Home » මගේ ජීවිතේ හමුවුණු හොඳම කෙනා එයා

මගේ ජීවිතේ හමුවුණු හොඳම කෙනා එයා

by thanushika
December 2, 2023 12:32 am 0 comment

මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය වී තිබෙන්නේ Hit Fm නාළිකාවේ Sweety Tweetyගෙ චාට් ෂෝ එක හරහාය. Hit Fm ගුවන්විදුලි නාළිකාව අපට ඇසෙන්නේ විශ්ව ලංකාගේ සීසර්ලා ටෙලි නිර්මාණයේය. ඉන්දික ධර්මතිලකගේ මැස්සා ටෙලි නිර්මාණයේ කතාබහට ලක් වන සුවිශේෂී රංගනයක යෙදුණු ඇය සීසර්ලා ටෙලි නිර්මාණයේ ප්‍රේක්ෂක සිත් සිනහවෙන් කුල්මත් කරන සැහැල්ලු විනෝදකාමී ගුවන්විදුලි නිවේදිකාවකි. සැබැවින්ම Fm නාළිකාවක නිවේදිකාවක් දැයි සිතෙන තරමටම ප්‍රේක්ෂකයන් තුළ කුතුහලයක් ඇති කරමින් චාට් ෂෝ එක මෙහෙය වන Sweety Tweety හෙවත් සජානා සමඟයි මේ කතාබහ.

ඇත්තටම පූජනී කියන්නෙ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක්ද?

ප්‍රේක්ෂකයො විතරක් නෙවෙයි මේ දවස්වල ක්ෂේත්‍රයේ ඉන්න සමහර අයත් මගෙන් අහන ප්‍රශ්නයක් ඕක. අපේ එඩිටර් මීට කලින් මාව දැනගෙන හිටියෙ නෑ. එයත් විශ්ව අයියගෙන් අහල තිබුණා ඇත්තටම මං Fm එකක වැඩ කරන කෙනෙක්ද කියලා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක හරිම සතුටුයි. Hit Fm එකේ Sweety Tweety මෙහෙය වන චාට් ෂෝ එකත් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. මට ඒ අවස්ථාව ලැබෙන්නෙ විශ්ව අයියගේ ආරාධනයෙන්. මං විශ්ව අයියට ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලවත් නොදැන මේ අභියෝගය භාර දුන්නට. අධ්‍යක්ෂවරයා විදිහට ඔහු උත්සාහ කළේ හැම ශිල්පියකුගෙම මෙතෙක් නොදැකපු පැත්තක් එළියට ගන්න. මාත් මේ වගේ එකක් කරපු පළමු අවස්ථාව මේක. රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට කතා කරන විදිහ, චාට් ෂෝ එක හසුරුවන විදිහ, වොයිස් එක චේන්ජ් වෙන විදිහ, හුරතල් වෙන විදිහ, මෝඩ කතා කියමින් හයියෙන් හිනහවෙන විදිහ මේ හැම දෙයක් එක්කම මේ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා.

Sweety Tweety ට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?

විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාර. අපට හිතාගන්න බෑ ඔයා ඒක මරුවට කරනවා කියල කියනවා. හරි කරච්චලයක් කියන අයත් ඉන්නවා. ඒ ඉතින් පිටපතට අනුව කරන්න වෙන දේනෙ. එෆ්.එම්. නාළිකාවල සාමාන්‍යයෙන් බොරුවට හිනාවෙනවා, හයියෙන් හිනාවෙනවා, හුරතල් වෙනවා, කටහඬ වෙනස් කරල කතා කරනවා. මෝඩ කතා කියනවා. ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්න ඒ වගේ දේවල් නැතුවත් බෑනෙ. ගොඩක් අය හිතන් ඉන්නෙ මේක ඩබ් කරල කියලා. ජනප්‍රිය රේඩියෝ ප්‍රසන්ටර්ස්ලගෙ නම් කියල අහනව එයා නේද මේ වොයිස් කරල තියෙන්නෙ කියලා. සාමාන්‍යයෙන් රේඩියෝ චැනල් එකකදි හඬ විතරයිනෙ එන්නෙ. මේකෙ මගේ රූපෙත් පේන නිසා තමයි එහෙම අදහස් පළ වෙන්නෙ.

එක දිගටම කතා කරගෙන යද්දි පැටලෙන්නෙ නැද්ද?

මේකෙ ඩයලොග් ගොඩක් දිගයි. මං කොහොමත් ප්‍රසිද්ධයි ගොඩක් වේගෙන් කතා කරන්නයි, කච කච ගාන්නයි. මගේ ස්පීඩ් එකත් එක්ක මට එක දිගට කියල ඉවර කරන්න පුළුවන්. ඩයලොග් එකින් එක කඩ කඩ කියනවට වඩා මට ලේසියි පිටපතේ තියෙන ඩයලොග් දෙතුන් පාරක් හොඳින් කියවල ඔළුවට දාගෙන එතනට ගිහින් හිනාවෙලා කියන ගමන් අතර මැද්දෙන් තව ඒව එකතු කරගෙන කරන එක. මැදින් නවත්තල ආයෙ පටන් ගත්තොත් ඒ රිදම් එක කැඩෙනවා. විශ්ව අයිය වගේම ස්ක්‍රිප්ට් රයිටර් බුද්ධික සේමසිංහ අයියත් ලොකු සහායක් දෙනවා. ඒ දෙන්නගෙ ගැළපීම නිසා හිතුවටත් වඩා හොඳ නිර්මාණයක් එළියට දාන්න පුළුවන් වුණා. බුද්ධික අයියටත් ස්තුති කරන්න ඕන අපේ කැරැක්ටර් හරි ලස්සනට අලුත් විදිහට ගොඩනඟල දෙනවට. විශ්ව අයියත් නිදහසේ අපේ චරිතය කරගෙන යන්න ඉඩ දීල අපේ ඇඟේ තියෙන දක්ෂතා එළියට ගන්න කරන උත්සාහය ගොඩක් වටිනවා. මං නිවේදන කටයුතු කරල තිබුණ නිසා වගේම ඉස්සර ඉඳන්ම ගෙදරදි අහන දකින දේ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට කියන්න පුරුදුවෙලා හිටිය නිසා මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසෙ මට තිබුණා.

පූජනී නිතර දකින්න ලැබෙන චරිතයකුත් නෙවෙයි නේද?

මැස්සා නිර්මාණයෙන් පස්සෙ මම පොඩි බ්රේක් එකක් ගත්තා. කොහොමත් මං වැඩ පස්සෙ එළවන්නෙ නෑ. ගෙදර වැඩත් බැලන්ස් කරගෙන නිවාඩුවේ හොඳ නිර්මාණයක් ලැබුණොත් කරන කෙනෙක්. එක ගොඩේ වැඩ ගොඩක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි.

සුනීර සුමංග එක්ක ඔබ රංගනයෙන් දායක වෙන මියුසික් වීඩියෝවක් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙලා?

ඔව්. ඒක හරි ලස්සන ගීතයක්. හිතට වදින ලස්සන වචන ටිකක් එක්ක සුනීරගෙ හඬින් ගැයෙන ඕඩියෝ එක ලැබුණම මට ඒකට ආස හිතුණා. රංගනයට ආරාධනාව ලැබුණේ අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායකගෙන්. සුනීර අයියත් හරි නිහතමානී කෙනෙක්. මුල් දවසෙම කිවුවෙ නංගි මං මීට කලින් රඟපාල නම් නෑ කියලා. ඒත් ඒක ලොකු අවුලක් වුණේ නෑ. අපි දෙන්න කතා කරගෙන ඒක හොඳින් කළා. එයාගෙ ආධුනික බවක් පෙනුණෙත් නෑ. මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ගයාන් – පූජනී විවාහය ලබන අවුරුද්දෙ වෙනව කියලා ඉඟි පළ වෙලා තියෙනවා. ඒ ගැනත් කියමු නේද?

තාත්තයි පුතයි කොන්සට් එක තමයි අපේ ලොකුම ඉලක්කය වෙලා තිබුණේ. ඒත් ඒක මේ පාර කරන්න වුණේ තාත්ත නැතුව නුවන් ගුණවර්ධන අනුස්මරණ ප්‍රසංගයක් විදිහට. එදා තමයි අපි තේරුම් ගත්තෙ නුවන් ගුණවර්ධන කියන ගායකයට මිනිස්සු කොතරම් ආදරේද කියලා. ඒක ගොඩක් සාර්ථකව නිම වුණා. තාත්තා නැති වෙලා දෙසැම්බර්වලට අවුරුද්දයි. ඒ වැඩ කටයුතුත් ඉවර වෙලා, ගයාන් අයියගෙ විදෙස් සංචාර කීපයකුත් තියෙනවා ඒවත් ඉවර කරලා ලබන අවුරුද්දෙ විවාහ වෙන්න තමයි බලාපොරොත්තුව. දින වකවානු තාම කතා කරල නෑ. ගයාන් කියන්නෙ ඩ්‍රීම්ස් ෆලෝ කරන කෙනෙක්. මොන ප්‍රශ්න ආවත් එයා එයාගෙ ඉලක්කයන්ට යන්න උත්සාහ කරන කෙනෙක්. මගේ ජීවිතේ හමුවුණු හොඳම කෙනෙක්. එයාගෙ ඩ්‍රීම්ස්වලට යද්දි අපිවත් ඇදගෙන යන්නයි නිතරම එයා උත්සාහ කරන්නෙ. ඒ වගේ හිත හොඳ ආදරණීය කෙනෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. මට පුළුවන් උපරිමයෙන් මං එයාට උදවු කරනවා. මගේ ජීවිතේ මං ගත්ත හොඳම තීරණය තමයි එයා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division