Home » දෙසැම්බරය ආරම්භයේදීම සිකුරු තුලා රාශියට ලග්න නවයකට සුබපල රැසක්

දෙසැම්බරය ආරම්භයේදීම සිකුරු තුලා රාශියට ලග්න නවයකට සුබපල රැසක්

by thanushika
December 2, 2023 12:30 am 0 comment

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල
කපිල ඉන්ද්‍රික ගුණදාස

ග්‍රහ ලොව සුරතලිය ලෙස සැලකෙන සිකුරු ග්‍රහයා දෙසැම්බරය ආරම්භයේදීම තුලා රාශියට පිවිසීමත් සමඟ මේෂ, කටක, තුලා, මකර ලග්නවලට මාලවී යෝගය උදා වූ අතර ඒ සමඟම සියලුම ලග්නවලට විෂ්ණු යෝගයද උදා වී ලග්න නවයකට සුවිශේෂී සුබපල උදා කරන බව ජ්‍යොතිෂයෙහි සඳහන්ය.

සිකුරු ග්‍රහයා දෙසැම්බර් 01 වැනිදා පෙරවරු 01.04 සිට 25 වැනිදා පස්වරු 6.45 දක්වා තුලා රාශිය තුළ ගත කරයි.

මෙම ග්‍රහ මාරුව හේතු කොටගෙන මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, කුම්භ සහ මීන ලග්න හිමියන්ට සුබපල උදා කරනු ඇත. මෙකී සමය කලාකරුවන්ට විශේෂයෙන් සුබදායකය. කාන්තාවන්ටද සුබදායක කාලයක් වන අතර විවාහ කටයුතුවලට බෙහෙවින් සුබ කාලයක් වේ. ප්‍රේම සම්බන්ධතාවලට පැවති බාධක දුරු වේ. වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වේ. පොදුවේ ගත් කල මෙම ග්‍රහ මාරුව රටටත්, ජනතාවටත් බෙහෙවින් සුබදායකය. ඉකුත් සිකුරාදා දින සිදු වූ ග්‍රහ මාරුව සමඟ ඒ ඒ ලග්න හිමියන්ගේ පලාපල මෙලෙසිනි.

මේෂ – මේෂ ලග්නයට තුලා රාශිය 7 වැන්නයි. 7 වැන්නට සිකුරු පැමිණීමෙන් මේෂ ලග්න හිමියන්ට මාලවී යෝගව උදා වේ. මේෂ ලග්න හිමියන්ට පැවති විවාහ බාධා මෙම කාලයේ දුරු වෙයි.

විශේෂයෙන් විවාහකයන්ට පවුල් ජීවිතය සතුටුදායක වේ. ස්වාමිපුරුෂයා හා බිරිය අතර අන්‍යෝන්‍ය ආදරය වර්ධනය වේ. සෙම ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය.

වෘෂභ – මෙම කාලයේදී ස්ත්‍රීන් සමඟ ඇසුරේදී ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස ඉන්ද්‍රියන් පින වීමට යාම නිසා සමාජ අපවාදයට ලක් විය හැකිය. මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතා කල්පනාකාරී විය යුතුය. අනපේක්ෂිත වියදම් ඇති වෙයි. ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර ගැටලූ මතු විය හැකි කාලයකි.

මිථුන – මිථුන ලග්න හිමියන්ට සිකුරු 5 වැන්නට පැමිණීමෙන් වාසනාවන්ත කාලයක් උදා වේ. මිල මුදල් ලාභ ලැබේ. සමාජයෙන් ප්‍රශංසා හිමි වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වර්ධනය වේ. දරුවන් නිසා සතුටු විය හැකි කාලයකි. යහපත් අය ඇසුරු කිරීමට අවස්ථාව ලැබේ. ඥාති මිත්‍ර සබඳතා වැඩිදියුණු වේ. බලාපොරොත්තුව සිටි වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදුසු කාලයකි.

කටක – ස්ත්‍රීන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබේ. ඔබගේ වැඩ වැඩකටයුතුවලට මවගේ උදවු උපකාර ලැබේ. නි‍ෙවසේ දියුණුවට, අලංකාරයට ඉඩ සැලසේ. ආහාරපානවලින් හිඟයක් නොවේ. ගොවිතැන්, වෙළෙඳාම් ආදියෙන් ලාභ ලැබේ. රැකියාවේ උසස් වීම් හිමි වේ. සමාජ පිළිගැනීම ඇති වේ. පවුලට වාසනාවන්ත කාලයකි.

සිංහ – මෙම කාලයේ ඔබගේ සහෝදර සම්බන්ධතා වර්ධනය වේ. සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට කාලය ගත කිරීමට සිදු වේ. ගමන් බිමන් අධික වේ. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට ලැබේ. නි‍ෙවසේ පැවති කරදර දුරු වේ. ලියකියවිලි කටයුතුවලින් වාසි අත් වේ. ස්ත්‍රීන්ගෙන් කරදර මෙන්ම රැකියා කටයුතුවලට බාධා ඇති විය හැකිය.

කන්‍යා – ස්ත්‍රීන්ගෙන් ලාභ ලැබෙන කාලයකි. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා තර වේ. ආදර බැඳීම් ස්ථිර වේ. මිල මුදල් ලාභ ලැබෙන කාලයකි. වෙළෙඳ ව්‍යාපාර සාර්ථක වේ. නිතර සතුටින් සිටීමට අවස්ථාව සැලැසේ. දරුවන් නිසාද සතුටු විය හැකිය. උසස් අයගෙන් ගරු සැලකිලි ලැබේ. විවාහ සැපත ද ඇති වේ. නි‍ෙවසේ වාසනාව ඇති වේ. රැකියා බාධා මෙන්ම ස්ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

තුලා – මෙම කාලය තුලා ලග්න හිමියන්ට මාලවී යෝගය උදා වී සිතට සතුට ඇති වේ. ලාභ ප්‍රයෝජන ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. ආදර සබඳතා වැඩිදියුණු වේ. සමාජ ආශ්‍රය මෙන්ම සමාජ පිළිගැනීම වැඩි වේ. විනෝද ගමන් යෑමට අවස්ථාව සැලසේ. රසවත් ආහාරපාන මෙන්ම ශරීරයට සැප පහසුව ලැබේ. ඉගෙනීමේ කටයුතු දියුණු වේ. කලා කටයුතු, විනෝද කටයුතුවල යෙදීමට අවස්ථාව සැලසේ. දරු සම්පත් හිමි වීමට පුළුවන.

වෘශ්චික – වෘශ්චික ලග්න හිමියන්ගේ සිකුරු පැමිණෙන්නේ 12 වැන්නටයි. රැකියා කටයුතුවලට බාධා යෙදිය හැක. උනන්දුව උද්‍යෝගය අඩු වෙයි. වියදම් අධික වේ. එහෙත් මුදල් ලාභ ද ලැබේ. සමාජ ආශ්‍රය නිසා දියුණුවක් ඇති වේ. නම ප්‍රසිද්ධ වේ. කෙටි ගමන් යෙදේ. නින්දා අපහාස යෙදිය හැකිය. නි‍ෙවසේ සතුටට බාධාකාරී දේවල් සිදු විය හැකිය.

ධනු – මෙම කාලය තුළ ඔබට ස්ථිර දියුණුවකට යා හැකිය. ගෙදර දොර කටයුතු වාසනාවන්ත ලෙස සිදු වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා හොඳින් පැවැත්විය හැකි වේ. ඥාතී මිත්‍රයන්ගේ උදවු උපකාර, තෑගි බෝග ලැබේ. විනෝද ගමන් යෙදේ. රැකියා, වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ඉහළ ආදායම් ලැබේ. නම ප්‍රසිද්ධ වේ. එහෙත් ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.

මකර – මකර ලග්න හිමියන්ට මෙම කාලයේ රැකියාවේ වෙනස්කම් සිදුවිය හැකිය. ඇතැම් විට ඒවා දියුණුවට ද හේතු විය හැකිය. සතුරු කරදර ඇතිවිය හැකි බැවින් වඩාත් ප්‍රවේශම් විය යුතුය. ස්ත්‍රීන් නිසාද ගැටලු ඇති විය හැකිය. මුදල් හෝ දේපළ හානියක් සිදු විය හැකිය. ආරවුල් ඇති වී සිත් තැවුල් ඇති විය හැකිය. නීති ප්‍රශ්නවලට මැදි නොවීමට වග බලා ගත යුතුය. වරින්වර යහපත් මිතුරු ඇසුර මෙන්ම වාසනාවද ඉස්මතු වේ.

කුම්භ – උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයකි. ගොවිතැන්වලින් ලාභ ලැබේ. නි‍ෙවසේ වාසනාව ඇති වේ. පරිත්‍යාගශීලි අදහස් පහළ වේ. ආදර සබඳතා වැඩිදියුණු වේ. උසස් අයගේ උදවු උපකාර ලැබේ. ස්ත්‍රී පුරුෂ සබඳතා වර්ධනය වේ. ආගමික භක්තිය වැඩි කාලයකි. සතුරු කරදර හා රෝග පීඩා කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය.

මීන – මෙම කාලයේ ඔබට පැවති කරදරයකින් නිදහස් වීමට ඉඩ ලැබේ. මුදල් ලාභ මෙන්ම ද්‍රව්‍යමය ලාභ හිමි වේ. ආදර සබඳතා වැඩි දියුණු වේ. ස්ත්‍රී පුරුෂ සබඳතා තර වේ. සමාජයේ ප්‍රසිද්ධිය හිමි වේ. අනපේක්ෂිත මුදල් ලාභ ලැබේ. ගෙදර දොර වැඩ කටයුතු දියුණු වේ. සිතට සැනසිලිදායක කාලයක් වේ. තරමක් ඉවසීමෙන් කටයුතු කරන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division