Home » විෂ්ණු දේව පිහිටෙන් ඔබේ නීරෝගි බව රැක දෙන මහානුභාවසම්පන්න මන්ත්‍රය

විෂ්ණු දේව පිහිටෙන් ඔබේ නීරෝගි බව රැක දෙන මහානුභාවසම්පන්න මන්ත්‍රය

by thanushika
December 2, 2023 12:30 am 0 comment

මහනුවර මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලයේ ආචාර්ය, පාරම්පරික හෙළ වෛද්‍ය ආචාර්ය, ජ්‍යොතිර් විද්‍යා ශිරෝමණී, ශාස්ත්‍රපති,
කොට්ටාවේ සමිත හිමි

ආයුර්වේදය සහ ආධ්‍යාත්මික චිත්ත ශක්තිය දෙයාකාර වුවත් එක්ව බැඳී යන විෂයයන් දෙකකි. අපගේ සංස්කෘතිය තුළ ඉන්දියානු ආභාසයෙන් ලද දේව සංකල්පයට ද සමීප ඥාතිත්වයක් ඇති බව අප හොඳාකාරව දනිමු.

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ ද සිද්ධායුර්වේද විෂය තුළ ද දේශීය වෛද්‍ය විෂය තුළ ද බහුල වශයෙන් සහ සමානතාවකින් මෙම තේවා, ආශිර්වාද බලශක්ති ප්‍රභවය විද්‍යාමාන වෙයි. මෙහිදී විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් (ස්කන්ධ), ගණ දෙවියන් ප්‍රධාන කරගත් දේව බල මහිමය තුළින් විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන අසරණයන්ට පිහිටවීම අපගේ ඒකායන අරමුණයි. මෙය අධි චිත්ත බලයක් තමා තුළ ගොඩනඟා ගැනීමට මහඟු අවස්ථාවක් බැවින් ඔබගේ සත්‍යානුභාවයේ බලයට සම්‍යක් දෘෂ්ටික දෙවියන් ආකර්ෂණය කර ගැනීමට උපකාර කරගත හැක.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලීමට අප තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අණ වරම්, තෙද වරම් ලැබූ උපුල්වන් ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන්ගේ පිහිට බලය ඔබගේ නිදන්ගත රෝග සුවයට උපකාර කරගත හැකි ප්‍රධානම ආකාරය විශ්වාසය සහ සත්‍යානුභාවයයි. එසේනම් පින්වත් ඔබට මෙය අත්හදා බැලිය හැකිය.

ඔබ වෛද්‍යවරුන් මුණ ගැසී දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගෙන සුව නොවූ, කිසිම ප්‍රතිකාරයක් ඇඟට අල්ලන්නේ නැතිව සහ රෝගය කුමක්දැයි වෛද්‍යවරුන්ට සොයාගත නොහැකිව දුක් පීඩා විඳි කෙනෙක් යැයි සිතමු. කලක් තිස්සේ දුක් පීඩා විඳින රෝගයක් ඇත්නම් විශේෂයෙන් එය නිදන්ගත රෝගයක් නම් එය ඔබගේ කර්ම දෝෂයක් හෝ ග්‍රහ අපලයක් විය හැකිය. එනමුත් අප තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ඔබ සිටින්නේ එළැඹි සිටිය යුතු සිහියෙන් නම්, සියල්ල කර්මයෙන් සිදු නොවේ” යනුවෙනි. ප්‍රයෝග සම්පත්තියෙන් ඔබට කර්මය වෙනස් කළ හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් ලංකාවේ බුදු දහම සුරක්ෂිත කරලනු වස්, උන්වහන්සේ පිරිනිවන් පාන දිනයේ ලංකාවට පැමිණෙන විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිස ආරක්ෂා කරලීමට භාර දුන්නේ ද උපුල්වන් ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ට බව ඉතිහාස පොතපත සාක්ෂි දරයි.

එසේ නම් බලවත් කර්ම රෝගයෙන් පීඩා විඳීම ඔබගේ චිත්ත ශක්තිය සහ පිරිසිදු භාවය තුළ ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ පිහිටෙන් සුවකර ගැනීමට ප්‍රයෝග සම්පත්තිය භාවිත කිරීම මෙහිදී සිදුවේ.

පළමු පියවර ලෙස ඔබ දෑස පියාගෙන දීර්ඝ හුස්මක් ඉහළට ගැනීම සහ පහළට හෙළීම මනසින් දකිමින් මෙසේ විසිඑක් (21) වතාවක් සිදු කළ යුතුය. මෙය සිදු කළ යුත්තේ පාන්දර 4-5 අතරය. දිවා කාලයේදී නම් දහවල් 10-11 ත් අතරය. රාත්‍රි කාලයේදී නම් රාත්‍රි 9-10 ත් අතරය. මෙම කාල ත්‍රිත්වය විෂ්ණු දෙවියන්ට වෙන් වූ හෝරාවන්ය. මෙලෙස දින 29ක් ඔබ දීර්ඝ හුස්ම ගැනීම සහ පිට කිරීම මනසින් පුරුදු වන්න.

දෙවන අදියර ලෙස ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් හෝ පින්තූරයක් ගෙන එය හොඳින් පිරිසිදු කරගෙන තමා නිදන කාමරයේ හෝ නිදන ස්ථානයට ආසන්නයේ තබා එය ඉදිරිපිට පහනක් දල්වන්න. සුවඳ කූරු දල්වා නිල් මල් ප්‍රධාන පාට පහක මල් තබා පිරිසිදු පැන් වීදුරුවක් ද තබන්න. ඉන්පසු පෙර පුහුණු වූ පරිදි දෑස වසාගෙන දීර්ඝව හුස්ම ඉහළ ගැනීම සහ දීර්ඝව හුස්ම පහළ හෙළීම අවධානයෙන් සහ සිහියෙන් යුතුව එය 21 වතාවක් සිදු කළ යුතුය. පසුව තමාගේ වේදනාව ගෙන දෙන ශරීර ස්ථානයට අත තබා ශ්‍රී මහා විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ කරුණාව මා වෙත ලැබේවා! මාගේ රෝගය ඉක්මනින් සුව වේවා! යි අධිෂ්ඨාන පෙරදැරිව ප්‍රාර්ථනා කර දෑස විවර කරමින් විෂ්ණු දේව ප්‍රතිමාව ඉදිරිපස ඇති පැන් වීදුරුව අතට ගන්න. ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ගේ රූපය දෙස බලා සිටීමෙන් පහත ඇති මන්ත්‍රය 21ක් වතාවක් හෝ 108ක් මතුරන්න.

“ඕම්

අඃ ශ්‍රී පුෂ්ප සංඛ්‍යා සං

සංඛ වක්‍ර ගදා ධරං

සං පූජයාමි ද්වේශං

ශ්‍රී විෂ්ණුඃ පාතුමං සදා”

මෙසේ මැතිරූ පැන් වීදුරුව දෑතෙහි තබාගෙන මෙම පැන් මට දිව්‍ය ඖෂධයක් වේවා! මා හට පීඩා දුන් රෝගය සුව වී මා හට සහනයක් දැනේවා! යනුවෙන් සිතන්න. පසුව සියලු දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න.

ඔබ මෙය අවම වශයෙන් දින 21ක් සහ උපරිම වශයෙන් මාස 3ක් අවංක විශ්වාසයෙන් සිදු කරන්න. ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ පිහිට හා ආශිර්වාදය ඔබට නිසැකයෙන්ම ලැබෙනවා ඇත. මෙය අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division