Home » මහා බලගතු භද්‍රකාලි දිව්‍ය මාතා නමස්කාරය

මහා බලගතු භද්‍රකාලි දිව්‍ය මාතා නමස්කාරය

කාලි මාතාවට පුද පූජා පැවැත්වීම ඉතා පිරිසුදුව නියමාකාරයටම කළ යුතුයි

by thanushika
December 2, 2023 12:32 am 0 comment

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය
පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

මෙවර මම ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වන මෙම ශ්‍රී මහා භද්‍රකාලි දිව්‍ය මාතාව උදෙසා පවත්වන පූජා විධිය ඔබේ ජීවිතයට අපමණ ශක්තියක් වනු ඇති බව පවසනු කැමැත්තෙමි. එම පූජා වතාවත් සිදු කරන්නට බලාපොරොත්තු වන පාඨක ඔබ මුලින්ම සිහියට ගත යුතු කාරණය වනුයේ ශ්‍රී භද්‍රකාලි දිව්‍ය මාතාව බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවක දිව්‍යාංගනාවක් බවයි.

එබැවින් කාලි මාතාවට පුද පූජා කිරීම ඉතාමත් ප්‍රවේශමෙන් කළ යුත්තකි. ලේ, මස්, පුලුටු ආදිය සහ විවිධ මත්ද්‍රව්‍ය තබා කරන පුද පූජා ගැන අප අසා ඇත්තෙමු. එවැනි පූජාවන් තුළ අමනුෂ්‍ය බලවේග සහ මෙම මස්, ලේ, පුලුටු සහ මත්ද්‍රව්‍යයන්ට කැමති අමනුෂ්‍ය බලවේග ඉතා කඩිසරව ක්‍රියාත්මක වී නොසිතූ විපත් සිදු වීම වැළැක්විය නොහැකිය. දකුණු ඉන්දියානු ජනතාව ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් ‘ජගත් මාතාව‘ ලෙස හඳුන්වා ගරු කරති. එයින් අදහස් වනුයේ ඇය මුළු මහත් විශ්වයේම අම්මා යන්නයි.

නිවැරදි ලෙස පුද පූජා පැවැත්වීම තුළින් අම්මා කෙනෙක් දරුවන්ට ලබා දෙන සෙනෙහස මෙන් අපමණ ශක්තියක් උදාකර ගත හැකිය. මහා භද්‍රකාලි මෑණියන්ගෙන් පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වන ඔබ, එතුමිය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත යුත්තේ සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනය පමණි.

එතුමියට පහනක් දල්වා පුද පූජා කිරීම නිවස ඇතුළත සිදු නොකළ යුතුය. තම නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ මිදුලෙහි ඉතා පිරිසිදු තැනක මල් පැලක් (පහන් පැල) සාදා එය මත කෙසෙල් කොළයක් එළා එයට කහ වතුර ඉස සිදුකර ගන්න. රතු පැහැති මල් (රත්මල් නම් විශේෂයි) ටිකක් තබා මහා කාලි මෑණියන්ගේ දිව්‍යමය සුබ මුහුර්තය වන උදේ හෝ රාත්‍රී 8 පසුවී විනාඩි 8 සිට 8 පසුවී විනාඩි 24 දක්වා කාලය තුළ පිරිසුදු පොල්තෙල්වලට අබ තෙල් මිශ්‍ර කර ඉතා පිරිසුදුව පහන දල්වා ගන්න.

ඔබට නිතිපතා අඟහරුවාදා හෝ සිකුරාදා දින දීර්ඝ කාලයක් මෙම පහන දල්වා ගත හැකි නම් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන්ගේ ජීවමාන කරුණාව ලැබී අපමණ සෞභාග්‍යය උදාවන අතර සතුරු කරදර, භූත බලවේග බන්ධන දෝෂ දුරුවී පවුලේ අසමගිය දුරු වී ශක්තිය උදා වනු නිසැක. දීර්ඝ කාලයක් මෙම වතාවත් සිදුකර ගැනීමේදී අනාගත විපත් වැළකී ඔබ නොසිතූ ශාන්තියක් උදා වේ.

පහන දැල්වීමේදී යොදා ගන්නා පිරිසුදු පොල්තෙල්වලට අබ තෙල් මිශ්‍ර කර පහත සඳහන් ශ්‍රී මහා භද්‍රකාලි මාතා නමස්කාරයෙන් 108 වරක් මතුරා එම තෙලින් පහන දැල්විය යුතුය.

දේවාල සහ අංජනම් එළි බැලීම ආදී ශාන්තිකර්ම සිදුකරන ස්ථානවලට අපමණ ආකර්ෂණයක් මේ තුළින් ලබාගත හැකිය.

පහන තබන ස්ථානය ඉතා ප්‍රියශීලී ලෙස ඇති මහා භද්‍රකාලි මෑණියන්ගේ පින්තූරයක් හෝ පූජාවක් තබා ගැනීම ඉතා සුදුසුය.

තෙල් ජීවම් කරන ශ්‍රී මහා භද්‍රකාලි නමස්කාර දැහැන

ඕං ගුරු වරං – ගුරු පත්‍ර කාලී වරං
සූර වරං – සූර පත්‍ර කාලී වරං
අසුර වරං – අසුර පත්‍ර කාලී වරං
දේව වරං – දේව පත්‍ර කාලී වරං
නාග වරං – නාග පත්‍ර කාලී වරං
කෛලාසන වරං – කෛලාසන ගුරු ධාරණේ වරං
යන්ත්‍ර වරං – යන්ත්‍ර මන්ත්‍ර වරං
ශ්‍රී විෂ්ණු වරං – විෂ්ණු නාරායනේ වරං
ආකාශ වරං – ආකාශ සූර්යානේ වරං
චන්ද්‍ර වරං – චන්ද්‍ර පද්ම කෛලාසනේ වරං
භූම වරං – භූම ජල මහී කාන්තා ගුරු දැපනේ වරං
ඊශ්වර වරං – ඊශ්වර මහේෂ්වර වරං
ක්‍රතේශ්වර වරං – නාථෙස්වර වරං
ශ්‍රී විෂ්ණු වරං – ශ්‍රී විෂ්ණු කන්ද කුමාර වරං
සත්පත්තිනි වරං – වෙසමුණි දැඩිමුණ්ඩ වරං
නව ග්‍රහ වරං – වන ග්‍රහ නවනාථ වරං
හනුමා වරං – හනුමා පත්‍ර කාලී වරං
සරස්වතී වරං – සරස්වතී නමස්කාර වරං
බහිරව වරං – බගිරවී ශ්‍රියා දේවි වරං
ඔඩ්ඩියා වරං – ඔඩ්ඩියා ඉරලා වරං
යක්ෂයා වරං – හිමාල ජල වරං
පර්වත වරං – පර්වත වෘක්ෂ වරං
ලෝක දේව ආරාධනා නමස්කාර වර වර වර නමාමි වරං

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division