Home » මම කෙළින්ම විවාහ යෝජනාව කළා එයා කැමති වුණා

මම කෙළින්ම විවාහ යෝජනාව කළා එයා කැමති වුණා

by thanushika
December 2, 2023 12:34 am 0 comment

කතුරු මිතුරු දින පනහ පහු කරා, ඒ නොවැම්බර් 13 දා, එදාම තමයි මගේ උපන්දිනේ යෙදිලා තිබුණේ. ඒ මගේ 50 වැනි උපන් දිනේ. මාව පුදුමයට පත් කරමින් නිෂ්පාදක භාසුරු සිරිවර්ධන මහත්මයා ලස්සන උපන් දින සාදයක් සංවිධානය කරලා තිබුණා. පුංචි සාදයක් කිව්වට හිතපු තරම් පුංචි සාදයක් නෙමෙයි. මගේ මහන්සියෙන් ඒ සාදය කරා වගේ දැනෙන්නම ඔහු ඒ තරම්ම හොඳට සංවිධානය කරලා තිබ්බා. එදා මම හරියට සතුටු වුණු දවසක්. මගේ වාසනාවන්තම දවසක් එදා. ඒකට භාසුරුට ස්තූතිවන්න වෙන්න ඕන. භාසුරු වගේ අය විරලයි.

ඊට පස්සේ ටිකක් මම අසනීප වුණා, උණ හැදිලා. මගේ පිළිකා රෝගයට බෙහෙත් ගන්නේ මහරගම පිළිකා රෝහලෙන්. එහි visheshachya වෛද්‍ය දේවින්ද ජයතිලක මහත්මයාගේ උපදෙස් මත මම දින කිහිපයක් IDH රෝහලේ ප්‍රතිකාර ගත්තා. දැන් ටිකක් සුවයි. කොහොම නමුත් මම හරිම සතුටින් ජීවිතේ ගෙනියනවා.“

ඒ මුහුණේ නිතරම සිනහව මැවෙනවා. තව කෙනෙකුව හිනස්සලා සතුටක් දෙන්න වෙහෙස ගන්න ඔහු ගිරිරාජ් කෞශල්‍ය. අසනීප තත්ත්වය නොතකා කලා කෙත පෝෂණය කරන්න වෙහෙස ගන්න ඔහුගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ කතුරු මිතුරු මේ දිනවල ලංකාව පුරාම තිරගත වෙනවා. ඒ ගැන කතා කරන්න වගේම ඔහුගේ ආගිය තොරතුරු රසඳුන එක්ක කතා කරන්න එක් වුණේ මෙහෙම යි.

ඔබ අධ්‍යක්ෂණය කළ සිකුරු හතේ, සුහද කොකා වගේම පසුගියදා තිරගත වූ කතුරු මිතුරුත් ජනතාව ආදරයෙන් වැලැඳ ගත්තා නේද ..?

කතුරු මිතුරු හිතපු නැති විදිහට ජනතාව අතරට ගියා. සිනමා නිර්මාණයක් කියන්නේ බලෙන් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කැමැත්තෙන් ගිහින් බලන්න ඕන දෙයක්. ලංකාව පුරා සිනමාහල් ‘හවුස් ෆුල්‘. දින පනහත් පහු වෙලත් පෝලිම්වල ඉන්නවා කතුරු මිතුරු නරඹන්න. අසනීප තත්ත්වය එක්ක කතුරු මිතුරුවලට ලැබුණු ප්‍රතිචාර මගේ හිත වෙනදාටත් වඩා සතුටින් තිබ්බා කියන්න පුළුවන්. නිර්මාණය හැමෝම රස වින්දා. හරි සතුටුයි කියලා තමයි කියන්න තියෙන්නේ.

කතුරු මිතුරු කියලා නම දැම්මේ..?

ටේලර් පරම්පරාවයි, බාබර් පරම්පරාව ගැන ගෙතුණු කතාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. අපේ රටේ කොච්චර දරුවෝ ඉන්නවද උපාධි අරන් ගෙදරට වෙලා ඉන්න. රස්සාවක් ලැබෙනකල් ඉන්නවා උගන්වන්න මහන්සි වුණු මාපියන්ට සලකන්න. ඒවගේ සිදුවිම් එක්ක මේ පරම්පරා දෙකේ දරුවෝ නව මුහුණුවරකින් මේ රැකියාව ඉදිරියට ගෙන යන්නෙ කොහොමද කියලා කියන්නෙ. යාළුක මේ හිතවත්කම් එක්ක කතුරු මිතුරු හරියට ගැළපෙනවා කියලා හිතුවා. ඒ නම හිතාමතා දැම්මෙ නැහැ. කතාවත් එක්ක නම ඔළුවට ආවා දැම්මා. නම හරියටම ගැළපුනා.

ගිරිරාජ් ඇයි හාස්‍යජනක චිත්‍රපට විතරක් කරන්නේ, සිනමා තිරයට කලාත්මක නිර්මාණයක් කළොත් හොඳයි කියලා හිතන්නේ නැද්ද ..?

ලංකාවේ සිනමාව කලාත්මක නිර්මාණ වලින් ජාත්‍යන්තරයට ගෙන ගිය අධ්‍යක්ෂවරු ඉන්නවා. සම්මාන ලැබිලා තියෙනවා ඒත් හාස්‍යජනක චිත්‍රපට සඳහා සිනමා කලාව තුළ හිඩැසක් තියෙනවා. හාස්‍යජනක චිත්‍රපට බිහිවෙනවා. ඒත් සමහර නිර්මාණ වල හිනාවෙන්නත් දෙයක් නැහැ. ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අර්ථයක් නැහැ අනිත් එක මේ මම දන්න හා මම දක්ෂ දේ තමයි මම කළේ. නොදන්න දේ කරන්න වලිකනවට වඩා හොඳයි දන්න දේ හරියට කරන එක. ඒ නිසයි මම කොමඩි ෆිල්ම් වලට ඉඩක් දුන්නෙ. මගේ පාසලේ බිත්තියක කොටලා තිබ්බා. “නොදන්න බව දන්වන එකා පණ්ඩිතයා කියලා. ඒක මගේ ජීවිතේ පුරා හිතේ තියාගෙන ජීවත් වුණු කෙනෙක්. මම නොදන්න දේ කරන්න යන්නෙ නැහැ. කරන්න උත්සාහ කළොත් හොයලා බලලා දැනගෙන කරන්නේ.

ඒ නිසා මේ යන විදිහ හොඳයි කියලා හිතුවා.

චිත්‍රපටය කරන්න අවදානමක් ගත්තට ආර්ථිකයට පාඩුවක් නොවෙන්න ඇති?

ඇත්තටම කියන්න ඕන භාසුරු මෙය නිෂ්පාදනය කළේ අවදානමක් අරන් තමයි. මොකද රටේ ආර්ථික තත්ත්වයත් වක්‍රාකාරයෙන් හැමෝටම බලපාපු කාලෙක ඔහු කිසිම දෙයක් නොහිතා වියදම් කරා. ඒ වගේම කරපු වියදම් කවර් කරගෙන පොඩි ලාභයක් හරි ලබන්න පුළුවන් වුණා. ඒකත් ලොකු දෙයක්. මගේ හිතටත් සහනයක් දැනුණා. ඔහුට අසාධාරණයක් නොවුණු නිසා

ඔබේ දියණිය අමන්දා දැන් ජනප්‍රිය ගායිකාවක්, ඒ වගේම රඟපාන්නත් දක්ෂයි, කතුරු මිතුරු චිත්‍රපටයෙන් ඈව දකින්නේ කුඩා චරිතයකින්, ඇයි ඒ..?

පොඩි දුව අමන්ද්‍යා ගායිකාවක් විදිහට ජනතාව අතරට ගියා. රංවල බළකායේ දීර්ඝ කාලීන සාමාජීකාවක්. එයා ආසයි කිව්වා කලාවට.ඒ නිසා රංවල බළකායට දැම්මා. එතැනින් තමයි මම දැක්කේ එයා තුළ ගායන වගේම රංගන හැකියාවක් තියෙනවා කියන එක. කතුරු මිතුරු සිනමාපටයට එයාට දුන්නෙ පුංචි චරිතයක්. මම දැන් හිතනවා මේ වෙද්දී එයාගේ රංගන හැකියාව දියුණු වෙලා කියලා. මට දැනෙන නිසා මගේ ඊළඟ නිර්මාණයේදී මීට වඩා ලොකු චරිතයක් එයාට දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

රැජිනට ඇන්දා ගීතය මම ලිව්වේ එයාගේ ඉල්ලිම් මත. තාත්තේ මට සිංදුවක් ලියලා දෙන්න කිව්වා. හිතට දැනුණු දේ එක්ක ඒ ගීතය ලිව්වා. ඒත් මෙච්චර ප්‍රතිචාර මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගීතය සාර්ථක එකක් වුණා. ලොකු දුව කවින්ද්‍යා නිලුපුලි. විවාහ වුණාට පස්සේ එයා ඒ ජීවිතේ එක්ක කාර්‍යබහුල වුණා. ඒ නිසා ඇය කලාවට සම්බන්ධ නැහැ . දුවලා දෙන්නම උපාධිධාරීන්. ලොකු දුව ගුරුවරියක් විදිහටත් වැඩ කළා.

ඒ කියන්නේ ඊළඟ නිර්මාණයේදී අමන්ද්‍යා දුව වෙනුවෙන් චරිතයක් ලියන්න ද සූදානම..?

මම අධ්‍යක්ෂණය කළොත් චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් දුවව හිතේ තියාගෙන එයා වෙනුවෙන් චරිතයක් හදනවා. එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. එයා මගේ දුව නිසා නෙමෙයි. එයා දක්ෂ නිසයි මම එහෙම දෙයක් කරන්න හිතුවේ.

කාර්‍යාලයේදි මුණගැහෙන ලස්සන යුවතියට ආදරේ කරන ඔබ අවසානයේ දි ඇයව බිරිඳ කර ගන්නවා, ආදරණීය බිරිඳ ගැනත් කියමු..?

ඒ අතීතය හරි සුන්දරයි. එයා තමයි මංගලිකා ප්‍රනාන්දු . මම කොළොන්නවේ. එයා බොරැලැස්ගමුවේ. දෙන්නම කොළඹ වුණාට අපි දෙන්නා මුණගැහෙන්නේ ගිරාඳුරුකෝට්ටේදි. අපි දෙන්නම වැඩ කළේ මහවැලි සී කලාපයේ. නිතරම මුණගැහුනා. කතාබහ කළා. රාජකාරියේදි හිතවත් වෙලා පස්සේ තමයි ආදරේ කරන්න ගත්තේ. මම කෙළින්ම විවාහ යෝජනාව කළා එයා කැමති වුණා. ඒ කාලේ කලබලයක් නැහැ නිදහසේ ජීවත් වුණා . ඊට පස්සේ දෙපාර්ශ්වයේ දෙමාපියන් එක්ක කතා කරලා ඔවුන්ගේ ආශිර්වාද මැද විවාහ වුණා. ආදරේ කියලා අවුරුදු 38ක්. විවාහ වෙලා අවුරුදු 36ක්. මේ කාලය පුරාවට දුක සැප සතුට කඳුළු හැම දෙයක් එක්කම ඈ මාත් එක්ක ඉන්නවා.

ගිරිරාජ් කෞශල්‍ය කියන පුද්ගලයා ජනප්‍රිය තරුවක් බවට පත් වෙන්නෙ විවාහයෙන් පසුව. ගැහැනු ආදරේ දී ලෝභයි කියනවනේ, ජනප්‍රියත්වය එක්ක ගැහැනු ළමයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර වලට ඇය ප්‍රතිචාර දැක්වූයේ කොහොමද ..?

මම නළුවෙක් වෙන්නේ විවාහ වෙලා දුවලා දෙන්නත් ලැබුණට පස්සේ. මම වයසට ගිහින් නළුවෙක් වුණු කෙනෙක් නිසා මට ආදරේ කළේ ප්‍රතිචාර දැක් වූයේ චරිතවලට. නළු ගෞරවය හා ආදරේ මට ලැබුණේ. ඒ ප්‍රතිචාර එයා දැක්කා. අනිත් එක මම රට රටවල්වලට ගියේ එයා එක්ක. සූටිං හැරුණාම එයා මම ගිය ගමන් බිමන්වලට සමහර වෙලාවට මම සම්බන්ධ කර ගත්තා. ඒ නිසා එයාට සැකසංකා තිබ්බෙ නැහැ . නිළියෝ එක්ක දවසක් හරි සූටිං ගිහින් ඉන්න තියෙනවා නම් මම මගේ බිරිඳ එක්කගෙන යනවා. ඔය හේතු එක්ක එයා දැක්කා කාටත් වඩා එයාව මට විශේෂ බව. මොන දේ තිබ්බත් වැඩක් නැහැ පවුල ඇතුළේ දෙන්නා අතරේ ආදරේ තියෙන්න ඕන. මම මගේ දරුවෝ දෙන්නටත් කිව්වේ ආදරේ කරන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා. එයාලට නිදහස දුන්නා. එයාලත් හරි දේ තෝරා ගත්තා නිසා පවුල් ජීවිතේ මමයි මංගලිකායි වගේ සතුටින් ගෙවනවා.

ඇත්තටම ලස්සන බිරිඳක් ඉද්දි ලස්සන නිළියෝ ඇයි කියලා හිතිලා තියෙනවා ද ..?

ඔව්. මොකද ඇයට තියෙන්නේ ස්වභාවික ලස්සනක්. තරුණ කාලේ මේකප් කරලා ලස්සනට ඉන්න නිළියෝ වයසට ගියාට පස්සේ එයාලගේ රූපය කොහොමද කියලා මම දැකලා තියෙනවා. මම මේ කියන්නේ ලස්සන තාවකාලිකයි කියන එකයි. ආදරේ තිබ්බොත් රූපයට වඩා කවදත් ආදරෙන් ඉන්න පුළුවන්. ඒ නිසා කවදත් මගේ බිරිඳ මට ලස්සනයි. හොඳම උදාහරණය මම අසනීප වෙලා රෝහල්ගත වුණු දවසේ ඉදලා මට වඩා මම ගැන බැලුවේ ඇය. දිනකට දෙකකට හැර ඈ මාව තනි කරලා ඉඳලා නැහැ . දවස් ගණන් නිදි මරන් මාත් එක්ක ඉන්නවා. ඒ රැකවරණය තියෙන්නේ ආදරේ එක්ක.

ඔබ රෝගයෙන් පෙළෙන බව දැනගත් මොහොතේ ඔවුන් මනසින් වැටෙන්න ඇති. ඔබ රෝගයකින් ඉන්න බව බොහෝදෙනෙක් විශ්වාස කරන්නේත් නැහැ. ඔබ එදා වගේම හොඳ පෙනුමකින් ඉන්න නිසා , ඒ ගැන කියලා මේ කතාබහට සමුදෙමු..?

බොහෝ දෙනෙකුට පුදුමයි මගේ අසනීපය ගැන. ඒ මගේ පෙනුමේ වෙනසක් නැති නිසා. ඒ වගේම මම අසනීප වෙන්නෙ 2021 අවුරුද්දේ . එදා ඉඳලා මගේ බිරිඳ හා දරුවෝ දෙන්නා මට නොපෙන්වා අඬන්න ඇති. මගේ ඉස්සරහා අඬන්නෙ නැතුව මම හිටපු මොරාන් එකෙන්ම ජීවත් වෙන්න එයාලා මට ඉඩ හදලා දීලා එයාලා හිතින් අඬනවා කියලා මම දන්නවා. මමත් මොකුත් නොදන්නා සේ සතුටින් එයාලා එක්ක ඉස්සර වගේම ජීවත් වෙනවා. ජීවිතේ මෙහෙම තමයි. අලුත් නිර්මාණ එක්ක සතුටින් බෙහෙත් කරන ගමන් ජීවත් වෙනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division