Home » මෙවර පිළිතුරු

මෙවර පිළිතුරු

by thanushika
December 9, 2023 12:30 am 0 comment

ප්‍රශ්නය – මේ වන විට අවිවාහක මාගේ විවාහය කවදා සිදු වේද?

ජ්‍යොතිෂ විග්‍රහය – ඔබගේ කේන්දරය රාහු ලග්නයේ ගත කරන්නේ. 2021 අගෝස්තු මාසයේ 12 වැනිදා රාහු ලැබීම සිදු වුණා. 2024 වසරේ අගෝස්තු 26 දක්වාම රාහු ලග්නයේ ගමන් කරනවා. එම කාලය ඉක්ම යන තෙක් ඔබගේ ජීවිතයට බාධා ගෙන දෙනවා. එම බාධා බැඳීම් සඳහාත් ගෙන දෙනවා. විශේෂයෙන් හිසට බර ගතිය, පීඩනය, නොසන්සුන් බව, තම සැලැසුම් දිනෙන් දින කල් යෑම සිදු වෙනවා.

2022 වසරේ පෙබරවාරි, මාර්තු සහ අගෝස්තු කාලවලදී සැලැසුම් කළ දෑ කල් යමින් පවතිනවා. කිසිම පරිබාහිර පුද්ගලයකුගේ දේ සඳහා මැදිහත් නොවන්න. විවාහය ගැන පවසනවා නම්, විවාහයේදී උත්පත්ති කේන්දරය සිකුරු හතේ පවතිනවා. නමුත් මේ කේන්දරය තුළදී විවාහය හොඳ ගැළපීමකින් හෝ ගැළපීම් කාරක භාවයකින් සිදු නොවුණහොත් විවාහය බිඳ වැටීමකට ලක්වීමට දැඩි අවදානමක් තිබෙන කේන්දරයකි. කලකිරීම්, සිත්තැවුල් දෙපාර්ශ්වයෙන්ම ඇතිවීමට ඉඩකඩ වැඩි බවක් පෙන්නුම් කරන නිසා පරෙස්සමින් විවාහ දිවිය ගත කරන්නට සිදු වේ. බොහෝ සාර්ථක, නිදහස් මනසක් ඇතිවීම සිදු වන්නෙ 2024 අගෝස්තු 26න් පසු කාලය තුළදීයි.

වජිරා රුක්මණි පෙරේරා – වාද්දුව

ප්‍රශ්නය – මාගේ ඉදිරි ශරීර සෞඛ්‍ය තත්ත්වය කෙබඳු ද? එසේම මාගේ ඉදිරි ආර්ථික තත්ත්වය කෙසේ වේද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේ වන විට සඳු මහ දශාවේ සහ සෙනසුරු අතුරු දශාවක ගමන් කරමින් සිටින්නේ. 2024 වසරේ අප්‍රේල් 21 දක්වා සෙනසුරු අතුරු දශාව පවතින කාලයයි. මේ ගෙවෙන කාලය තුළදී හිසකේ ගැලවී යාම, කැඩී යාමේ ප්‍රවණතාව වැඩි වේ. උරහිස සහ බාහු කැක්කුම්, කොන්ද කැක්කුම කකුලක් දක්වා ගමන් කිරීම වැනි රෝග ලක්ෂණ මතු කරයි. අභ්‍යන්තර රෝග අතර මුත්‍රාවල උෂ්ණත්වය වැඩි වීම, පෙන ගතිය වැඩි වීම රුධිරයේ පවතින සංඝටක ශක්තිය සහ ප්‍රතිශක්තිජනක ශක්තිය අවම මට්ටමකට ගමන් කරන බව පෙන්නුම් කරනවා. එම තත්ත්වය 2022 සහ 2023 කාලයේදී වැඩි වී තිබෙනවා.

ආර්ථික තත්ත්වයේ තිබූ මන්දගාමී තත්ත්වය සාර්ථක කරගැනීම ලබන වසරේ අගෝස්තුවලින් පසුව ඉතා වේගයෙන් සිදු වෙනවා. 2025, 26 කාලයන් ආර්ථිකය ගොඩනඟා ගත හැකි යහපත් කාලයක් ලෙස පෙන්නුම් කරනවා.

 

ළසිඳු නිම්සර සඳරුවන් – ජා ඇළ

ප්‍රශ්නය – දරුවාට හිමි අනාගත ජීවන වෘත්තිය කුමක් ද? ඔහු උසස් පෙළ සඳහා තෝරාගත යුත්තේ කුමනාකාරයේ විෂයන් ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේ කේන්දරයට අනුව 2013/14 වැනි කාලයෙන් පසුව විද්‍යාත්මක පසුබිමකට නැඹුරු වීමේ මානසිකත්වයකින් යුත් දරුවකු ලෙස ක්‍රියාත්මක වුණා. එම තත්ත්වය 2021/22 කාලය දක්වා ගමන් කර තිබෙනවා. 2022න් පසු අධ්‍යාපනික රාමුව වෙනත් පැතිවලට යොමු කරමින් තාක්ෂණික ශිල්පීය පැත්තට යොමු කිරීමට උත්සාහ කරනවා. ඒ අනුව විද්‍යාව සහ තාක්ෂණය යන පැති දෙකටම යා හැකි කේන්දරයක් පෙන්වා දෙන නිසා විද්‍යාව නමැති විෂය ධාරාව තුළ වෛද්‍ය වෘත්තියටත් තාක්ෂණය පැත්තෙන් අයිටී ටෙක් නමැති විෂය ධාරාවන්ටත් ගමන් කිරීමේ හැකියාව පවතින දරුවක් ලෙස මේ කේන්දරය බෙදී වෙන් වෙනවා. එම නිසා දරුවාට එම විෂයන් දෙකෙන් එකක් හැදෑරිය හැකියි. ඒ සඳහා කිසිම ගැටලුවක් නොමැත. එසේම මන්දගාමීව තිබූ අධ්‍යාපන තත්ත්වය වේගවත් සාර්ථකත්වයක් දැකිය හැක්කේ 2024 වසර කේන්ද්‍ර කරගෙනයි.

ධම්මික සෙනරත් බණ්ඩාර – මහනුවර

ප්‍රශ්නය – මාගේ නිවසේ සහ ජීවිතයේ ඉදිරි අනාගතය කෙසේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – 2013න් පසු මන්දගාමී වූ කාලයක් උදාවී තිබෙනවා. ඒ 2013 ගුරු විශ්ව කේන්දරයට පැමිණීමත් සමඟින්. ඒ සමඟින් වසර 10ක එනම් 2023 දක්වා ජන්ම ඒරාෂ්ටකයක් සේම ලග්න ඒරාෂ්ටක කාලයක් වශයෙන් ඉස්මතු කර ගමන් කරනවා. ඒ ගුරු දැවෙන කාලයත් සමඟ 2013 සිට වසර 10ක් තමන්ගේ ජීවිතයේ තදින් සටහන් වන කාලයක්. 2014/15 සමයේදී තමන්ගේ පපු ප්‍රදේශයේ කැක්කුම්, පීඩා, තමන්ගේ කීර්තිය, තත්ත්වය පහළ යෑම සිදුවුණා. ඒ වගේම පහුගිය කාලයේදී දණහිස, කොන්ද ආශ්‍රිත පීඩා ගෙන දෙන ලක්ෂණත් මතු වූවා.

මේ කේන්දරය සමාජයේ ඉතා කැපී පෙනෙන පෞරුෂාත්මක, නායකත්ව කාරක, මෙහෙයුම් කාරක පරිපාලනමය ලක්ෂණ තිබූ කේන්දරයක්. නමුත් ඊට විශාල ලෙස බාධාවන් රැසක් එල්ල කරමිනුයි 2013 සිට වසර 10ක කාලයක් තමන්ට අඛණ්ඩ බාධා කාලයක් ඉස්මතු වුණේ. තමන්ට නැවත පිබිදීම් කාලයක් මතු වෙමින් තිබෙන පීඩා අවම වෙන තැනක් වේ නම් ඒ 2025/26/27 ලෙස සටහන් වන්නේ.

 

සුනිල් රත්නායක – රාගම

ප්‍රශ්නය – විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා අවස්ථාව තිබේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – මේෂ ලග්නයෙන් උපන් ඔබ මේ වන විට සිටින්නෙ සෙනසුරුගේ අතුරු දශා කාලයක් ගෙවෙමින්. එය එතරම්ම යහපත්වූ වාතාවරණයක් පෙන්වන්නෙ නැහැ. මොකද විශ්ව කේන්දරයේ පහුගිය කාලයේ එනම් 2020/21 රාහු ගමන් කළේ වෘෂභය තුළයි. 2022 වසරේදී මේෂයට පැමිණියා. මේ වසරේ ඔක්තෝබර් 30 වැනිදා රාහු – කේතු මාරුවෙන් මීනය දෙසට ගමන් කළා. හැබැයි මේ ලග්න තුනටම මේ වන විටත් මන්දගාමී සහ බාධා පීඩන සහිත කාලයක් ගෙවෙන්නෙ. එම කාලය 2024 අගෝස්තු 28 පසු වන තුරු අධි ඒරාෂ්ටකයක් වශයෙන් ඉස්මතු වෙනවා.

රාහු සහ සෙනසුරුගෙන් අධි ඒරාෂ්ටකයක් ගෙවෙන නිසා බොහෝ පරිස්සමින් විදෙස් ගමන්, මූල්‍යමය කටයුතු සහ ඥාතින් සමඟ කටයුතු කළ යුතු වන්නේ. මොකද මේ සියලු දෙයින්ම ප්‍රශ්න ඇතිවීමට තිබෙන අවස්ථාව වැඩියි. ඊට අමතරව සෞඛ්‍ය තත්ත්වය ගතහොත් පාද ආශ්‍රිත අනතුරු, වැටීම් සිදු විය හැකියි. මේ තත්ත්වය ලබන වසරේ අගෝස්තු 28 දක්වා තදින් ඉස්මතු වෙනවා. එම නිසා එම කාලය උදාවන තෙක් බුද්ධිමත් කටයුතු කළ යුතුයි. මේ කාලය තුළදී විදේශ ගමන් වරම් ලැබුණත් එය එතරම් යහපත් වන්නෙ නැහැ.

මාලනී කුසුමලතා – මහගම

ප්‍රශ්නය – නිතර ලෙඩ රෝගවලින් පෙළෙන මාගේ කේන්දරයේ ග්‍රහ අපල තත්ත්වයන් කෙසේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – කේතුගේ මහ දශාවත් සිකුරු අතුරු දශාවත් පවතින කාලයකි. පසුගිය කාලයේ අෂ්ටම ඒරාෂ්ටකයක් පැවැතියා. අෂ්ටම ඒරාෂ්ටකයේ ප්‍රබලම කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. ඒ 2023 අගෝස්තු මාසයේ 17 වැනිදා දිනයේදී. 2024 ජූනි මාසයේ 18 වැනිදායින් පසු සුබවාදී කාලය ආරම්භ වන්නෙ. 62 වැනි වසර ගත කරන ඔබතුමිය නිරන්තරයෙන්ම සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. පසුගිය කාලයේ කොන්ද, කකුල් ආශ්‍රිත කැක්කුම්, ඇඟ උෂ්ණත්වය වෙනස් වීම් සහ හිසේ අසාමාන්‍ය බර ගතිය ස්වරූපයක් පැවැති බව පෙන්නුම් කරනවා. ඇතැම් අවස්ථාවන්හිදී ලෙඩ රෝගවලට ගුප්ත බලපෑමක්ද යන්න සිතෙන අවස්ථා තිබෙනවා. එහෙත් හේතුකාරකය ශරීරයට ප්‍රතිශක්තිය අඩු වීමත් ඊට අමතරව තමන්ගේ මානසික ව්‍යුහයට කලකිරීම යන සංකල්පය පැමිණීමත් තිබෙනවා. ඍණාත්මක යටි සිතක් සහ ධනාත්මක උඩු සිතක් පැවැතීමත් මීට හේතු වෙනවා. මේ තත්ත්වයෙන් මිදීම සඳහා පිණ්ඩපාතයේ වඩින ආරණ්‍ය සේනාවාසී සිල්වන්ත භික්ෂුන්මකට පලතුරු සමඟ සිවුරු පිරිකරක් පූජා කරන්නේ නම් මැනවි. එසේම බදාදා දින හතක් බෝධි පූජා පින්කමක් සහ කුරුලු ජෝඩුවක් බෝධින් වහන්සේ අසල නිදහස් කරන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division