Home » මැලේසියාව හරහා යුරෝපයට අපේ ළමයි විකුණන ජාවාරමේ මුල මැද අග

මැලේසියාව හරහා යුරෝපයට අපේ ළමයි විකුණන ජාවාරමේ මුල මැද අග

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සකස් කර ගන්නා මලයාසියානු විදෙස් ගමන් බලපත්‍ර යොදා ගනිමින් ශ්‍රී ලාංකීය දරුවන් යුරෝපයට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු මුලින්ම හෙළි කර ගනු ලබන්නේ මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවය. ඒ පසුගිය අප්‍රේල් 12 වැනිදාය.

කාලයක් තිස්සේ රහසිගතව සිදු වූ මෙම ජාවාරම හෙළි වන්නේ ශ්‍රී ලාංකීය දරුවෙක් යුරෝපයට අලෙවි කිරීමට සූදානම් වූ මලයාසියානු ජාතික අඹු සැමි යුවළක් මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟිනි.

එම අත්අඩංගුවට ගැනීමට මඟ පෑදෙන්නේ ක්වාලාම්පූර් අගනුවර පිහිටි මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි එම අඹු සැමි යුවළ සිය දරුවාට විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට යාමේදී ඉදිරිපත් කළ අයදුම්පත සම්බන්ධයෙන් ඇති වුණු සැකයක් මත කෙරුණු විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

බාලවයස්කරුවකුට විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමේදී එම දරුවා සමඟ මවුපියන් හෝ නීත්‍යනුකූල භාරකරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය. ඒ දරුවාගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප ගැනීමට දරුවා සජීවී ලෙස පෙනී සිටිය යුතු වන බැවිනි.

එම යුවළ තමාගේ දරුවා ලෙස සඳහන් කරමින් රැගෙන ආ එම දරුවා සැබෑ ලෙසම ඔවුන්ගේ දරුවකු නොවීය. ඔහු ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව ඉපදී හැදී වැඩුණු දරුවෙකි. මෙම යුවළ එම දරුවා තමාගේ දරුවෙක් ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත එන්නේ යුරෝපයට දරුවන් අලෙවි කිරීමේ ජාවාරමේ එක් පියවරක් ලෙසිනි. ඒ වන විටත් හොර රහසේ සිදු වූ මෙම ජාවාරම අනාවරණය වන්නේ දරුවාට විදෙස් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පතේ තිබුණු කිසියම් අඩුපාඩුවක් නිසාය. එය සම්පූර්ණ කිරීමට ආගමන විගමන නිලධාරීන් තොරතුරු විමසන්නේ දරුවාගෙනි.

එහිදී දරුවා මලයාසියාවේ භාවිත කෙ‍ෙරන භාෂාවන් කිසිවක් හැසිරවීමට හැකියාවක් නොවීය. ඔහු හසුරුවන්නට වූයේ දෙමළ භාෂාවය. මවුපියන් මලයාසියානු භාෂාව උච්චාරණය කිරීමටත් දරුවා එම භාෂාව නොදැන සිටීමත් ගැන ආගමන විගමන නිලධාරින්ට ඇති වන්නේ දැඩි සැකයකි. එහිදී මවුපිය යුවළගේ හැසිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරන ආගමන විගමන බලධාරීන් දරුවා සිය භාරයට ගෙන අඹු සැමි යුවළ අත්අඩංගුවට ගනු ලබන්නේ මලයාසියාව කේන්ද්‍ර කරගෙන සිදුවන මහා මිනිස් ජාවාරමක තොරතුරු හෙළි කර ගනිමිනි.

මලයාසියානු ආගමන විගමන නිලධාරීන් මෙන්ම මලයාසියානු පොලිසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වන්නේ එම දරුවා ශ්‍රී ලාංකේය දරුවෙක් බවය. එම දරුවා අවුරුදු 12ක් වයසැතිය. එම දරුවාගේ මව ලෙස පෙනී සිටි කත 26 හැවිරිදිය. පියා ලෙස පෙනී සිටි පුද්ගලයා 37 හැවිරිදිය. මෙම ශ්‍රී ලාංකීය දරුවා තමන්ගේ දරුවෙක් ලෙස ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට සූදානම් වන්නේ ඔවුන්ට ඒ සඳහා ලොකු මුදලක් ලැබෙන්නට වූ බැවිනි. මේ යුවළ මලයාසියාවේ සිටින අඩු ආදායම් ලාභීන්ය. ඒ අය මෙම විදෙස් ගමන් බලපත්‍රය සකස් කර දෙන්නට යන්නේ තමන්ගේ දරුවකුගේ උප්පැන්න සහතිකය ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කරමිනි.

මෙසේ මලයාසියාවේ අඩු ආදායම්ලාභී දරුවන් සිටින පවුල්වල තොරතුරු මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් රැස් කරගෙන සිටින බව මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව පවා හෙළි කර ගන්නේ මේත් සමඟිනි. මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දැටුර් රුස්ලින් ජුසෝ පවසන්නේ ‘Bahnu Internationals’ නමින් පවත්වා ගෙන යන ආයතනයක් මගින් මලයාසියානු දරුවන්ගේ දත්ත ගබඩාවක් පවත්වාගෙන යමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවය. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ තොරතුරු මෙම ආයතනය මඟින් රැස්කර එම තොරතුරු මඟින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සිදුව ඇති බව ද එම විමර්ශනයේදී හෙළිවී ඇත. එක් දරුවෙක් වෙනුවෙන් මෙසේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර මලයාසියාවේ සිට යුරෝපීය රටවලට පිටත් කිරීම වෙනුවෙන් මෙම ජාවාරමට සම්බන්ධ වූවන් අය කරන මුදල සඳහන් වන්නේ යුරෝ 30,000ත් 50,000ත් අතර මුදලක් බවය. එය ශ්‍රී ලංකා රුපියල් කෝටියකට වැඩිය.

මෙසේ කොපමණ දරුවන් පිරිසක් යුරෝපයට රැගෙන ගොස් ඇතැයි ද පැහැදිලිව මෙතෙක් හෙළිවී නැතත් මෙය කාලයත් තිස්සේ රහසිගතව සිදුවන ජාවාරමක් බව මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ එරට පොලිසිය දැනටමත් අනාවරණය කරගෙන හමාරය.

ශ්‍රී ලාංකේය දරුවන් මෙසේ මලයාසියාව කේන්ද්‍ර කරගෙන යුරෝපීය රටවලට අලෙවි කිරීමේ මෙම ජාවාරම ගැන මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වන්නේ මලයාසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මලයාසියානු අඹු සැමි යුවළ අත්අඩංගුවට ගැනීමට අදාළව එරට මාධ්‍යවල පළවී තිබුණු වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍ය මඟින් පළ කළ පුවත් කෙරෙහි අවධානය යොමු කරමිනි. එසේම ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්යාලයෙන් ලද ඊමේල් පණිවුඩයක් කෙරෙහි ද මෙහිදී මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන් අවධානය යොමු කරමින් මෙම මිනිස් ජාවාරම ගැන දේශීය විමර්ශනයක් ආරම්භ කරනු ලබන්නේ අප්‍රේල් මස අගදීය.

මෙහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයකට යොමු වන්නේ මෑත කාලයේදී මෙරටින් පිටරට ගිය දරුවන් සම්බන්ධයෙනි. ඒ ගැන විශ්ලේෂණයක් සිදු කරනු ලබන්නේ සිය දත්ත පද්ධතියේ ඇති තොරතුරු යොදා ගනිමිනි. එහිදී පෙනී යන්නේ අවුරුදු 05ත් 17ත් අතර වයස් සීමාවේ සිටින දරුවන් 17 දෙනෙක් මලයාසියාවට ගොස් නැවත පැමිණ නැති බවය. ඒ අය මලයාසියාවට ගොස් ඇත්තේ ශ්‍රී ලාංකේය විදෙස් ගමන් බලපත්‍රවලින් බව ද ආගමන විගමන නිලධාරීන්ට මෙහිදී පෙනී ගියේය. මෙසේ නැවත පැමිණ නොමැති දරුවන් සෑම අයෙක්ම උතුරු හා නැඟෙනහිර පළාත්වල පදිංචි දෙමළ දරුවන් වීම විශේෂිතය.

මෙහිදී අනාවරණය වන සුවිශේෂී කරුණක් වන්නේ මේ හැම දරුවෙක්ම පාහේ රැගෙන මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ එකම පුද්ගලයෙක් වන බැවිනි. එම පුද්ගලයා දෙහිවල,අර්තුසා පෙදෙස පදිංචිකරුවෙකි. නමින් ඔහු සරත්චන්දිරන් රෙන්ගසාමි නැමැති අයෙකි. දරුවන්ව බොහෝ දෙනෙකුව ඔහු මෙරටින් රැගෙන ගොස් ඇත්තේ එම දරුවන්ගේ මව සමඟිනි. ඇතැම් දරුවන්ව ඔහු තනියම රැගෙන ගොස් ඇති බවද මෙහිදී නිරීක්ෂණයට ලක්ව ඇත්තේය. මෙම දරුවන්වන්ගෙන් වැඩි දෙනෙක් මලයාසියාවට රැගෙන යන්නේ ඉන්දියාව හරහාය. මලසියාවට රැගෙන ගිය පසු සිදුවන්නේ එම දරුවන්ගේ ශ්‍රී ලාංකේය විදෙස් ගමන් බලපත්‍රය ජාවාරම්කරුවන් ඔවුන් අතට ගෙන ඒ වෙනුවට එම දරුවන් මලයාසියානු ජාතිකයන් බවට අඟවා එරට විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දීමය.

මෙම විශ්ලේෂණයේදී මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මෙම දරුවන්ව මලයාසියාවට රැගෙන ගිය මවුවරුන් නැවත මෙරටට පැමිණ ඇති බවය. මෙහිදී හෙළි වන තවත් සුවිශේෂි කරුණක් වන්නේ මෙම දරුවන් මෙරටින් පිටව යන අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තු පිටුවීමේ පර්යන්තයේදී පිරවීම සඳහා ලබාදෙන පත්‍රිකා සියල්ලන්ගේම ඇත්තේ එක් අයකුගේ අත් අකුරු බවය. ඒ අනුව පැහැදිලිවී ඇත්තේ මෙම දරුවන් 17 දෙනාම මලයාසියාව බලා රැගෙන ගොස් ඇත්තේ එකම පුද්ගලයකු බවය.

මේ හැම දෙයක් ගැනම තොරතුරු රැස් කර ගැනීමෙන් අනතුරුව මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ආගමන විගමන පාලක ජනරාල් අයි.එස්.ජේ. ඉළුක්පිටිය මහතා තීරණයකරන්නට ඇත්තේ මෙහි ඇති බරපතළ තත්ත්වය ගැන සලකා බලා විය හැකිය. ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපි ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා වෙත යොමු වන්නේ සැප්තැම්බර් 05 වැනිදාය. ඒ එතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන හා විශ්ලේෂණවලින් සොයාගත් තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමටය. එම ගොනුව සම්බන්ධයෙන් විමර්ශන භාර කෙරෙනුයේ වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඇති විශේෂ ඒකකයකටය. එම ඒකකයේ නිලධාරීන් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් යොමු කර තිබුණු ගොනුව දීර්ඝ ලෙස අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් මුල්ම ප්‍රකාශය සටහන් කර ගන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරියකුගෙනි. ඒ මෙම ජාවාරම ගැන බොහෝ තොරතුරු රැස් කරගෙන තිබුණේ එම නිලධාරියාගේ මෙහෙයවීම මත වූ බැවිනි. එම නිලධාරියා බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට එහිදී ලබා දුන්නේය. එම තොරතුරු ද පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයේදී පෙනී යන්නට වූයේ වයස අවුරුදු 18ට අඩු දරුවන් 20,000ක් පමණ මේ කාලය තුළ රටින් බැහැර ගොස් ඇති බවය. ඒ අය අතරින් මලයාසියාවට ගොස් ඇති දරුවන් ප්‍රමාණය 150ක් පමණ වන බව ද සඳහන්ය.

මලයාසියාවට ගිය ඒ අය අතරින් මෙරටට නැවත පැමිණ නැති බවට අනාවරණය වන දරුවන් සියලු දෙනාම පාහේ උතුරු – නැඟෙනහිර පළාත්වල අයය. මලයාසියාවට මෙරට නීත්‍යනුකූල විදෙස් ගමන් බලපත්‍රවලින් රැගෙන ගිය ඒ අයව මලයාසියාවේදී ව්‍යාජ තොරතුරු මඟින් සකස්කරන විදෙස් ගමන් බලපත්‍ර මඟින් රැගෙන යන්නේ ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවලට බව ද මේ බවන විට පෙනී ගොස් හමාරය. මෙම ජාවාරමට සම්බන්ධ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගත් දෙහිවල පදිංචි පුද්ගලයා අතරමැදි ජාවාරම්කරුවෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි. ඔහුව කොටුකර ගැනීමෙන් මෙම ජාවාරමේ සැඟවුණු තොරතුරු හෙළි කර ගැනීමට පහසුවෙන් හැකියාව ඇතත් එය මෙතෙක් ප්‍රමාදවී ඇත්තේ එම පුද්ගලයා උන්හිටිතැන්වලින් අතුරුදන්ව සිටින බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය විමර්ශන ශක්තිය වැඩි වශයෙන් යොදා ඇත්තේ මෙම ජාවාරමේ සැඟවුණු රහස් හෙළි කර ගැනීමට හැකි කොනක් මතු කර ගැනීමටය. ඊට මඟක් මේ වන විට පෑදී ඇත්තේ යුරෝපයට රැගෙන යාමේ අපේක්ෂාවෙන් මලයාසියාවට ගිය දරුවන් දෙදෙනෙක් නැවත මෙරටට පැමිණ ඇති බව හෙළිවී ඇති බැවිනි. එම දරුවන් යුරෝපයට රැගෙන යාමට සඳහා මලයාසියාවට මෙරටින් රැගෙන ගිය අය බව තහවුරු වන්නේ ඒ අය මෙරටින් රැගෙන යන විට ඔවුන් ගුවන් තොටුපොළේදී පුරවන ලද පෝරමයේ ඇති අත් අකුරු හා මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයාගේ බව අනුමාන කෙරෙන අත් අකුරු අතර ඇති සමාන කමක් හේතුවෙනි. මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිට මලයාසියාව මඟින් මෙරටට එවූ දරුවෙක් ද ඒ අතර සිටින බව සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විශ්වාස කරනු ලබන්නේ එම දරුවන් හඳුනා ගෙන ඒ අය මඟින් මෙම ජාවාරමේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇති බවය. ඒ සඳහා මලයාසියාවේදී සහය ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සිටින්නේ සූදානමකිනි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division