Home » නිවසේ වැසිකිළිය නිවැරදි දිශාවට නැත්නම් නිවැසියන්ට අසුබයි

නිවසේ වැසිකිළිය නිවැරදි දිශාවට නැත්නම් නිවැසියන්ට අසුබයි

by thanushika
December 2, 2023 12:35 am 0 comment

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
වාස්තු විද්‍යාවේදී විදුහල්පති,
දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

මීට දශක කීපයකට පෙර නිවෙස්වල වැසිකිළිය නිවසින් පිටත ස්ථානගත කොට තිබූ අතර එම නිසා ඉන් ඇති වන අයහපත් බලපෑම් නිවැසියන්ට බල නොපෑවේය. එහෙත් වර්තමානය වන විට ඉඩම සීමා වීම, අවශ්‍යතා සංකීර්ණ වීම හා නවීකරණය වීම යන කරුණු මත වැසිකිළි පද්ධතිය නිවෙස තුළ ඉදිකරනු දක්නට ලැබේ. එමෙන්ම පෙර නිවෙස්වල තිබුණේ එක් වැසිකිළියක් පමණක් වුවද වත්මනෙහි නිවසකට වැසිකිළි දෙක තුනක් ඇත.

ඇතැම් නිවාසවල සෑම කාමරයකටම වැසිකිළිය බැගින් සාදයි. මේ තත්ත්වය මත වර්තමානයේ නිවාස සැලසුම් කිරීමේදී මේවා පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මෙහිදී ඊසාන සහ නිරිත යන විශ්ව ශක්ති සම්ප්‍රේෂණ රේඛාවන් වැටී ඇති දිශා දුර්වල නොවන ලෙස මෙම සනීපාරක්ෂක පරිශ්‍ර ඉදිකළ යුතුය.

ඊසාන, නිරිත දිශාවල වැසිකිළි ඉදි නොකළ යුතු අතර වයඹ, දකුණ, බස්නාහිර ඒ සඳහා සුදුසුය. වැසිකිළි වළවල් සහ නිවසේ අපජල වළවල්ද කිසිම විටෙක නිරිත දිශාවේ හෝ ඊසාන දිශාවේ මධ්‍ය රේඛාවට හසු වන ලෙස නොයෙදිය යුතුය. ඊශාන දිශාවේ වැසිකිළිය හෝ වැසිකිළි වළ ඉදිකිරීමෙන් නිවැසියන් නිතර රෝගාබාධවලට ලක් වේ. විශේෂයෙන් පිළිකා, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වේ. නිවසේ ධනය විනාශ වේ. දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වේ. අධ්‍යාපනයට උනන්දුව අඩු වේ. ඊසාන මෙන්ම නිරිත දිශාව වැසිකිළි වළට සුදුසු නොවේ. එමඟින් නිවසේ තැන්පත් ධනය විනාශ වේ. අඹු සැමියන් අතර මතභේද ඇති වේ. ගෘහමූලිකයාට හදිසි අනතුරු ඇති වේ.

උතුරු දිශාවේ වැසිකිළිය හෝ වැසිකිළි වළ පවතී නම් නිවසේ ආදායම් මාර්ග අවහිර වේ. රැකියා බාධා මතු වේ. උසස් වීම් ආදිය අහිමි වේ. නැඟෙනහිර දිශාවේ වැසිකිළිය හෝ වළ පැවැතීමෙන් ගෘහ මූලිකයාගේ හා දරුවන්ගේ සෞඛ්‍යය පිරිහේ.

වැසිකිළි වළ සෑදිය යුත්තේ ඉඩමේ ප්‍රේත පාදයට අයත් කොටසේය. එය ප්‍රධාන දොර ඉදිරිපිට, ජනෙල් මධ්‍යයට හසු වන ලෙස, මුදුන් යට ලී, බිත්ති යට ලීවලට ඍජුව වැටෙන ලෙස නොතිබිය යුතුය. එසේ පැවැතීමෙන් නිවසේ දූ දරුවන්ගේ විවාහ ප්‍රමාද වීම් සිදු වේ.

නිවසේ මුල්ගල තැබූ බිත්තියට වැසිකිළිය සම්බන්ධ නොකළ යුතු අතර නන්දා, ජයා, පූර්ණා යන සුබ පාදයන්ගේ ද වැසිකිළිය ඉදිනොකළ යුතුය. නිවසේ පිතෘෘ බිත්තියට වැසිකිළිය සම්බන්ධ කිරීමද නොකළ යුතුය. මුළුතැන්ගෙට ඇතුළු වන දොරෙන්ම වැසිකිළියට ගමන් කිරීමද, මුළුතැන්ගෙයි පෝරණුවට වැසිකිළිය සම්බන්ධ කිරීමද අසුබදායකය. එවිට නිවසට කොපමණ ධනය ලැබුණත් විනාශ වෙයි. නිවස තුළ ඇති වැසිකිළිය සැම විටම අත්තිවාරමට අඟලක් හෝ පහතින් පැවැතිය යුතු අතර එය අත්තිවාරමට උසින් තැබීම ද වාස්තු දෝෂයකි.

වැසිකිළි වළවල් සහ අපජල වළවල්ද නිවසේ මුළුවලට හසු නොවිය යුතුය. ප්‍රධාන උළුවස්ස මෙන් දෙගුණයක් දුරකින් වැසිකිළි වළ තැනිය හැකි නම් ඉතා සුබදායකය. ප්‍රධාන දොරට ඉදිරියෙන් වැසිකිළි වළ පැවතීම, වැසිකිළි බට හා අපජල බට නිවසේ බ්‍රහ්ම පාදයට හසුවන ලෙස නිවස මැදින් රැගෙන යෑම ඉතාම අසුබදායකය. නිවසේ වැසිකිළි පද්ධතිය හා සම්බන්ධ වාස්තු දෝෂ බලවත් වීම නිසා පොදුවේ නිවැසියන්ගේ සෞඛ්‍යය පිරිහීම, මූල්‍ය පිරිහීම, නිවසේ අමනුෂ්‍ය බලපෑම් ප්‍රබල වීම, මානසික ආතතිය උග්‍ර වීම, දියුණුව අඩාළ වීම ආදිය සිදු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division