Home » 2024 – 25 වසරවල ධනු ලග්න හිමියන්ගේ පදිංචියේ වෙනසක්

2024 – 25 වසරවල ධනු ලග්න හිමියන්ගේ පදිංචියේ වෙනසක්

by thanushika
December 9, 2023 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

සාමාන්‍යයෙන් ධනු ලග්න හිමියන් තමන්ගේ සැඟවී ඇති විශිෂ්ට දක්ෂතාවලින් ජීවිත කාලය තුළම ප්‍රයෝජන ගන්නේ ඉතා සුළු ප්‍රමාණයකින් පමණි. කෙසේ වෙතත් ධනු ලග්න හිමියන් අන් අයට සිතා ගන්නවත් නොහැකි විශාල ඉලක්ක කරා ඉතා සුළු පරිශ්‍රමයකින් ළඟා වන බව පෙනේ. ධනු ලග්න හිමියන් තීරණ ගැනීමට ඉතා දක්ෂ අය වන අතර හදිසි තීරණ පවා නිවැරදි වනු ඇත. විටෙක අලසව සහ බොළඳ ලෙස ක්‍රියා කරන ධනු ලග්න හිමියන් තවත් විටෙක බුද්ධිමත් ලෙස සහ උද්‍යෝගීමත් ලෙස හැසිරෙන බව පෙනේ. ප්‍රීතිමත් බව, විනයානුකූල බව, ඍජු බව, කරුණාවන්ත බව වැනි චරිත ලක්ෂණ නිසා අන් අය ධනු ලග්න හිමියන් ප්‍රිය කරන බව පෙනේ.

සාමාන්‍යයෙන් ධනු ලග්න හිමියන් නිදහස බොහෝ සේ ප්‍රිය කරයි. ධනු ලග්න හිමියන් උගතුන්ට, බුද්ධිමතුන්ට ගරු කළත්, බලවතුන්ට ගරු නොකරන බව පෙනෙන අතර ඔවුන් ආගම් දර්ශන ආදියට ද ප්‍රිය කරන බව පෙනේ. කිව යුක්ත විවෘතව ප්‍රකාශ කිරීමත් අන්‍යයන් මුළා නොකිරීමත් ධනු ලග්න හිමියන්ගේ චරිතය තුළ කැපී පෙනේ. ඔවුන් සමහර අවස්ථාවලදී හිතවතුන්ට උපදෙස් දෙන්නේ ආඥාදායක ස්වරූපයෙන් විය හැකිය. කෙතරම් ගැටලු තිබුණ ද ප්‍රීතියෙන් සිටීමට උත්සාහ කරන ධනු ලග්න හිමියන් කිසිම ප්‍රතිලාභයකින් තොරව අන් අයට සහයෝගය දක්වන බව පෙනේ. ආත්ම ගෞරවය උසස් කොට සලකන අතර නීත්‍යනුකූල නොවන කටයුතුවලට මැදිහත් නොවේ. අනුන් රැවීටීම ද දැඩි ලෙස පිළිකුල් කරන බව පෙනේ. එනම් අන් අයව රවටන හිතවතුන්ව ආශ්‍රය කිරීම පවා නවතන බව පෙනේ.

එමෙන්ම ධනු ලග්න හිමියන්ට අන්‍යයන්ගේ සිත් කියවිය හැකි තීක්ෂණ බුද්ධියක් ඇත. ඒ නිසාම බොහෝ බාධකවලින් නිදහස් විය හැකිය. ධනු ලග්න හිමියන්ට උසස් වීමට ආසාව ඇතත් දියුණු වන්නේ බොහෝ විට යුක්තිසහගත මාර්ගවලින් පමණි. ඒ නිසාම ඔවුන් සමාජය තුළ ගෞරවයට පත්වෙයි. තමන්ට හෝ වෙනත් අයෙකුට අයුක්තියක් සිදු වන්නේ නම් ධනු ලග්න හිමියන්, පෞද්ගලික වශයෙන් කුමන අවාසි සිදු වුවද ඊට එරෙහිව නැඟී සිටින බව පෙනේ. ඒ නිසා ඒ වෙනුවෙන් සටනක් වුවද සිදු කිරීමට වුව ඔවුන් මැළි නොවන අතර ඒ නිසාම සතුරන් ඇතිවීමට ද ඉඩ ඇත.

ඉදිරියේදී ධනු ලග්න හිමියන්ට වඩාත් තීරණාත්මක කාල වකවානුවක් ලෙස 2024 වසරේ ඔක්තෝබර් 20 වනදාත්, 2025 වසරෙහි ජනවාරි 21 වනදාත් අතර කාල වකවානුව සහ 2025 වසරෙහි අප්‍රේල් 3 වනදාත්, 2025 වසරෙහි ජුනි 7 වනදාත් අතර කාල වකවානුව දැක්විය හැකිය. ඉහත කාල වකවානුව තුළ ධනු ලග්න හිමියන්ට වෙනසක් පෙන්නුම් කෙරේ. එනම් ඉහත කාලසීමාවන් තුළ ධනු ලග්න හිමියන්ගේ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමට ඉඩ ඇත. නොඑසේ නම් ඉහත කාල සීමාව තුළ ඔවුන්ගේ පදිංචි ස්ථානය වෙනස් වීමට හෝ දැනට පදිංචි ස්ථානයේ සාමාජිකයන් ප්‍රමාණය වෙනස් වීමට ඉඩකඩ පවතින බව පෙනේ.

ධනු ලග්න හිමියන්ට නුදුරු අනාගතයේදී වඩාත් බරපතළ සිදුවීම් පෙන්නුම් කෙරෙන්නේ 2034 වසරෙහි ජූලි 10 වනදාත්, 2036 වසරෙහි අගෝස්තු 27 වනදාත් අතර කාල සීමාව තුළ සහ 2046 වසරෙහි දෙසැම්බර් 9 වනදාත්, 2049 වසරෙහි මාර්තු 9 වනදාත් අතර කාල සීමාව තුළය. ඉහත කාල සීමා තුළ ධනු ලග්න හිමියන්ට විශාල අභියෝගවලට සහ විශාල බාධාවලට මුහුණ දීමට සිදුවන බව පෙනේ.

නමුත් එම කාල සීමාව තුළම, ධනු ලග්න හිමියන්ට විශාල ජයග්‍රහණ ද ලැබෙන්නට ඉඩ තිබුණ ද එම ජයග්‍රහණ ලැබෙන්නේ සුළු හෝ අඩුපාඩුවක් සහිතව බව පෙනේ. එමෙන්ම ඉහත කාල සීමා තුළ ධනු ලග්න හිමියන් ස්වාධීන වීමට ඉඩ ඇති අතරම ප්‍රතිපත්ති වෙනස් කිරීමට ද ඉඩකඩ ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division