්දත් ගෙවලා එළියට අරගෙන ආනයනකරුත් ලාබයක් තියාගෙන වෙළෙන්දාට එනකොට කොළ කිලෝ එකක් සාමාන්‍ය යෙන් රුපියල් 9200ක් 9500ක් වගේ වෙනවා. ඒ තත්ත්වය උඩ ඉන්දියාවෙන් හොර පාරෙන් ගේන බීඩි කොළ කිලෝ එකක් රුපියල් 5500ට වගේ වෙළෙඳ පොළෙන් ගන්න පුළුවන්.
මේ නිසයි අපි කිව්වෙ බද්ද රුපියල් 3500ට අඩු කරන්න කියලා. කොහොමත් මේ වෙනකොට නිෂ්පාදනය කරන එක් බීඩියකින් රුපියල් 2ක මුදලකුත් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවිය යුතු වෙනවා. ‘‘
සමස්ත ලංකා බීඩි සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ හා දුම්කොළ ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ඉන්දික විමලරත්න පවසන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට හිමි බලතල ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යෙන්ම රටේ සදාචාරය හා සංස්කෘතිය ගැනද අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. බීඩි කර්මාන්තයේ නියැළෙන පිරිස්හි නිවාස ආදිය පරීක්ෂා කිරීමේදී කාමර තුළට ඇතුළු වීමේදී තරුණියන්ගේ කාමරවලට ඇතුළු වීම වැනි කරුණු ගැන අපේ රටේ සදාචාරාත්මක බව රැකෙන ලෙසින් කටයුතු කරන්නේ නම් අගය කරනා බව ද ඔහු පෙන්වා දෙයි. ඵලදායි ක්‍රමවේදයක් නැහැ.
තරගකාරීත්වය අතින් වැඩි නිෂ්පාදකයන් සිටීම, වැඩි ව්‍යාපාරිකයන් සිටීම පාරිභෝගිකයාට වාසි සහගත වුවත් වෙළෙඳපොළ වංචාවෙන් තොර සුපිරිසිදු වෙළෙඳ පොළක් විය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
‘‘වංචාකරුවන් මේ වෙළෙඳ පොළට පිවිසීම සහ ඒ අයගේ ක්‍රියාවන් නිසා සුරා බදු දෙපාර්තමේන්තුව බීඩි කර්මාන්තකරුවන්ට අසාධාරණ ලෙස දඩ නියම කරන්නටත් කටයුතු කර තිබෙනවා. ඇතැම් අලෙවිකරුවන්ගේ තොග ගබඩාවලට පැනලා ඉදිරි මාසවල වෙළෙදපොළට නිකුත් කිරීමට ඇති බීඩි සංඛ්‍යාව පවා ගණනය කර ඒවාට ලක්ෂ 80ක් 120ක් වැනි අධික දඩ මුදල් නියම කර තියෙනවා. ඒ වැහි කාලයේ නිෂ්පාදනය කර ගබඩා කර ඇති බීඩිත් මාසික නිෂ්පාදනයට එකතු කරමින්. ඒ අධික දඩ දරන්න බැහැ. මේ තත්ත්වය නිසා සිදුව ඇත්තේ පාරම්පරික කර්මාන්තකරුවන් මේ කාර්යයෙන් ඈත්වීමයි.
දැන් සිදුව ඇත්තේ ආණ්ඩුවට බදු හිමිවීම නෙමෙයි, හොර පාරෙන් බීඩි කොළ ලංකාවට ගෙන්වීම වැඩියෙන් සිදුවීමයි.
මේ තත්ත්වය නිසා දැන් 90%ක් බීඩි කොළ එන්නෙ හොර පාරෙන්.
පසුගිය වසරේ බීඩි කොළ කිලෝ ලක්ෂ 15ක් විතර මෙරටට ගෙන්වා තිබෙනවා. ඒ අනුව රුපියල් 3500ක් පමණක් කිලෝ එකකින් අය කළා නම් අතිවිශාල මුදලක් ආණ්ඩුවට හිමි වෙනවා.
කර්මාන්තකරුවන් මුහුණ පාන ප්‍රශ්න අප පෙන්වා දුන්නා ඒ පිළිබඳව මුදල් රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා හා ෂෙහාන් සේමසිංහ ඇමැතිවරුන් ඒ ගැන අවධානය යොමු කර මේ වන විට අදාළ බලපත්‍රය ක්‍රමය වෙනස් කිරීමට බදු අය කරන ක්‍රමවේදය වෙනස් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යමින් තිබෙන්නේ.
මේ කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් අප යෝජනා රැසක් යොමු කර තිබෙනවා.‘‘
බීඩි කොළ බද්ද වැඩි කළ නිසා හෝ වේවා වෙනත් හේතු නිසා හෝ වේවා මේ වන විට උතුරු මුහුදින් මෙරටට ගෙන එන හොර බීඩි කොළ ජාවාරම ජයටම සිදුවන බවත් පෙන්වා දිය යුතුය. ඒ තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව උපරිම ආවේක්ෂණ කාර්යයන් රැසක් සිදු කරමින් සිටී.
මේ වසරේ පළමු මාස 10ක කාලය තුළ පමණක් එසේ රට තුළට නීති විරෝධී ලෙස ගෙන ආ බීඩි කොළ කිලෝ 30,000කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස 38ක් වන අතර ධීවර යාත්‍රා 21ක් නාවික හමුදා භාරයට ගෙන අදාළ පිරිස් නීතිමය කටයුතු කිරීම උදෙසා පොලිසිය වෙත භාර දී තිබේ.
එසේම කොවිඩ් වසංගතය පැවැති සමයේ වුව ද 2020 වසරේදී ද බීඩි කිලෝ 5340.2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පුද්ගලයන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන යාත්‍රා 4ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
2021 වසරේදී නීති විරෝධී ලෙස ගෙන ආ බීඩි කොළ කිලෝ 12310.55ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පුද්ගලයන් 22 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර යාත්‍රා 10ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
2022 වසරේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 20ක් වන අතර එහිදී යාත්‍රා 4ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් බීඩි කොළ සංඛ්‍යාව කිලෝ 17315.33කි.
නාවික හමුදාව පවසන්නේ රට තුළ බීඩි කොළ අඩු මිලට සැපයීමේ අරමුණින් රජයට බදු නොගෙවා මෙසේ නීති විරෝධීව බීඩි කොළ ගෙන එන බවයි.
මෙහිදී බහුල වශයෙන් සිදු කෙරෙන්නේ ඉන්දීය ධීවර යාත්‍රා විසින් රැගෙන එන එම බීඩි කොළ ඉන්දු – ලංකා මුහුදු සීමාවන්හිදී මෙරට ධීවරයන්ට හෝ ඒ වෙනුවෙන්ම මුහුදු යන යාත්‍රා වෙත ලබා දීමය.
මේ තත්ත්වය නිසා රජයට හිමි විය යුතු විශාල ආදායමක් අහිමිව ඇත.
එමෙන්ම මීට පෙර මුහුදු මඟින් මෙසේ නීති විරෝධීව බීඩි කොළ ආනයනය මෙතරම් අතිවිශාල ලෙසින් සිදු නොවුණු අතර මේ වන විට එසේ විශාල ලෙසින් බීඩි කොළ නීති විරෝධී ලෙසින් ආනයනය සිදු කෙරෙන්නේ ඒ සඳහා අධික ඉල්ලුමක් ඇති නිසා බව තහවුරු ව ඇත. මේ තත්ත්වය වහාම මැඬ පැවැත්වීමට නම් බීඩි කොළ වෙනුවෙන් නොව බීඩියක් වෙනුවෙන් අය කරන බද්ද වැඩි කිරීම කළ යුතුය. රජය පසුගිය ඔක්තෝබර් මාසයේදී දැනුවත් කළ පරිදි සෙස් බද්ද අඩු කර බීඩියකින් අයකරන බද්ද වැඩි කළ යුතුය.
මේ සම්බන්ධව සුරා බදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසන්නේ බලපත්‍ර ක්‍රමයක් ඇති කර ඇත්තේ නීතිමය ක්‍රමවේදයක් මඟින් බවත් එයට යම් සංශෝධන එකතු කළ යුතු නම් ඒවා අවශ්‍ය පරිදි අදාළ නියාමනයන්ට බාධා නොවන අයුරින් සිදු කරන්නට කටයුතු කරන බවයි. එමෙන්ම එක් එක් සිද්ධි අනුව, අවශ්‍යතාව අනුව එම කටයුතු කරන්නට අවශ්‍ය බවද බහු පෙන්වා දෙනවා.
‘‘ මේ කර්මාන්තයේ ඉන්න බොහෝ ව්‍යාපාරික පිරිස් පෙන්වන්නට උත්සාහ ගන්නේ දුප්පත් අහිංසකම ජනතාව මේ කර්මාන්තයේ ඉන්නා බවයි. නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කර්මාන්තයක් මේක. ඔවුන් විශාල ආදායම් උපයා ගන්නා අය.
අපට පෙනී යන්නේ මේ බලපත්‍ර ලබා දීම ගැන යම් යම් දේ ප්‍රකාශ කිරීම හරහා සිදු කිරීමට උත්සාහ කරන්නේ එම නියාමනයන්ගෙන් ගැලවීමට බවයි. බදු අය කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් තියෙනවා. බලපත්‍ර ලබා නොදී අයාලේ යන කර්මාන්තයක් මෙන් මෙය පවත්වාගෙන යා නොහැකියි. එහි රාජ්‍ය ආදායම නිසි පරිදි කළමනාකරණය කළ යුතු වෙනවා.‘‘
බීඩිය කුඩා වුව ද එහි පිටුපස ඇති කතාව ඉතා විශාලය. අප ඇස් යොමු නොකළ ද රජයට ඉහළ ආදායමක් බද්දක් ලබා ගත හැකි ව්‍යාපාරයකි. ස්වයං රැකියාවකි. මහා පරිමාණ ව්‍යාපාරියන්ගෙන්ද සමන්විතය. ඒ ව්‍යාපාරයේ ගැටලු අවම කර රාජ්‍ය ආදායමද නිසි පරිදි කළමනාකරණය කර ඉන්දියාවෙන් හොර පාරෙන් එන දුම්කොළ ජාවාරම ද නවත්වා ගන්නට හැකි නම් එය වටිනා බව කිව යුතුය.
තාරක වික්‍රමසේකර