Home » මේෂ ලග්නාධිපති කුජ භාව දොළොසේදී ජන්මියාට දෙන සුබ – අසුබ

මේෂ ලග්නාධිපති කුජ භාව දොළොසේදී ජන්මියාට දෙන සුබ – අසුබ

by thanushika
December 2, 2023 12:30 am 0 comment

ප්‍රථමයෙන්ම ලග්න දොළහෙන් පළමුවැන්න මේෂ ලග්නය ගැන විග්‍රහ කිරීමේදී මේෂයට අධිපති කුජ ග්‍රහයාගේ බලපෑම ඔබට කෙසේ ක්‍රියාත්මක වනවාදැයි දැනගැනීමට මෙම ලිපි පෙළ ආරම්භ කරමි.

සමස්තයක් වශයෙන් කුජ ග්‍රහයා ශරීරයේ ලේ ධාතුව, රත්පිත, මස්පිඬු, නහර, වකුගඩු, ලිංගේන්ද්‍රියයන්, හන්දිපත් ආදියට අධිපතීත්වය දරන අතර කුජ ග්‍රහයා එක රාශියක ගමන් කරන කාලය සාමාන්‍යයෙන් මාස එකහමාරක පමණ වුවද වක්‍රයක යෙදුණු විට මෙම කාලසීමාව මාස පහ සහ හත අතර කාලයක් ගනී.

මේෂයට කුජ පැමිණි විට හෝ උපතින්ම කුජ මේෂ රාශිගතව ඇත්නම් ලග්න හිමියාගේ ගතිගුණ වඩාත් තහවුරු කරන ස්වභාවයක් පෙන්වයි. මේෂ ලග්න හිමියන්ගේ කේන්දරවල කුජ ලග්නයේ පිහිටා ඇත්තෝ බොහෝ විට ඉතා මුරණ්ඩු ස්වභාවයක් දක්වන තමාගේ නිදහසට ගරු කරන ඕනෑම දෙයකට ඔරොත්තු දීම සේම කිසිම අයෙක් හට ලෙහෙසියෙන් හිස නොනමන අනුන්ට යටත්ව වැඩ කිරීමට අකමැති කියන දේ මුහුණටම පවසන හැඩිදැඩි ගතියක් ද ඔවුන් තුළින් ප්‍රකාශ වෙනවා ඇත.

කුජ ලග්නයේ ගමන් කරන කාලය තුළ බොහෝ විට තමා කරගෙන ආ වැඩක් හෝ බලාපොරොත්තු වූ දෙයක් අවසාන මොහොතේ කඩා වැටීම නිසා සිතට කනගාටුදායක තත්ත්වයක් ඇති වනවා ඇත. මෙම කාලය තුළදී හදිසි අනතුරු, ශරීරයේ ලේ විෂවීම් මෙන්ම ශරීර ශක්තිය හීනවීමට ද කටයුතු කාරණා සිදු වේ.

සිකුරු ලග්නයේ කුජ සමඟ සංයෝග වුවහොත් අලස, ශෘංගාරය සමඟ කලාවට ලැදි රසිකයකු බවට පත්වුවද මෙයට බුධ ග්‍රහයා එක් වුවහොත් කුඩා කාලයේදීම තමාගේ කටයුතු අවුල් වියවුල් ස්වභාවයකට පත්කර ගැනීම නිතැතින්ම සිදුවනවා ඇත. කුජ ග්‍රහයා කේන්දරයේ දෙවන කොටුවේ හෙවත් වෘෂභ රාශියේ ඇත්නම් එයට හිමි රාශිය වන සිකුරු අතර ඇති සම්බන්ධය වැදගත් වනුයේ කුජ පුරුෂ ග්‍රහයකු වීමත් සිකුරු ස්ත්‍රී ග්‍රහයකු වීමත් හේතුකොටගෙන දෙදෙනාගේ ලෞකික පැවැත්ම සම්බන්ධයෙන් සැසඳෙන බැවින් මෙහිදී අයහපතක් නැත.

කුජ ග්‍රහයා තුන්වැන්න වන මිථුනයේ ඇත්නම් එම ස්ථානය කුජ ග්‍රහයාට අයහපත් නොවන අතර කාර්මික ඥානය, සියුම් දේ ගැන වැඩ කටයුතු කිරීමේ හැකියාව, ඉංජිනේරු රසායන විද්‍යාව වැනි දෙයට යොමුවන අතර යම් දෙයක් ක්‍රියාවේ යොදවන විට අවසානය දක්වා වැඩ කිරීම මෙම පිහිටීම ඇති අයගේ ගති ලක්ෂණයකි.

කුජ ග්‍රහයා සිවුවැන්නේ ඇත්නම් මෙහි අධිපතීත්වය දරන චන්ද්‍රයාගේ පැවැත්ම අනුව කුජගේ ගතිගුණ බොහෝ දුරට වෙනස් වනු දක්නට ඇත. ඉඩකඩම් වස්තුව රැස්කර ගැනීමට යාමෙන් අන් අයගේ අවලාද අවනම්බු විඳීමට සිදුවිය හැක.

කුජ පස්වැන්නේදී ඒ හා සමානම තේජාන්විත රවි සමඟ සංයෝගව බලවත් අහංකාරකමක්, සටනට ඇති කැමැත්තක්, ඕනෑම භයානක කටයුත්තකට නොපැකිළව, එඩිතරව මුහුණදීමට සූදානම් පසුබිමක් මෙම පිහිටීමේ ඇති අතර තමන්ගේ බලය පාවිච්චි කර තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට පෙලඹෙනු ඇත. හය වැනි භාවයේදී එනම් බුධට අයත් කන්‍යා රාශියේ කුජ පිහිටීම තරමක් ලෝබ ගතියක් පෙන්වමින් තමාගේ බලය තහවුරු කරගැනීමට පාලනයෙහි දක්ෂතාවක් පෙන්නුම් කරමින් ඉඩකඩම් වස්තුව රැස්කර ගැනීමට ද තම උපන් ස්ථානයෙන් ඈත ස්ථානයක වැඩපළවල යෙදෙමින් යහමින් හරිහම්බකර ගැනීමට ද එහි වැඩපළ කරන අයගෙන් ඉතා හිතවත් ලැදිකමක් තමාට ලැබෙන අතර කල් යල් බලා සියලු දේ සිදු කළද රහස් සම්බන්ධතාවන් හටද මෙම පිහිටීම හේතුවනවා ඇත.

කුජ හත්වැන්නේ නම් තමාට ඉතා හිතවත් සහකරුවකු ලැබීමට මෙම පිහිටීම ඉවහල් වනවා ඇත. සමාජයේ උසස් ස්ථානයක් හිමිකර ගනිමින් සියලු දෙනා සමඟ සමඟිය සහයෝගය ඇතිව කටයුතු කර හවුල් ව්‍යාපාර, වෙළහෙළඳාම් මඟින් ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් තමා ගත් තීරණයන් හොඳින් කලින්කලට සොයා බලා ඉදිරියටම යමින් යුක්තිසහගතව කටයුතු කාරණා සිදුකර බලවත් සහකරුවකු හෝ සහකාරියක ලබා යහපත් ජීවිතයක් ගත කරනු දක්නට ලැබෙනු ඇත.

ඔබ කේන්දරයේ අටවැන්න හෙවත් වෘශ්චික රාශිය ද කුජ ග්‍රහයාට හිමිවන නිසා මිශ්‍රපල ඔබට ලැබෙනු ඇත. මෙහිදී කුජගේ ලෞකික සැපත අඩු වන අතර බලාපොරොත්තු නොවන ආකාරයේ දේවලට මුහුණ පෑමට ද සිදුවන නිසා ඇතිවීම මෙන්ම නැතිවීම ද මෙම පිහිටීම මත ඔබට උරුම වන දෙයක් වනු ඇත.

ඔබගේ නවවැන්න හෙවත් ධනු රාශියේ කුජ ඇත්නම් ඔබට වාසනාව මෙන්ම උසස් ගුණධර්මයන් ද උපන් තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක් ද ළඟාකර දීමට ධනුවට අධිපති ගුරු ග්‍රහයා යෝගකාරකව භාග්‍ය ස්ථානයේ සිටීම දැක්විය හැකිය. දෙමවුපිය අයට වඩා ඉහළින් තම අධ්‍යාපන තත්ත්වය නඟාසිටුවාගෙන අන් අයද යටත් කරගෙන ඉංජිනේරු වැඩ, කාර්මික වැඩ ආදිය ප්‍රගුණකර නිර්භයව බැසගත් තීන්දු තීරණ වෙනස් නොකරමින් තමාගේ වික්‍රමාන්විතභාවය ප්‍රකාශ කරන විනෝදයෙන් ප්‍රීතියෙන් කල් ගෙවයි.

කුජ උච්ච වන මකර රාශිය හෙවත් දසවැන්නේදී ඔබව යහපත් ජීවන රටාවක් කරා යොමු කරනවා ඇත. එනම් උසස් ක්‍රියාමාර්ග අනුගමනය කර තමාගේ දරදඬු ගතිය අඩුකර ගනිමින් දියුණුව සඳහා කටයුතු කාරණා සිදුකරන අතරම අන් අය යටත්කර ගනිමින් විරුද්ධවාදීන් දක්ෂ ලෙස පරාජයට පත්කර කාලය අපතේ නොයවා තමාගේ තත්ත්වය උසස්කර ගැනීමට නොහැකි වුවද එවන් තත්ත්වයක් තමාට ඇතැයි පෙන්වමින් රට ජාතිය ගැන සැලකිලිමත් බවත්, සටනට අවතීර්ණව ජය ගනිමින් ජීවිතය ගෙන යනු ඇත.

කුම්භ රාශිය හෙවත් එකොළොස්වැන්නේ කුජ පිහිටියේ නම් බොහෝ දෙනා ආශ්‍රය ඇති සමාජයට හිතවත්, තද විශ්වාසවන්ත මිතුරන් ඇසුරුකර වෙහෙස මහන්සිය නොබලා පොළොව හා ගැටෙමින් තමාගේ දියුණුව සලසා ගැනීමට වෙර දරන බොහෝ ඇසුර නිසා සමාජය ගැන අවබෝධයෙන් සිට ගෞරව ලබා උසස් විවාහයන් සිදුකර ගනිමින් බොහෝ විට දේශපාලනයේ නියැළෙමින් සමාජවාදී කටයුතු කාරණා සිදුකරන පුද්ගලයකු වනවා ඇත.

කුජ ග්‍රහයාට එතරම් හොඳ නැති මීනය හෙවත් දොළොස් වන ස්ථානයේ කුජ ඇත්නම් ඔබට එතරම් යහපත් ගුණයක් නොලැබෙනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division