Home » කේන්දරේ කොටු 12න් කියැවෙන ඔබේ ජීවිත කතාව

කේන්දරේ කොටු 12න් කියැවෙන ඔබේ ජීවිත කතාව

by thanushika
December 9, 2023 12:30 am 0 comment
ජ්‍යොතිෂවේදී ගාමිණී ජයතිලක බණ්ඩාර

ඔබේ ජන්ම පත්‍රය දෙස බලන විට කොටු දොළහක් ඇති බව පෙනේවි. මෙම භාවයන් දොළහ එකිනෙක ස්ථානයන් ලෙස හැඳින්වේ. (1) ලග්නස්ථානය (2) ධනස්ථානය (3) සහජස්ථානය (4) බන්ධුස්ථානය (5) පූර්ව පුණ්‍යස්ථානය (6) රෝගස්ථානය (7) විවාහස්ථානය (8) විනාශාස්ථානය (9) ධර්මස්ථානය (10) කර්මස්ථානය (11) අයස්ථානය (12) වැයස්ථානය එම භාවයන් දොළසයි.

ලග්නස්ථානය මඟින් නීරෝගී බව, ආයුෂ වර්ධනය, යුවතිපතින්ගේ මරණය, ආත්මාභිමානය, කිත් යසස්, ප්‍රීතිය පැහැදිලි වේ. සඳු සිකුරු සහ බුධ ග්‍රහයන් සුබ ලෙස ලග්නස්ථානයේ හැසිරෙයි. සිකුරු මාලවී යෝගයද බුධ භද්‍ර යෝගයද උදා කරයි.

ධනස්ථානය මඟින් මිල මුදල්, දේපළ, මරණය, පිය පාර්ශ්වයේ සෞඛ්‍යය, අධ්‍යාපනය, පරම්පරා හිමිකම, ව්‍යාපාර පිළිබඳ දැක්වෙයි. බුධ ගුරු සහ සිකුරු සුබපල ලබා දෙයි.

සහජස්ථානය මඟින් අධිෂ්ඨානය, සොයුරු සොයුරියන්, පිය පාර්ශ්වයේ විපත්, බල පරාක්‍රමය, අරගල, උසස් අධ්‍යාපනය පිළිබඳ නිවේදනය වේ. රවි, සඳු, කුජ, සිකුරු, ශනි, රාහු සුබපල ගෙන දෙයි.

බන්ධුස්ථානය මඟින් අධ්‍යාපනය, මව සහ ඥාතීන්, ජනප්‍රසාදය, ගොවිතැන, නිවාස හා දේපළ ගැන පැහැදිලි කරයි. සිකුරු හා බුධ සුබ ග්‍රහයන්ය. සිකුරු මාලවී යෝගයද, බුධ භද්‍ර යෝගයද උදා කරයි.

පස්වන භාවය වන පූර්ව පුණ්‍යස්ථානය මඟින් ආදරය, දරු උපත්, පෙර පින් ඇති බව, රැකියාව, පියා, දහම් දැනුම, ළදරු අධ්‍යාපනය පිළිබඳ ප්‍රකාශ වන අතර සඳු හා ගුරු සුබ ග්‍රහයන්ය.

රෝගස්ථානය හයවන භාවයයි. සෞඛ්‍යය, විඥානවාදය, ගැටුම්, සිපිරි ගෙය, අපේක්ෂාභංගත්වය, සතුරන් සහ අහංකාරය මෙම භාවයෙන් පැහැදිලි වේ. රවි, සඳු, කුජ, බුධ, ශනි, රාහු යහපත් ග්‍රහයන් වේ.

ලග්න කොටු දොළහ තුළ විශේෂස්ථානයක් වන හත්වනභාවය විවාහස්ථානයයි. සැමියා සහ බිරිය ආදරය, නීති ගැටලු, ජය ලැබීම, ආහාර පිළිබඳ කියැවෙන විවාහස්ථානයට සුබ ග්‍රහයන් වන්නේ සඳු හා ගුරුය. ගුරු ග්‍රහයා ගුරු හංස යෝගය උදා කරයි. අටවන භාවය වන විනාශස්ථානය මගින් මරණය පිළිබඳ තොරතුරු, පෙර අකුසල්, දිවි තොර ගැනීම, මිනිස් ඝාතන, සිත් තැවුල්, අපේක්ෂාභංග වීම දැක්වෙයි. සිකුරු හා බුධ සුබ ග්‍රහයන්ය.

ධර්මස්ථානය නවවන භාවයයි. උසස් අධ්‍යාපනය, දරුවන්, පින්වන්ත බව, නුවණ, ධර්මය, පිය පාර්ශ්වයේ දේපළ, පුනරුත්පත්තිය, ගුරුභවතුන් පිළිබඳ මෙම භාවයෙන් පැහැදිලි වේ. සිකුරු සහ ගුරු යහපත් ග්‍රහයන් වේ. දසවන භාවය කර්මස්ථානය වෙයි. උසස් තනතුරු, ගොවිතැන, අධ්‍යාපනය, ජනප්‍රියතාව, බලසම්පන්න බව, කර්මස්ථානයෙන් නිවේදනය වෙයි. රවි, සඳු, කුජ සුබ ග්‍රහයන්ය. කුජ රුචක යෝගය උදා කරයි.

ධනය, ආදරය, ආදායම්, මිතුරු මිතුරියන්, වස්තුව දේපළ, අපේක්ෂා ඉටුවීම එකොළොස්වන භාවය වන අයස්ථානය මඟින් පැහැදිලි වේ. රවි, සඳු, කුජ, සිකුරු හා බුධ යහපත් ග්‍රහයන් වේ.

වැයස්ථානය ලෙස දොළොස් වන භාවය හැඳින්වේ. සැමියා හෝ බිරිය මියයාම, මානසික තැවුල්, කෝපය, ආදායම් මාර්ග අවහිරවීම, දික්කසාදය, සෞඛ්‍ය ගැටලු නිවේදනය වේ. සිකුරු සුබ ග්‍රහයාය. මෙම තොරතුරු ඔබේ ග්‍රහ පිහිටීම අනුව සුබ අසුබ දැන ගැනීමට උපකාර වේ යැයි සිතමි.00

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division