Home » ලෝකෙ තොරතුරු හොයන උණ සන්නිපාතය මට තිබුණා

ලෝකෙ තොරතුරු හොයන උණ සන්නිපාතය මට තිබුණා

by thanushika
December 2, 2023 12:33 am 0 comment

අවුරුදු දහයකට පසුව ඇය ආයෙමත් ප්‍රවෘත්ති නිවේදනයෙන් සම්බන්ධ වෙනවා. ඈව හැමෝම හඳුනා ගත්තේ ලෝකයේම තතු එක තැනකට ගෙන ආ ලෝක සිතියමෙන්. ලෝක සිතියමේ මුල්ම සාමාජිකාව වන්නට වාසනාවන්ත වූ ඈ රංසි රණසිංහ. මේ නමත් රූපයත් බොහෝ දෙනෙකුට මතක ඇති. දසත හා සුප්‍රිම් ටීවී රැගෙන එන දසත පත්තරේ අරන් වැඩසටහනට ඈ සම්බන්ධ වෙනවා. කාලෙකට පසුව කැමරාව ඉදිරියට එන ඈ ගැනයි මේ.

රංසි කාලයක් නිහඬව ඉඳලා ආයෙමත් වැඩ පටන් ගත්තා නේද , ඇයි නිහඬව හිටියේ..?

මම විවාහ වෙලා පළමු දරු ප්‍රසුතියට තමයි නිවාඩු ගත්තේ. ඒ වෙද්දී මම රූපවාහිනියේ නිව්ස් ප්‍රසන්ටර් කෙනෙක් වගේම ස්වාධීන රූපවාහිනීයේ වැඩහටහනක් කළා. බඩත් උස්සගෙන ටික දවසක් නිව්ස් කියලා නිවාඩු ගත්තා. ඊට පස්සේ මට හිතුණා පවුල හා දරුවෝ වෙනුවෙන් කාලය ගත කරන්න ඕන කියලා. ඒ කාලේ ආයේ ගන්න බැහැ එකක්. අනිත් එක අපේ වුවමනාවට දරුවෝ හදලා එයාලා වෙනුවෙන් ඉන්න ඕන ටික කාලයක් කියලා හිතුවා. ඔය හේතු නිසයි නිහඬ වුණේ. අවුරුදු දහයකට පස්සෙ ආයෙමත් රූපපෙට්ටියට ආවා. සුප්‍රිම් ටීවී එක්ක ඩිජිටල් මීඩියා ෆැට්ෆෝම් එකේ ලංකාවේ දෙවැනි තැන රැඳුණු දසත නිව්ස් අත්වැල් බැඳගෙන තමයි ප්‍රවෘත්ති විකාශය අලුතෙන් ආරම්භ කළේ, ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි ලෙස කටයුතු කරන උපේන්ද්‍ර හේරත් මට එන්න කියලා ආරාධනය කළා. ටීම් එකේ ඉන්නෙ කවුරුත් දන්න නමක් හදාගත්ත පිරිසක්. ඒ වගේ අය එක්ක මේ වැඩේ පටන් ගත්තේ. මම ඒ ආරාධනා ව හරිම ආදරයෙන් භාර ගත්තා. කළමනාකරණ අධ්‍යක්ෂවරුන් වන හර්ෂ ජයන්ත් වගේම පී. එස් මධුශාන් මතක් කරන්න ඕන මේ අවස්ථාව දුන්නට.

රංසි කියන්නෙත් ඒ කාලේ නිවේදිකාවන් අතරේ බ්‍රෑන්ඩ් එකක්. කැපිලි කෙටිලි නැහැ කියන්න බැහැ ..?

කැපිලි කෙටිලි හැම ක්ෂේත්‍රයේම තියෙන මටත් තිබුණා. නමුත් මගේ ගමනට මම ඒවා බාධා කරගත්තේ නැහැ. ප්‍රවෘත්ති නිවේදනයට හෝ අර්ථවත් වැඩසටහන්වලට දරුවා ලැබුණට පස්සේ මට ආරාධනා ලැබුණේ නැහැ. ඒ නිසා නිහඬව හිටියා. නමුත් යම් හේතුවක් මත මගේ හිතේ තිබුණා ආයෙමත් එක වතාවක් හරි ප්‍රවෘත්ති නිවේදනයෙන් හෝ අර්ථවත් වැඩසටහනක් කරලා ක්ෂේත්‍රයට සමු දෙන්න. හිත ඇතුළේ තිබ්බ ඒ පුංචි බලාපොරොත්තුව මේ විදිහට ඉටු වුණා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම දසත පත්තරේ අරන් පත්තර විස්තර වැඩසටහනටත් ඔබ සම්බන්ධ වෙනවා..?

මම සතියේ එක දවසයි නිව්ස් කියන්නෙ. ඒ ඉරිදා හවස 6.25 නිව්ස් එක. සතියේ දවස් පහම දසත පත්තරේ අරන් වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕන. උදේ හයේ සිට හත දක්වා පැයක් වැඩසටහනට සම්බන්ධ වෙනවා. මම උදේ හතරේ ඉඳලා ඊට සූදානම් වෙන්න ඕන. ඒ නිසා නිව්ස් කියන්නේ එක දවසයි. මේක වගකීමක්. මාව විශ්වාස කරලා ඒ වගකීම භාර දුන්නාට සියලුම දෙනාට ස්තුතියි කියනවා. නම් නොකීවත් හැමෝම මතක් කරනවා.

අවුරුදු දහයකට පස්සේ කැමරාව ඉදිරියට එද්දී ඔබ මුලින්ම නිවේදිකාවක් විදිහට සම්බන්ධ වූ දිනයේ තිබුණු හදගැස්ම ඇති වෙන්න ඇති ..?

මම 2003 අවුරුද්දේ තමයි ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙන්නෙ, කැලුම් පාලිත මහීරත්න මහත්තයාගේ මඟ පෙන්වීම් මත මුලින්ම එන්නේ පළපුරුද්ද නැතුවනේ, එතකොට මම නිවේදිකාවක් විදිහට දැනුම අත්දැකීම් එකතු කරමින් ඉන්න කාලේ. එතකොට තිබ්බේ බයක්. දැන් දැනුනේ වගකීමක් මට භාර දුන්නා මම ඒක හරියට කරන්න ඕන කියන හැඟීම හා බය. අමාරුවෙන් හදාගත්ත නමට හානියක් කර ගන්න බැහැ . ඒ වගේම මම මොනවා හරි කරලා ටීවි එකේ පෙනිලා ඉන්න ඕන කියන මානසික මට්ටමේ ඉන්න කෙනෙක් නෙමෙයි. හරි දෙයක් කරන්න ඕන කියලා හිතන කෙනෙක්. හිතේ බයක් නැතුව නෙමෙයි . ඒත් හරිම සතුටින් වැඩේ කරගෙන යනවා.

තවම හැමෝටම ඔබව මතක ස්වර්ණවාහිනී යේ නිව්ස් කියූ රංසි කියලද, එහෙම නැත්නම් ලෝක සිතියමේ රංසි කියලද..?

මම ලෝක සිතියම කරන්න ගන්නේ අහම්බයකින්. මුල්පිටුව බන්දුල පද්මකුමාර මහත්මයා එක්ක කළේ සිතාරා. එයා නිවාඩු ගිය දවස් දෙක තුනකට මට භාර කළා මුල්පිටුව කරන්න. ඒත් එක්කම ලෝක සිතියම පටන් ගත්තා. ඒ වැඩේ මට භාර දුන්නා. ලෝකේ තොරතුරු හොයන උණ සන්නිපාතය මට තිබ්බ නිසා , මම කරේ දිගටම ලෝක සිතියම , ඒත් දවස් දෙක තුනක් කරපු මුල් පිටුව බොහෝ දෙනෙකුට මතකයි. අදටත් අහන්නෙ මුල් පිටුව කරපු කෙනා නේද කියලා.

හුරතල් දඟකාර පුත්තු තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ..?

මගේ දරුවෝ තුන් දෙනා හරිම හොඳයි. ඒ වගේම දඟයි. කොල්ලොනේ. ලොකු පුතා දෙවාන් දෙව්සර, වයස අවුරුදු 9යි. දෙවැනියා ඉවාන් දම්සර. එයාට වයස හතයි. දෙන්නම කොළඹ ආනන්ද විද්‍යාලයට යන්නෙ. පොඩ්ඩා ලිවාන්. එයාට අවුරුදු හතරයි. දරුවෝ නිසා ෆුල් ටයිම් වැඩ නොකර එයාලා වෙනුවෙන් වැඩි ඉඩක් දීලා වැඩ කරනවා.

දැන් සතියේ දවස් පහම උදේ පාන්දරින් ගෙදරින් පිට වෙද්දී සැමියා චෝදනා කරන්නේ නැද්ද ..?

මගේ ආදරණීය සැමියා රජිත හුලද්දූව. හොඳ මනුස්සයෙක් ළඟ තියෙන්න ඕන හැම ගතිගුණයක්ම රජිත ළඟ තියෙන නිසා එයා හරිම හොඳ කෙනෙක් විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. මම පවුලේ එකම දරුවා. මගේ අම්මා තාත්තා ඉන්නෙ මම ළඟ. මගේ පුංචිත් ඉන්නෙ මාත් එක්ක. එයා මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. එයා දන්නවා ළමයි කොහොමද හැන්ඩ්ල් කරන්නේ කියලා. මේ හැමෝම මට හරියට උදවු කරනවා . ඒ නිසා කොහෙන්වත් චෝදනා එන්නෙ නැහැ. ජීවිතේ බැලන්ස් කරගෙන ජීවත් වෙනවා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division