Home » යුරෝපයටත් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් හදන ලංකාවේ වැඩකරුවෝ

යුරෝපයටත් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් හදන ලංකාවේ වැඩකරුවෝ

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

විදුලි වේගයෙන් යනවා යැයි කියමනක් තිබේ. ඒ කියන්නේ අධික වේගයෙන් යාමටය. සමහරු මෙයට හැටට හැටේ යනවා යැයි ද කියනු ලැබේ. පසුගියදාක BMICH හි පැවති කර්මාන්ත ප්‍රදර්ශනයේදී අපට බොහෝ දේශීය නිෂ්පාදිත විදුලියෙන් ක්‍රියාකරන වාහන දැකගත හැකි විය. මේ අතර විදුලි යතුරුපැදි අතර එක් සන්නාමයක් සහිත මෝටර් සයිකලයෙන් විවිධ වැඩදාන බව අපට පෙනී ගිය කරුණකි. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ විදුලියෙන් ආරෝපිත බැටරියකින් ධාවනය වන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් තේරෙන භාෂාවෙන් කිවහොත් ස්ටන්ට් කළ නොහැකි බවය. එහෙත් BMICH කර්මාන්ත ප්‍රදර්ශනයේ අප දුටු ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් (ස්ටන්ට් කර) තනි රෝදයෙන් ගමන් කොට පෙන්වීම අදහාගත නොහැකි කටයුත්තක් විය. මෙම විදුලි මෝටර් සයිකල් නිපදවා තිබුණේ කේ. ඩී. රයිස් ඉලෙක්ට්‍රිකල් මෝටර්ස් පුද්ගලික සමාගමයි. එහි සභාපති ධම්මික පෙරේරාය.

2021දි මේ ව්‍යාපාරය පටන්ගන්න කොට රටේ උග්‍ර විදේශ විනිමය හිඟයක් තිබුණා. මම මීගමුවේ උපන්නේ. මම යුරෝපයේ විදත් යතුරුපැදි නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. මං ඉතාලියේ පදිංචි වෙලා ඉන්නේ. ලංකාවේ ඉලෙක්ට්‍රික් බයික් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම දැවැන්ත මුදලක් ආයෝජනය කළේ උපන් රටට කළ හැකි සේවයක් ලෙසයි.”

ධම්මික කියන්නේ Made in Sri Lanka ඉලෙක්ට්‍රික් යතුරුපැදි දේශීය වෙළෙඳපොළට මෙන්ම විදේශ වෙළෙඳපොළට අපනයනය කොට අතිවිශාල විදේශ විනිමයක් මෙරටට රැගෙන ආ හැකි බවය. ධම්මික කියන කරුණු අනුව අපට පෙනී ගියේ යුරෝපයේ ඊ – බයික් වෙළෙඳපොළ ජයගත් ඔහුට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ඉතා කුඩා එකක් බවය. ධම්මික ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි පමණක් නොවේ. ඔහු UTILITY ඊ පාපැදියක් ද නිපදවනු ලබයි. එහි විශේෂත්වය එම ඊ පාපැදිය හකුළා බස් රථයක වුවත් ගෙන යා හැකි වීමය. ලංකාවේ නිෂ්පාදිත මේ ඊ පාපැදිය මුළුමනින්ම අපනයනය කරන්නේ ඉතාලිය, ජර්මනිය රුමේනියාව, ස්පාඤ්ඤය ප්‍රධාන වූ යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කොටගෙනය.

“මේ වෙනකොට මුළු යුරෝපයම electric vehicle සංකල්පයට යමින් සිටිනවා. දැන් ලෝකේ පෙට්‍රල් මාෆියාව ප්‍රතික්ෂේප කරමිනුයි ඉන්නේ. යුරෝපයේ බොහෝ රටවල් 2030 වෙනකොට පෙට්‍රල් භාවිතයෙන් ඉවත් වෙන්න තීරණය කරලා. ලංකාවේ ජනතාවට මේ විදත් වාහන ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන්න ඕන. මම මේ ලංකාවේ පළවෙනි ‘ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්‘ ෆැක්ටරියට දැවැන්ත මුදලක් ආයෝජනය කළා. ඒත් හිතේ කොනක ලොකු දුකක් තියෙනවා රට වෙනුවෙන් කරපු ආයෝජනයට නිසි ඇගැයීමක් නොලැබීම ගැන. අපි ආණ්ඩුවෙන් කිසියම්ම මූල්‍ය ආධාරයක් ඉල්ලන්නේ නෑ. අපිට ඕන මේ ඊ බයික් සංකල්පය දියුණු කරන්න නීතිමය වශයෙන් රාජ්‍ය අනුග්‍රහය විතරයි.” ධම්මික කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් වසර 5ක් තුළ 70%කට වඩා දේශීයව මෝටර් සයිකල් කොටස් නිපදවිය හැකි බවය.

ධම්මික පෙරේරා පවසන පරිදි දැනට ලංකාවේ තමන්ගේ කේ. ඩී. රයිස් ඉලෙක්ට්‍රික් මෝටර් ආයතනය ඇතුළු ආයතන ගණනාවක්ම දේශීයව යතුරුපැදි නිෂ්පාදනය ආරම්භ කොට ඇත. දැනට 25% දක්වා ඇති දේශීය අංගය එකතු කිරීම නොහොත් දේශීය අමතර කොටස් නිෂ්පාදනය එක්කිරීමේ ප්‍රතිශතය වසර 5ක් තුළ 70%ක අධික ප්‍රමාණයක ඉලක්කයක් කරා ගෙන යෑමට රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන්නේ නම් මෙරට මුළුමනින්ම යතුරුපැදි නිපදවිය හැකි බව ධම්මික පෙරේරා පවසා සිටී. එය ජනපති රනිල් වික්‍රමසිංහ විසින් විදුලි ද්වි රෝද සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ජනාධිපතිවරයා ලෙස යෝජනා කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාව ප්‍රායෝගිකව මල්පල ගැන්වීමක් බව ද ධම්මික පෙරේරා වැඩිදුරටත් පැවසීය.

මෙම කේ.ඩී. රයිස් ආයතනය නිපදවා ඇති ලීඩර් ඊ ස්කූටය මෙරට වාහන ඉතිහාසය තුළ සුවිශේෂ වාහනයකි. එය ලංකාවේ KA චැසි අංකයක් සහිතව ලංකාවේ ලියාපදිංචි කළ ප්‍රථම ඉලෙක්ට්‍රික් ස්කූටරය බව කර්මාන්ත අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තහවුරු කොට හමාරය.

ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ඇති ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ එහි බැටරියටය. බොහෝවිට සිදුවන්නේ කිසියම් ආයතනයක් ඉලෙක්ට්‍රික් වාහන හෝ ඊ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ගෙන්වා තොගය විකුණා අවසන් වූ විට අතුරුදහන් වීමය. අන්තිමට ඉලෙක්ට්‍රික් වාහන හෝ මෝටර් සයිකල් මිලදී ගත් පාරිභෝගිකයන් ආරෝපිත බැටරි සොයමින් මාස ගණනක් ඒවා ගෙන්වූ ආයතනයට සාප කරන අතර හති වැටුණ විට කියන්නේ ‘මෙලෝ යකෙක්ට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න නම් එපා’ කියාය.

“අපි මේ ඉලෙක්ට්‍රික් බයික් ලංකාවේ ඉහළම ප්‍රමිතියෙන් හදනවා වගේම බැටරිය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒක ඉලෙක්ට්‍රික් බයික් එකක හදවත වගේ. අපි භාවිත කරන්නේ ලිතියම් අයන් පොස්ෆේට් බැටරි. ඒක සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරියක් නෙමෙයි. අපි යොදාගන්න බැටරියේ ආයු කාලය වැඩියි. ආයු කාලය ඉවර වුණාම ඒ බැටරි ප්‍රතිචක්‍රීකරණය කරන එකත් අපේ ප්‍රධාන වගකීමක් වශයෙන් අප සලකනවා.”

“ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහනවලට ජපානය වගේ රටවල් බැටරි නිකුත් නොකරන්න හේතුවක් නේද ඒවා නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ලංකාවේ නැතිකම?” යි මම ධම්මිකගෙන් අසා සිටියෙමි.

“ඒක තමයි මං කිවුවේ මේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වල අයින් කරපු බැටරි ප්‍රතිචක්‍රීකරණය ගැන විධිමත් වැඩපිළිවෙළක් අපේ ආයතනය ක්‍රියාත්මක කරනවා කියලා” ධම්මික පැවසීය.

දේශීයව නිපදවන මෙම ඉලෙක්ට්‍රික් බයිසිකල් නිෂ්පාදනයට ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර ISO 9001 2015 ප්‍රමිති සහතිකය මෙන්ම CE සහතිකය ලබාගැනීමට ද කටයුතු යොදා ඇත. ධම්මික තම ඉදිරි ඉලක්ක ගැන සඳහන් කළේ ලෝකය පුරා හමායන EV concept නොහොත් Electric Vehicle සංකල්පය අනුව තමන්ගේ ඊළඟ අරමුණ ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් බවය. පසුගියදා කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමකදී ඉලෙක්ට්‍රික් කාර් සඳහා මෙවැනි කැබිනට් තීන්දුවක් ප්‍රකාශයට පත්විය. “දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති – ආයෝජනය සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන” සහ “ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණු සේවා සමාගම් 100 වැඩසටහන” යන වැඩසටහන් යටතේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස පහත දැක්වෙන සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යාපෘතිවලට, රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 30,000 නොඉක්ම වූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහන රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශ­‍ෙයන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

“දැන් මෙහෙම කියන්නේ මේ ආනයනය කරන්න යන ඉලෙක්ට්‍රික් වාහනය ලංකාවේ හදන්න බැරිද?”

“රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා නම් ඔය ඉලෙක්ට්‍රික් වාහනය ලංකාවේ හදන්න පුළුවන්. කොහොමටත් අපි දැනටමත් යුරෝපයට විදුලි වාහනයක් නිෂ්පාදනය කරන කටයුතු ඉතාලියේ සැලසුම් කරල තියෙන්නේ. ලංකාවේ හැදුවොත් ඔය ඉලෙක්ට්‍රික් වාහනය ඩොලර් 25,000ට අඩුවෙන් හදාගන්න පුළුවන්.”

ධම්මික පවසන්නේ තමන්ට ඇති ප්‍රධාන තර්ජනය වන්නේ අංග සම්පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ආනයනය බවය. ධම්මික පවසන්නේ රජය විසින් කළ යුත්තේ මේ දේශීය යතුරුපැදි නිෂ්පාදනයට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය වෙනුවෙන් අය කරන බදු රාජ්‍ය මැදිහත්වීමකින් අවම කළ යුතු බවය. ධම්මික පවසන්නේ තමන්ට මාසිකව ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් දහසකට වඩා සැපයීමට තම කර්මාන්තශාලාවට ප්‍රමාණවත් ධාරිතාවක් ඇති බවය. කම්ප්ලිට් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ගෙඩිය පිටින් ‘ඉම්පෝට්’ කරන්නට ඉඩදීම දැනටමත් දේශීයව මෝටර් සයිකල් නිෂ්පාදනයේ නියැළෙන ආයතනවලට ‘මරු පහරක්’ බව ධම්මිකගේ මතයයි. ඔහුගේ ඊළඟ ව්‍යාපෘතිය වී ඇත්තේ මේ ඉලෙක්ට්‍රික් රථ සඳහා අවශ්‍ය Graphene Battery නිෂ්පාදනයට අත ගැසීමය. ලංකාවේ තමයි ලෝකයේ හොඳම ග්‍රැෆයිට් තියෙන්නේ. ඒකෙන් මුළු ලෝකයටම බැටරි හදලා ලංකාවේ ඔක්කොම ඩොලර් ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.

දැන් දේශීය යතුරුපැදි එකලස් කිරීමේ ආයතනවලට එල්ල වී ඇති ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ‘රෙඩිමේඩ් ආනයනික ඉලෙක්ට්‍රික් ස්කූටර්‘ සඳහා වන බද්ද ඉතා අවම ප්‍රතිශතයක පැවතීමයි. දේශීය යතුරුපැදි නිෂ්පාදකයන් දැන් බොහෝ කොටස් ලංකාවේම නිෂ්පාදනය කරන්නේ දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දෙමිනි. ඔවුන් ආනයනය කරන්නේ අත්‍යවශ්‍ය අමතර කොටස් කිහිපයක් පමණි. අර්බුදය වී ඇත්තේ මේ අමතර කොටස්වලට අය කරන ආනයන බද්ද ඉතා ඉහළ අගයක පැවතීමය. එහෙත් ආනයනික රෙඩිමේඩ් මෝටර් සයිකල් සඳහා අයකරන තීරු බද්ද ඉතා අවම මට්ටමක තිබීම දේශීය මෝටර් සයිකල් කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල කොට තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ රෙඩිමේඩ් ආයනයනික මෝටර් සයිකලයක අලෙවි මිලට වඩා දේශීයව එකලස් කළ මෝටර් සයිකලයක මිල අබිබවා යාමය.

එහෙත් මේ රෙඩිමේඩ් ආනයනික ඉලෙක්ට්‍රික් යතුරුපැදි සඳහා කිසිදු තත්ත්ව පරීක්ෂණයක් ලංකාවේ සිදු නොවන අතර බැටරිය සඳහා ද වගකීමක් නැත. මේ සම්පූර්ණයෙන් ආනයනය කළ මෝටර් සයිකල් ආනයන කරන ආයතන ටික කලකින් වසා දැමෙන බැවින් මේවා මිලදී ගත් පාරිභෝගිකයන් වැටෙන්නේ කබලෙන් ළිපටය. එහෙත් මේ දේශීය එකලස් යතුරුපැදි සඳහා වගකීම් කාලයක් තිබේ. ඒවායේ අමතර කොටස් ඕනෑ තරම් තිබේ.

බොහෝ දෙනා අහන්නේ මේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි සඳහා මූල්‍ය පහසුකම් නොහොත් ෆිනෑන්ස් පහසුකම් ලබා දීමට මැළිකමක් දක්වන බවය.

ෆිනෑන්ස් කොම්පැනියක් ඇහුවා මේ ඉලෙක්ට්‍රික් බයික්වලට වාරික ගෙව්වේ නැත්නම් අයකර ගන්නේ කොහොමද කියලා. මං කිවුවේ බැටරිය සහිතව සම්පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටරය සහිතව මම බයික් එකේ සම්පූර්ණ ගාන දෙන්නම් කියලා. මේ කේ.ඩී. රයිස් දේශීය ඉලෙක්ට්‍රික් බයික් කර්මාන්තශාලාව නිසා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 300කට වඩා බිහිවී ඇත. ධම්මික පවසන්නේ තමන්ගේ ජීවිතයේ වැඩිපුරම කාලයක් ජීවත් වූයේ යුරෝපීය රටක බවය.

“දියුණු රටවල ආණ්ඩු නීති රෙගුලාසි හදන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා වෙන විදිහට. බයික් එකක ප්‍රධාන දේ තමයි ෆ්‍රේම් එක. මේ ෆ්‍රේම් එක මුළුමනින්ම ලංකාවේ අපි හදනවා. ලංකාවේ චැසි අංක නිරේඛනය කරන මැෂිම තියෙන්නේ අපි ගාව. පිටරටවලින් මේ ෆ්‍රේම් එක ආනයනය කළොත් ඇන්ටි ඩම්පින් ඩියුටි (Anti Dumping Duty) තීරු බද්දක් අය කරනවා. එතකොට ඔබ හිතන්න රටේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂිත ද? අනාරක්ෂිත ද? කියලා. ආණ්ඩුවට කියන්නේ අපිට ණය එපා, ආධාර එපා!! මේ දේශීය කර්මාන්තය රැක ගන්න අංගසම්පූර්ණ ඉලෙක්ට්‍රික් බයික්වල ආනයන බද්ද වැඩි කරන්න, දේශීය බයික් කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමතර කොටස්වල ආනයන බදු අඩු කරන්න කියල විතරයි.

ලංකාවේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ප්‍රචලිත කරන්නට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ආනයනය කළ යතුරුපැදි ඒජන්තවරුන් ඒවා අලෙවියෙන් පසු රෙපයාර් කටයුතු සඳහා සේවා ස්ථාන පවත්වා ගෙන නොයාම සහ අමතර කොටස් අලෙවියට නොමැති වීමය.

අවසානයේ අප මේ කේ.ඩී. රයිස් නම් වූ ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදන ආයතනයට අයත් කර්මාන්තශාලාවට පිවිසුනෙමු.එහි යනතුරුත් අප සිතා සිටියේ මේ මෝටර් සයිකල් චීනෙන් අමතර කොටස් රැගෙන විත් එකලස් කරන බවය. අතිවිශාල සේවක පිරිසක් සේවය කරන මෙම කර්මාන්තශාලාවේ මෝටර් සයිකලයක මූලිකම අත්‍යවශ්‍ය අංගය වන ෆ්‍රේම් එක නිපදවනු ලැබුවේ අප බලා සිටිත්දීය. මේ ඉලෙක්ට්‍රික් බයික්වල බොහෝ කොටස් නිෂ්පාදනය කෙරෙන්නේ එම කර්මාන්ත ශාලාවේදීමය.

ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වලින් මෙරට ජනතාව පලා යන්නට ප්‍රධාන හේතුවක් වූයේ ඒවායේ අමතර කොටස් විශේෂයෙන් බැටරිය මිලදී ගැනීමට නොහැකි වීමය. එහෙත් කේ. ඩී. රයිස් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් කර්මාන්ත ශාලාවේ තම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමතර කොටස් ප්‍රමාණවත් ලෙස රාක්කවල අසුරා තිබුණේ සකසුරුවම් ලෙසය. එහි ගබඩා සහකරු සමඟ කතාබහේ යෙදෙන්නට අමතක කළේ නැත.

“මේ ස්පෙයාර් පාට්ස්, බැටරි, මෝටර් තොගය අපි 2025 අවුරුද්ද වෙනකම් ස්ටොක් කරල තියෙන්නේ. ලංකාවේ ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න බය වෙන්න ඕන නැත්තේ ඒ නිසා තමයි.”

මේ ලංකාවේ හදන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් නිමැවුම අවසාන වනතුරු වුවද ඔබට බලාසිටිය හැකිය. එහි ලංකාවේ නිෂ්පාදිත කොටස් තරුණයන් අතින් නිමවන්නේ එක පලුද්දක් නැතුව ඉතා කාර්යක්ෂම ලෙසය. මේ විදේශීය පුහුණුව ලැබූ ශ්‍රමිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සලසමින් ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ එවැනි පුහුණු ශ්‍රමිකයින් රට හැර ගොස් විදේශ රැකියාවලට යොමුවුනහොත් එය මෙරට පුහුණු කාර්මික පුහුණුව ඇති ශ්‍රම බළකායට දැඩි හානියක් කරන නිසාය.

කේ.ඩී. රයිස් මෙම කර්මාන්තශාලාවේ දැඩි ප්‍රමිති පාලනයක් යටතේ එකලස් වන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් දේශීය වෙළෙඳපළට මෙන්ම අපනයනය සඳහා පෙළගැස්වෙන්නේ එක්තරා රටාවකටය.

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා ස්කූටර් 2500ක් සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබී ඇති බව අනාවරණය වූයේ පසුගිය මාසයේදීය. එවැනි ස්කූටර් 2500ක ඇණවුමක් මෙවැනි දේශීය ව්‍යාපාරයකට යොමු කෙරෙන්නේ නම් එය මෙවැනි දේශීය කර්මාන්ත නඟාසිටුවීමට මහත් පිටිවහලක් වනු නියතය.

ලංකාවේ ප්‍රධාන වශයෙන් මෝටර් සයිකල් අමතර කොටස් ඇති වීදිය පංචිකාවත්ත ජයන්ත වීරසේකර මාවතයි. මුළු ලෝකයම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් වෙත ආගමනය වෙත්දී අප තවමත් එකී යථාර්ථය තේරුම් ගෙන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් යුගයකට පා නඟන්නේ මන්දගාමීව යැයි සිතේ.

“පෙට්‍රල් – ඩීසල් තියෙන්නේ තව ටික කාලයකටයි. එන්ජින් ඔයිල් නැති කාලෙක කොහොමද පෙට්‍රල් – ඩීසල් වාහන දුවන්නේ. පෙට්‍රල් එන්ජිමක කෑලි 280ක් තියෙනවා. ඒත් ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන්නේ කොටස් 18යි. රාජ්‍ය මැදිහත්වීමක් වුණොත් ආසියාවේ මුලින්ම ඉලෙක්ට්‍රික් බයික්වලට මාරු වුණ මුල්ම රට විදිහට අපිට ඉතිහාසගත වෙන්න පුළුවන්.” යයි ධම්මික පෙරේරා අප සමඟ පැවසුවේ අප මෙරට ප්‍රථම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් නිෂ්පාදනාගාරය සියැසින් දැකගෙන ඊට සමුදෙන අතරය.

එදා වෑල් රේඩියෝව අතැර ජනතාව ට්‍රාන්සිස්ටර් රේඩියෝව වැලඳගත්තේය. ට්‍රාන්සිස්ටර් රේඩියෝවෙන් පසු අයිසී රේඩියෝව වැලඳගත් ජනතාව දැන් රේඩියෝ අහන්නේ ජංගම දුරකතනයෙන් – අන්තර්ජාලයෙන් හෝ යූටියුබ් එකෙනි. ලංකාවට පැට්‍රොල් මෝටර් සයිකලයක් ආවේ වෑල් රේඩියෝව ආපු කාලයටත් පෙරය. ඒත් අපේ ජනතාව මුළු ලෝකයම විදුලි මෝටර් සයිකල් වෙත ආගමනය වෙත්දී ඒ කරා ගමන් කරන්නේ මන්දගාමීවය. ලංකාවේ ප්‍රථම විදුලි මෝටර් සයිකල් කර්මාන්ත ශාලාවෙන් අප එළියට ආවේ ලංකාවේ ජනතාව ද විදුලි වේගයෙන් විදුලි මෝටර් සයිකල් වැලඳ ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

වජිර ලියනගේ, ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division