Home » අවුරුදු හතළිස් දෙකක් හුදෙකලාවේ දුක් විඳ පිලිපීනයේදී මිය ගිය ලංකාවේ මාලි

අවුරුදු හතළිස් දෙකක් හුදෙකලාවේ දුක් විඳ පිලිපීනයේදී මිය ගිය ලංකාවේ මාලි

මාලි හඳුන්වන්නේ ලොව දුක්බරම අලියා ලෙසින්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

– ලංකාවෙන් යද්දි අවුරුදු 3යි, අවුරුදු 42ක්ම ජීවත් වුණේ කොන්ක්‍රීට් අංගණයක
– ජීවිත කාලය පුරාම සහකරුවෙක් හෝ මිතුරියක්
– නොමැති පාළුවවෙන් හා කාන්සියෙන් පෙළුණු ඇතින්නක්

දැවැන්තයකුට කළ නොහැක්කේ මොනවාද? එහෙත් ප්‍රමාණයෙන් දැවැන්තයන් වුව ද ලංකාවේ හස්තියන්ගේ ඉරණම නම් එතරම් සුබවාදී නැති බවට නිදසුන් ඕනෑතරම් ඇත. නිමාවක් නැති අලි මිනිස් ගැටුම හේතුවෙන් අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගන්නා සද්දන්තයන්ගේ ගණන ඉහළ යෑම ඊට ආසන්නතම නිදසුනයි. සද්දන්තයන් ගැන දිනෙන් දින වාර්තා වන අනුවේදනීය සිදුවීම් අතරට ඉකුත් නොවැම්බර් 28 වැනිදා තවත් සිදුවීමක් එකතු විය. ඒ, වසර ගණනාවක් පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයේ හුදෙකලාවේ ජීවත් වූ මාලි නම් ශ්‍රී ලාංකික ඇතින්න ජීවිතයෙන් සමුගත් බවයි.

සැබැවින්ම මාලි මිය ගියේ එදා නොව මීට වසර ගණනාවකට පෙර බව සුවහසක් සත්ත්ව හිතකාමීන්ගේ අදහසයි. වසර හතළිස් දෙකක පමණ කාලයක් සත්වෝද්‍යානයේ කුඩා කුටියක් තුළ සිරගත දිවියක් ගත කළ මාලිගේ ඉරණම බොහෝ දුක්බර එකක් බව ඔවුන් අනාවරණය කළේ අද ඊයේ නොවේ. වසර ගණනාවක සිටය. රටවල් අතර සතුන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන් හරහා විදෙස් රටවලට ත්‍යාග ලෙස ලබා දුන් බොහෝ අලි ඇතුන්ගේ ඉරණම එවැනි අවාසනාවන්ත එකක් බව ඔවුන්ගේ අදහසයි. මෙරටින් පිලිපීනය, රුමේනියාව, කැනඩාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, චීනය, ජපානය, දකුණු කොරියාව, චෙක් ජනරජය සහ ඉරානය වැනි රටවලට තෑගි කෙරුණු අලි ඇතුන් බොහොමයක් විදෙස් සත්ත්ව උද්‍යානවල සදාකාලික සිරකරුවන් බවට පත්ව ඇති අතර, පරිසර වෙනස්කම් මත ඇතිවූ කායික අපහසුතා රැසකට ද එම සතුන් ගොදුරුව සිටී. ඉකුත් දා මාලි ඇතින්න ජීවිතයෙන් සමු ගන්නේ ද දිගුකාලීනව විඳි එවැනි අපහසුතා රැසක් හේතුවෙන් ඇති වූ අසනීප තත්ත්වයක් මතය.

වසර හතළිස් දෙකකට වැඩි කාලයක් පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයේ මාලි ගෙවූ අතිශය දුක්බර ජීවිතය නිසාම ලොව පුරා සත්ත්වවේදීන් විසින් ඇය හඳුන්වනු ලැබුවේ ලොව දුක්බරම අලියා ලෙසිනි. මාලි හෙවත් විශ්වමාලි උපත ලබන්නට ඇතැයි සැලකෙන්නේ වර්ෂ 1977දී පමණය. මවු ඇතින්නගේ මරණයෙන් පසු පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වූ මාලි පිලිපීනයට යන්නේ වර්ෂ 1981දීය. ඒ, එවකට පිලිපීනයේ ජනාධිපති ආර්යා ඉමෙල්ඩා මාකෝස් වෙත ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් ත්‍යාගයක් ලෙසිනි. ඒ වන විට තෙහැවිරිදි වියේ පසුවූ මාලි 1981 මැයි මාසයේදී පිලිපීනයේ මැනිලා නගරය භාරයට පත් කෙරිණි. ඉන්පසු මාලිගේ නවාතැන වන්නේ මැනිලා නගරයේ පිහිටි එකම පොදු සත්වෝද්‍යානය වන මැනිලා සත්වෝද්‍යානය සහ උද්භිද උද්‍යානයයි. එය වර්ෂ 1959 ජුලි 25 වැනිදා පිහිට­ුවනු ලැබූවකි. 1981 වසරේ සිට මියෙන තෙක්ම පිලිපීනයේ ජීවත් වූ මාලි සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගතකර ඇත්තේ කොන්ක්‍රීට් අංගණයක් තුළය.

අලි ඇතුන් පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් සහිත විශේෂඥයකු මෙන්ම ලොව පුරා සත්වෝද්‍යාන, අභය භූමි සහ සර්කස් කණ්ඩායම් සතු සද්දන්තයන් සියයකට වැඩි ප්‍ර‍මාණයක් පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇති වෛද්‍ය හෙන්රි රිචඩ්සන් මීට වසර ගණනාවකට පෙර මාලි ඇතින්න පිළිබඳ සිදු කළ බාහිර පරීක්ෂා කිරීම්වලින් පසු අනාවරණය කර තිබුණේ මාලි ශාරීරිකව ඉතාමත් දුර්වල තත්ත්වයක සිටින බවයි. දිගු කාලයක් සීමිත ඉඩක රැඳී සිටීමෙන් සහ පාදවලට නිසි ව්‍යායාම නොමැති වීමෙන් පාද දුර්වල වී ඇති බවත් දීර්ඝ කාලයක් තනිව වාසය කිරීම නිසා ඇගේ මානසික මට්ටම ද ඉතාමත් නරක ලෙස පිරිහී ඇති බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කර තිබිණ. වෛද්‍ය හෙන්රි රිචඩ්සන්ගේ අලි ඇතුන් පිළිබඳ අත්දැකීම්වලට අනුව ගැහැනු සතුන් කිසිම දිනෙක සිය රැළ හැර නොයන අතර මියයන තුරුම සිය නෑදෑයන් සමඟ ජීවත් වීමට ප්‍රිය කරති. එහෙත් සිය ජීවිත කාලයම සහකරුවකු හෝ මිතුරියක නොමැතිව තනිවම ජීවත් වන්නට සිදුවීමෙන් මාලි ගේ මානසික තත්ත්වය පවා අයහපත් වූවා විය හැකිය. සාමාන්‍යයෙන් අලින්ගේ දෛනික ක්‍රියාකාරකම් වන ඇවිදීම, කඳු නැඟීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක් වසර 35කටත් වැඩි කාලයක් තුළ මාලි විසින් සිදුකර නොතිබිණ. මෙකී කරුණු හෙළිදරව් වීමෙන් පසු සත්ත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන PETA ( The People for the Ethical Treatment of Animals ) ජාත්‍යන්තර සංවිධානය වර්ෂ 2012 සිට මාලිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කළ අතර, මාලිගේ අනුවේදනීය කතා පුවත ලොව පුරා ප්‍ර‍චාරය කිරීමටත් කටයුතු කළහ. ඒ වන විටත් මාලිට සිය පාද පොළොව මත සමබරව තැබීමට හැකියාවක් නැති බවත් බැක්ටීරියා ආසාදන නිසා ඒ තත්ත්වය ඇති වී ඇති බවත් එම තත්ත්වය හේතුවෙන්ඇය ඉතා වේදනාවෙන් පසුවන බවත් අනාවරණය විය. නිවැරැදි රෝග විනිශ්චයක් කිරීමටට විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් ඇයගේ පාද පිළිබඳ පරීක්ෂා කළ යුතු බව සත්ත්වේදීන් ප්‍රකාශ කර තිබුණ ද එවැනි පරීක්ෂාවක් සිදු නොවීම හේතුවෙන් ඇයගේ මරණය පවා සිදු විය හැකි බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ.

PETA සංවිධානයේ ආසියානු කටයුතු සංවිධානය මැනිලා සත්වෝද්‍යානයෙන් මාලිට ලැබෙන දුර්වල වෛද්‍ය පහසුකම් හේතුවෙන් ඇය ඉතා ඉක්මනින් අභය භූමියකට නිදහස් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේද 2012 වසරේදීය. වසර 35 ක්‌ තිස්‌සේ කැලෑවක්‌ නොදැක කොන්ක්‍රීට් අංගණයක සිටගෙන සිටීමෙන් පාදවල ආබාධ සහිතව දැඩි කායික මානසික පීඩාවකින් ජීවත් වන මාලි අභය භූමියකට යවන ලෙස පිලිපීනයේ සත්ව අවිහිංසාවාදීහු ද එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. පිලිපීනයේ අභයභූමි නැති බැවින් තායිලන්තයේ ඇති අභයභූමියකට ඇය යවන ලෙස ද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටියහ. එහෙත් ඒ කිසිදු ඉල්ලීමක් ඵල දැරුවේ නැත. මෙරට සත්ත්වවේදීන් ද මාලි ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ හඬ නැඟූවද ඉකුත් නොවැම්බර් 28 වැනිදා පස්වරුවේ මාලි සිය ජීවිත ගමන නිමා කළේ බොහෝ අවාසනාවන්ත අයුරිනි.

“ආණ්ඩු විවිධ හේතු මත විදේශ රටවලට අලි ඇතුන් පරිත්‍යාග කරනවා. නමුත් ඒ ඒ රටවල දේශගුණික තත්ත්වය, එම සත්වෝද්‍යානවල එම සතුන්ගේ මූලික සෞඛ්‍ය තත්ත්වයවත් පවත්වාගෙන යා හැකි තත්ත්වයක් තිබෙනවා ද කියා විශ්ලේෂණයක් නොකර දෙන්නන්වාලේ සතුන් පරිත්‍යාග කිරීමේ විපාක ගැන අපිට අවුරුසු 50ක් පමණ පැරණි ඉතිහාසයක් තිබෙනවා. විශාල ශරීරයක් හිමි මෙවැනි සතෙකුගේ ජීවන චර්යාව විමසීමේදී මෙය ඉතාමත් අනුවේදනීය තත්ත්වයක්. සාමාන්‍යෙයන් වනගත අලියෙක් සිය ආහාර සොයා ගනිමින් දිනකට කිලෝමීටර් 20 – 25 ත් අතර දුරක් ගමන් කරනවා. ඒ ව්‍යයාමය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතා වැදගත්. අලියෙක් කියන්නෙ කන්න දීලා එක තැනක ගාල් කර තබාගත හැකි සතෙක් නෙවෙයි. සතෙකුටත් මානසික සෞඛ්‍යයක් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. එම නිසා කුමන හේතුවක් මත හෝ අපේ රටෙන් පිටරටවලට අලි ඇතුන් හෝ වෙනත් සතුන් පරිත්‍යා කරනවා නම් එසේ යවන රටේ දේශගුණය, රඳවා තබන ස්ථානයේ ඇති සෞඛ්‍ය පහසුකම් සතාට ප්‍රමාණවත්ද? මෙවැනි හදිසි තත්ත්වයකදී ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇති සැලසුම කුමක්ද? යන කරුණු ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.” ඒ, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක සුරංජන් කොඩිතුවක්කුගේ අදහසයි.

එවැනි සැලසුමක් නොමැති වීම හේතුවෙන් ඉතා ශක්තිමත් සහ බුද්ධිමත් මෙන්ම සංවේදී, තම සහචරයන් සමඟ නිතර ගැවසීමට ප්‍රිය කරන අලි ඇතුන් බොහෝ දෙනකු රටවල අතර පවතින පරිත්‍යාග කිරීම් සහ හුවමාරු වැඩසටහන් යටතේ විවිධ රටවල දුක්බර ජීවිත ගත කරති. ඊට හේතුව එම සතුන්ට විදෙස් රටවල පවතින අධික ශීතල සහ උෂ්ණාධික පරිසර තත්ත්වයන්ට අනුගත වීමට නොහැකි වීමයි. ඒ අතර ශ්‍රී ලංකාවෙන් විවිධ රටවලට තෑගි කළ අලි ඇතුන් කිහිප දෙනකුම වේ.

වර්ෂ 1989දී කුවේට් රාජ්‍යයේ සත්වෝද්‍යානයකට ලංකාවෙන් ලබා දුන් අලියකු වසර 30ක්‌ පමණ ඉතා කුඩා සිර මැදිරියක ජීවත් වෙමින් සිටියදී තම හිස සිර මැදිරියේ බිත්තියේ ගසා ගෙන සිය දිවි හානි කරගත් බවත් ආර්මේනියාවට ලබා දුන් අලියකු තම සිර මැදිරිය බිඳ ගෙන පිටතට පැමිණි අවස්ථාවේ යුද්ධ ටැංකියක් යොදාගෙන එම සත්ත්වයා වෙඩි තබා ඝාතනය කළ බවත් වාර්තා විය. පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වූ ‘මේරි’ හා ‘රංග’ ජපානයේ ටොකුෂිමා සත්වෝද්‍යානයට ගෙන ගොස් තිබියදී වසර 2008 දී රංග හස්තියා හදිසියේම මිය ගියේය. වසර 1990දී ලංකාවෙන් යවනු ලැබූ ‘සහේලි’ නම් ඇතින්න පාකිස්තානයේ දේශගුණික තත්ත්වය හේතුවෙන් 2012 වසරේදී මිය ගියාය. රුමේනියාවේ Targu-Mures සත්වෝද්‍යානයේ දිවි ගෙවන ‘ටානියා’ හස්තියාගේ සහ එංගලන්තයේ සත්වෝද්‍යානයක දිවි ගෙවන ‘ඈන්’ හස්තියාගේ තත්ත්වය ද සුබදායක නොවන බව ද මෙරට සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන්ගේ හෙළි කළේ මෑත කාලයේදීය. වොෂින්ටන් ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයට මෙරටින් ලබා දුන් ඇතින්නක වන ශාන්ති ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව කලකට පෙර හඳුනා ගැනුණු අතර, ශාන්තිගේ ශාරීරික තත්ත්වය ආපසු හැරවිය නොහැකි ලෙස පිරිහී ඇති බව පැවසූ එම සත්වෝද්‍යාන පාලනාධිකාරිය 2020 වසරේ ජූනි 26 වැනිදා ඇය වේදනාවකින් තොරව මරණයට පත්කළහ. මීට වසර 35කට පමණ පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර, මර්ගාසාර් සත්ත්ව උද්‍යානයේ මහත් පීඩාවන් මැද හුදකලාවේ රඳවනු ලැබ සිටි ලොව පුරා සත්ත්ව ලෝලීන්ගේ අවධානයට යොමු වූ ‘කාවන්’ නම් ඇතා, කාම්බෝජයේ සත්ව අභයභූමියක් වෙත ගෙන යෑමට එරට අධිකරණයෙන් අවසර ලැබීම සුවිශේෂී වන්නේ මෙවැනි පසුබිමක් යටතේය.

මෙරට වන සත්ත්ව හා වාක්ෂලතා ආඥා පනතේ අනුව හීලෑ අලි ඇතුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළද මෙසේ විවිධ හේතු මත විදෙස් රටවලට යවනු ලබන අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව සහ රැකවරණය සම්බන්ධයෙන් වග කියන්නේ කුමන පාර්ශ්වයන්ද යන්න ගැටලුවකි. මේ පිළිබඳ කළ විමසුමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ සතුන් පිටරට යැවීම සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බවත් තම දෙපාර්තමේන්තුව සිදු කරන්නේ විධිමත් ආකාරයට සතකු පිටරට යවනවා නම් අදාළ සම්මුති යටතේ ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීම පමණක් බවය. පරිසරවේදී පුබුදු වීරරත්න ද ඒ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පළ කළේය.

“පිටරටවලට අපේ රටේ අලි ඇතුන් නොයවා ඉන්න පුළුවන් නම් එසේ නොයැවීම හෝ යැවීම සීමා කිරීම වඩා සුදුසුයි. නමුත් රාජ්‍ය තාන්ත්‍රික හේතුවක් මත වෙනත් රටකට අපේ අලි ඇතුන් යවනවා නම් එසේ යැවිය යුත්තේ ඒ යවන රටේ සත්වෝද්‍යානය ඒ සතාට ජීවත් වීමට සුදුසු ද කියලා ඉතා හොඳින් විමර්ශනය කිරීමෙන් පසුවයි. විශේෂයෙන් එවැනි සත්ත්වෝද්‍යාන ලෝක සත්වෝද්‍යාන සංගමයේ ලියාපදිංචි වූවක්ද? නිසි ප්‍රමිතියක්, තත්ත්වයක් සහිතව පවත්වාගෙන යනවා ද යන්න පිළිබඳ මෙරටින් සතුන් යැවීමට පෙර හොඳින් සොයා බැලිය යුතුයි.”

දශක හතරකට වැඩි කාලයක් මැනිලා සත්වෝද්‍යානයේ ජීවත් වූ එකම අලියා වන මාලිගේ මරණයෙන් පසු ශ්‍රී ලංකා රජයෙන් නව අලියකු ඉල්ලීමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලිපියක් යොමු කිරීමට කටයුතු කරන බවත් මැනිලා නගරාධිපති හනී ලකුනා මාධ්‍ය හමුවකදී පැවසූ බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ. තමා කුඩා වියේ සිට ආශාවෙන් මාලි නැරඹූ බවත් මාලිගේ මරණය තමාට දැඩි කම්පාවක් බවත් පවසමින් ඇය එම මාධ්‍ය හමුවේදී සංවේදී වූ බවත් වාර්තා විය. මාලිගේ දේහය සංරක්ෂණය කිරීමට නගර රජය සැලසුම් කර ඇති අතර, එය පසුව කෞතුකාගාරයක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මාලි එසේ සදාකාලිකව ජීවමාන කරන්නට පිලිපීනය කටයුතු කළ ද මාලි අවසන් ගමන් ගියේ ලොව දුක්බරම අලියා ලෙස බව ලොව පුරා සත්ත්ව අවිහිංසාවාදීන්ට නම් කිසිදාක අමතක නොවනු ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division