Home » දෙසැම්බර් 16 වැනිදා රවි ග්‍රහයා ධනු රාශිගත වෙයි

දෙසැම්බර් 16 වැනිදා රවි ග්‍රහයා ධනු රාශිගත වෙයි

ලග්න හතකටසුබදායී කාලයක්

by thanushika
December 9, 2023 12:30 am 0 comment

ග්‍රහ ලොව ප්‍රධානියා වන රවි ග්‍රහයා දෙසැම්බර් 16 වැනිදා පස්වරු 3.58ට ධර්මිෂ්ට ගුණයෙන් යුතු ගුරුගේ නිවහන වන ධනුවට ප්‍රවිෂ්ට වීම හේතුකොටගෙන මේෂ, මිථුන, සිංහ, තුලා, වෘශ්චික, ධනු හා කුම්භ ලග්නවලට සුවිශේෂී සුබ පල උදා කරන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

රවි ග්‍රහයා ධනු රාශියෙහි 2024 ජනවාරි 14 වැනිදා දක්වා ගත කිරීම හේතුකොටගෙන ඉහත ලග්නවලට කරන කියන කටයුතු සපල වන ඉතා සුබදායි කාලසීමාවක් වන බවද ජ්‍යොතිෂයෙහි සඳහන්ය.

නව වසරකට පා තබන විට රාජ්‍යකාරක රවි සුරගුරු හෙවත් යුක්තිය පහදා දෙන ගුරුන්නාන්සේ ළඟ සිටීම භාග්‍යයකි. ග්‍රහ ලොව බලවතා වුවද සත්‍යවාදී බව, අපක්ෂපාත බව සහ ගුරුගේ අවවාද පිළිගැනීමට බැඳී සිටිය යුතුය. කලබල නොවන, උස් පහත් නොවන හිත, නීතිගරුක බව පොදු ජනයාටත් වඩා නිලධාරීන් තුළ පිහිටිය යුතු දෙයකි. මේ අතර මෙම ග්‍රහ මාරුවේදී රවි කේන්ද්‍රස්ථාන ගතවීම් ත්‍රිකෝණස්ථාන ගතවීම් දිග්බල වීම් සංයෝග වීම් ආදියේ ද ප්‍රතිඵල විවිධාකාර ස්වරූපයක් ගනී.

ධනු රාශියේදී රවි මිත්‍ර ස්වභාවයක් උසුලන හෙයින් අසුබ ප්‍රතිඵල ගෙන දෙන්නේ අවම වශයෙන් බව සඳහන් කළ යුතුය.

ඒ අනුව ආර්ථික, සාමාජයිය, අධ්‍යාපනික, සෞඛ්‍යමය වැනි අංශවල සුබවාදී වෙනස්කම් අපට බලාපොරොත්තු වීමට පුළුවන. ග්‍රහ මාරුවක් වන විට වෙනදා මෙන්ම තම ලග්නයට කුමන බලපෑමක් ඇත්ද? යම් අසුබයක් ඇත්නම් අප කෙසේ ඒ සඳහා සූදානම් විය යුතු දැයි ඔබ සිතනු ඇත. ඒ අනුව රාශි 12ට ඇති බලපෑම විමසා බලමු.

මේෂ :- ඔබගේ කේන්දරයේ 9 වැනි භාවයට පිවිසෙන රවි ග්‍රහයා ලග්නාධිපති කුජ සමඟ යෝගව ගුරුට අයත් නිවහනෙහි සිටීම බොහෝ සුබ පල අත්කරදීමට සමත් වෙයි.

වැඩිපුරම සිදුවන්නේ පුණ්‍ය කටයුතුය. තරුණ කණ්ඩායම් වශයෙන් අසරණ සරණ සේවාවල මෙන්ම මහජනයාට සුබ සිද්ධිය සැලසෙන කටයුතුවල නිරත වෙයි. සිතුවිලි උතුම් උසස් ධාර්මික ඒවා බවට පත්වීම නව වසර තුළ සැනසුමකි. දරුවන්ගේ අධ්‍යාපනය සතුටුදායක වේ.

වෘෂභ :- ඔබගේ කේන්දරයේ 4 වැන්නාධිපති වන රවි 8 වැනි භාවයට පිවිසීම තුළ සුබ පලම ප්‍රදානය නොකරනු ඇත. ඒ නිසා ඔබ කරන කියන කටයුතුවලදී බුද්ධිමත්ව සහ කල්පනාකාරීව කටයුතු කරන්න. ධාර්මික වන්න. ඉරිදා දිනයෙහි හිරු නැඟෙන වේලාවේ බෝධි පූජා තබන්න. සූරිය පිරිත සහ අන්තරාය නිවාරණ පිරිත කියන්න. අසුබ පල අවම වී යයි. විදෙස් ගමන් ආදිය සපල වෙයි.

මිථුන :- ඔබගේ 3 වැන්න අධිපති වශයෙන් කේන්දරයේ 7 වැන්නට පිවිසෙන රවි නිසා වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලද හැකි අතර, සාධාරණ ක්‍රියාවලියක් තුළින් ඒවා උපයා සපයා ගත යුතු වේ. යුගදිවියේ ගැටලු මතු වුවත් ඒවා සුළු කාල වේලාවකට පමණි. හවුලේ කරන ව්‍යාපාර කටයුතුවලදී නිහතමානීව තම කාර්යයන් ඉටුකර ගැනීම වැදගත්ය. එකිනෙකා අබිබවා තමන් ඉස්මතු වීමට යාම ගැටලු ඇති කරයි.

කටක :- ඔබගේ කේන්දරයේ දෙවැන්නාධිපති වන රවි 6 වැන්නට පිවිසීම නිසා මිල මුදල් පරිහරණය කිරීමේදී කල්පනාකාරී වීම වැදගත්ය. ඒ හැරුණු විට ගෝචර ගමනින් රවිගේ පැමිණීම නරක නැත. කරන කියන කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය. සතුරු කරදර අවම වේ. රාජ්‍ය අංශවල සේවය කරන අයට රැකියාමය අංශවලින් ලාභ ප්‍රයෝජන ඇත. රෝග නිවාරණ ශක්තිය රවිගෙන් ලැබෙන බැවින් කල්ගත වූ රෝග සුව වීමට ඉඩකඩ ඇත.

සිංහ :- ඔබගේ ලග්නාධිපති ලෙස රවි 5 වැන්නවූ ත්‍රිකෝණස්ථානය මෙන්ම විද්‍යාස්ථානයට පැමිණීම ඉගෙන ගන්නා දරුවනට සුබ පල පමුණුවයි. ශරීර ශක්තිය උනන්දුව උද්‍යෝගය ඇති කරයි. ගෘහස්ථ කටයුතු අනලස්ව කර ගන්නා අතර රැකියා, ව්‍යාපාරවලින් ද ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ප්‍රධානියකු සේ කටයුතු කරයි. පුණ්‍ය කටයුතුවලට යොමු කරවන අතර, උගත් උසස් මිතුරන් මුණගස්වයි.

කන්‍යා :- 12 වැන්න අධිපති ලෙස 4 වෙනි භාවයට පැමිණෙන රවි නිසා ගෙදර දොර වියදම් වැඩිවීමට පුළුවන. ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. විදෙස්ගතව සිටින අය තම නිවසට උදවු උපකාර කිරීමටත් විදේශගත හිතවතුන් ඥාතීන් පැමිණීමටත් ඉඩකඩ ඇත. ප්‍රධානීන් රාජ්‍ය නිලධාරීන් සමඟ වැඩකටයුතු බහුල වෙයි. මවුපස ඥාතීන්ගේ විරෝධතා මතුවිය හැක.

තුලා :- අයස්ථාන වූ 11 වැන්නාධිපති වශයෙන් තුන්වැනි භාවයට පිවිසීම සුබ පල ගෙන දෙයි. සහජ දක්ෂතාව මත තමන් කරගෙන යන වැඩකටයුතුවල පිළිවෙළක් සහ දියුණුවක් ඇති කරයි. සහෝදර උපකාර ගෙන දෙයි. කුඩා දරුවන්ගේ දක්ෂතා මතු කරයි. ස්වයං රැකියා ආදියට වැඩි ඉඩකඩක් ලැබේ. කුමක් කළ ද ලාභ ප්‍රයෝජන ගෙන දෙයි.

වෘශ්චික :- 10 වැන්න අධිපති ලෙස දෙවැනි භාවය වූ ධනස්ථානයට රවි පිවිසීම ඔබට ද සුබපල පමුණුවයි. කරන කියන රැකියා අංශවලදී ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබීමට සුදුස්සෙකු වෙයි. ලාභ ප්‍රයෝජන ඇති කරයි. වචනය ප්‍රබල වෙයි. එහෙත් වචන පාවිච්චි කිරීමේදී නිහතමානී බව වර්ධනය කරගැනීම වැදගත් වේ.

ධනු :- 9 වැන්න වූ පුණ්‍යස්ථාන අධිපති ලග්නයට පැමිණීම ඔබ ලද වාසනාවකි. උතුම් උසස් පුණ්‍ය කටයුතුවලට දායකත්වය සපයයි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල පිබිදීමක් දක්නට ලැබෙයි. ජයග්‍රහණ ලබයි. ඔබ කරන කියන රාජකාරි කටයුතු පිරිසිදුව අවංකව කිරීමට පෙලඹීම නිසා ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගනී.

මකර :- ඔබගේ කේන්දරයේ 12 වැනි භාවයට රවි ග්‍රහයාගේ පිවිසීම සිදුවන්නේ 8 අධිපති ලෙසය. එහි විපරීත යෝගයක් නිර්මාණය වන බැවින් අයහපත අඩු කරයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබෙන අයට ඒවා ඉටුවීමේ ඉඩක් පෙන්වයි. දුර ගමන් යෙදේ. නීතිමය කටයුතුවලට මැදිහත්වීමක් පෙන්වන බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

කුම්භ :- 7 වැන්න අධිපති ග්‍රහයා ලෙස 11 වැන්න වූ අයස්ථානයට රවි ග්‍රහයාගේ පැමිණීම ව්‍යාපාර අංශවල ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. නව නිපැයුම්වලට සිත යයි. විවාහ පාර්ශ්වයෙන් ද උදවු උපකාර හිමි වනු ඇත. සාමාජීය සුභසාධන පොදු වැඩවලට අතහිත දෙයි. කීර්ති ප්‍රශංසා ගෙන දෙයි.

මීන :- 6 වැන්න අධිපති ලෙස 10 වැන්න වූ රැකියා ස්ථානය සහ කර්ම ස්ථානයට පැමිණෙන රවි ග්‍රහයා නිසා ඔබගේ රැකියා, වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල සුබවාදී වෙනසක් දක්නට ලැබෙයි. 10 වැන්න කර්මස්ථානය බැවින් පින් සිතුවිලි පහළ වන ග්‍රහ මාරුවකි. පවතින ඒරාෂ්ටක තත්ත්වයත් සමඟ එයින් සහනයක් ලබා ගැනීමට ඔබ උදෑසන සූර්ය පිරිත, අභිසම්භිධාන පිරිත කියන්න. එහි ආශිර්වාදය ලබන්න.

මෙම ග්‍රහ මාරුවෙන් ලැබෙන අසුබ පල මඟහරවා ගැනීමටත් සුබ පල තව තවත් වර්ධනය කර ගැනීමටත් ඔබට පහසුවෙන් කරගත හැකි සෙත් ශාන්ති කීපයක් පහතින් සඳහන් කරමි. රවිගේ බලපෑම අසුබ ලෙස යෙදෙන විට සූර්ය පිරිත සෑම උදයකම කීමෙන් ඔබට සුව සහනය ළඟා කර ගත හැකිය. එමෙන්ම රවිගේ සබඳතාව ගුරු ග්‍රහයා සම්බන්ධව නිසා අභිසම්භිධාන පිරිතද කීම ගුණයක් ලබා දේ. ඒ හැරුණු විට ආදී මුතුන්මිත්තන් කළ පරිදි ඔබට සූර්ය වන්දනාව කළ හැකි නම් ප්‍රතිඵල වැඩි වේ. හිරු නැඟ එන විට ඔබට සූර්යයාට නමස්කාර කළ හැකිය. හිරු නැඟ එන විට පහත ස්තෝත්‍රය කියා සූර්ය වන්දනාව කරන්න.

ජපා කුසුම සංකාශං – කාශ්‍යෙප්යං මහාද්‍යුතිමා

කමෝරියං සර්ව පාපස්නං පුණතෝස්මි දිවාකරම්

මෙම කාලය තුළ යෙදෙන ඉරිදා දිනවල රතු නෙළුම් සමඟ තවත් රතු මල් වර්ග ගෙන පෙ. ව. 6-7ත් අතර බෝධි පූජා තබන්න. එලෙස හිරුගේ අපලය දුරු කර ගන්න. නෙළුම් මල් අන් අයට ද පරිත්‍යාග කරන්න. ඉඹුල් වෘක්ෂයක් ළඟපාත තිබේ නම් එම ගසට ජලය දමන්න. කොළ ස්පර්ශ කරන්න. රතු ඇඳුම්, පරිප්පුවලින් සාදන කැවිලි, රත් හඳුන්, සීනි, තිරිඟු දනට දෙන්න.

මනෝසීල, එනසාල්, දේවදාර, කුංකුමප්පු, සපුමල්, සැවැන්දරා, වැල්මී, නෙළුම් රේණු ආදි බෙහෙත් ද්‍රව්‍ය තම්බා ඇඟපත සේදීමෙන් ස්නානය කිරීමෙන් රවිගේ අපල දුරු වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division