Home » ඉන්දියාවේ උමඟක දින 17ක් සිර වී සිටි කම්කරුවන් බේරාගත් විරුවන්ගේ කතාව

ඉන්දියාවේ උමඟක දින 17ක් සිර වී සිටි කම්කරුවන් බේරාගත් විරුවන්ගේ කතාව

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

න්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ ඉදි කරමින් තිබූ උමං මාර්ගයක කොටසක පස් කඩා වැටීමෙන් දින 17ක් තිස්සේ එහි සිර වී සිටි සේවකයන් 41දෙනකු පණපිටින් වැළලෙන්නට ගිය මහා ඛේදවාචකයක් අනූනවයෙන් වළක්වා ගැනීමට හැකි වී තිබේ. ඊයේ පෙරේදා ලොව පුරා කතාබහට ලක් වූ මේ විස්මයජනක මෙහෙයුම ඉන්දීය රජයේ ආපදා සහන බළකාය, පොලිසිය සහ ඉන්දීය යුද හමුදාව ඒකාබද්ධව සිදු කළ අතර, අවසානයේදී සේවකයන් පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමේ අවසන් අදියර සාර්ථකව ඉටු කරනු ලැබුවේ එරට තහනම් කරනු ලැබූ පටු කුහර අතින් කැණීම් ක්‍රමවේදය භාවිතයට ගැනීමෙනි.

ඒ සඳහා පළපුරුදු පටු කුහර කැණීම් කණ්ඩායමක් නවදිල්ලි නුවරින් ගෙන්වා ගැනීමට මෙහෙයුම් කණ්ඩායමට සිදු වී තිබිණි. ‘Rat hole Mining‘ නමැති පටු කුහර අතින් කැණීම් සිදු කිරීමේ ක්‍රමවේදය පාරිසරික විනාශය සහ ජීවිත අවදානම සැලකිල්ලට ගෙන තහනම් කරනු ලැබුවේ වසර 2014දීය. ඉන්දියාවේ ජාතික පාරිසරික විනිශ්චය සභාවේ නිර්දේශ මත එරට රජය විසින් තහනම් කරනු ලැබූ එම ක්‍රමවේදය අවසානයේ ජීවිත 41ක් බේරා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ උත්තර්කාසි දිස්ත්‍රික්කයේ පිහිටි ධර්සු නගරයේ දකුණු පළාතේ සිට උතුරු පළාත දක්වා කිලෝමීටර් 5කට ආසන්න දුර ප්‍රමාණයකින් සමන්විත එම උමං මාර්ගයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 200ක් ඇතුළතින් නාය යෑම සිදු වී තිබුණේ පසුගිය 12 වැනිදා පෙරවරු 5.30ට පමණය. ඔවුන්ගේ වාසනාවට ඔවුන් සිර වී ඇති උමඟ කොටසට විදුලිය සහ ජල සැපයුම තිබිණි. පිටතින් ලැබිය යුතුව තිබුණේ ආහාරපාන හා වෛද්‍ය පහසුකම් පමණි. මෙහෙයුම් කණ්ඩායම පළමුව කළේ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමය. ආහාරපාන, වෛද්‍යාධාරවලට අමතරව සේවකයන්ට ඔක්සිජන් සැපයීමට ද අවශ්‍ය වී තිබිණි. ඒ සඳහා පිටත සිට කුඩා නළ මාර්ග 3ක් සවි කරනු ලැබීය. මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවය. එදා සිට දින 17ක් පුරා බාහිර ලෝකයෙන් වසන් වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ජීවිත 41ක් අවසානයේදී නැවත හිරු එළිය දැකීමට තරම් වාසනාවන්තයෝ බවට පත් වූයේ ජීවිත අවදානම තුට්ටුවකටවත් මායිම් නොකළ පුද්ගලයන් 24 දෙනකු අඩි තුනක තරම් කුඩා විෂ්කම්භයක් සහිත කුහරයක් ඔවුන් සිටි ස්ථානය දක්වා මතු කර ගැනීම නිසාය. එය ඔවුන්ට හැර අන් කිසිදු පුද්ගලයකුට සිදු කළ නොහැකි තරම් සියුම් හා අනතුරුදායක කටයුත්තකි. ඇරත් වරකට එක් පුද්ගලයකුට පමණක් රිංගා යා හැකි සිදුරක් ඉතා පරිස්සමින් මතු කර ගැනීම කොතරම් පරිපූර්ණ වූවද නවීන තාක්ෂණයෙන් කළ නොහැකි තරම් සියුම් මෙහෙයුමකි.

දින 16ක් පුරා ලොව අතිශය දියුණු තාක්ෂණය භාවිත කරමින් උමං මාර්ගයේ සිර වූ සේවකයෝ මුදා ගැනීමට ඉන්දීය රජයේ ආපදා සහන බළකාය සියලු උත්සාහයන් ගත්හ. ජාත්‍යන්තර උමං මාර්ග විශේෂඥ ආර්නෝල්ඩ් ඩික්ස් ද උත්තර්කාන්ඩ් ප්‍රාන්තයට පැමිණියේය. ඉන්දියාවේ නොම්මර එකේ ඉංජිනේරුවෝ ද සහායට එක් වූහ. සේවකයන් සිර වී සිටියේ කිලෝමීටර් හතරහමාරක දුරක් ආවරණය කිරීමට ඉදි කරමින් තිබුණු උමං මාර්ගයේ පළමු මීටර් 260කට ඔබ්බෙනි. අදාළ තැනට ළඟා වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. වරින් වර යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු කළු ගල් හා පස් කඳු ඉවත් කිරීමේ කටයුතු යුහුසුලුව සිදු කළද, එම යන්ත්‍රසූත්‍රවල දෙදරීම් හේතුවෙන් නැවත නැවතත් කළුගල් හා පස් කඩා වැටීමේ අවදානම ඉහළ ගියේය. ඇරත් දැවැන්ත කළුගල් පර්වත කඩා ඉවත් කිරීමට ගත් උත්සාහයේදී ඇතැම් යන්ත්‍රසුත්‍ර යළි පණගැන්වීමට නොහැකි මට්ටමට අබලන් විය.

උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ මහ ඇමැති, මැති ඇමැතිවරු හා රජයේ නිලධාරින් පමණක් නොව මධ්‍යම රජයේ අගමැති කාර්යාලයේ නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර, වරින් වර රජයේ උපදෙස් ද නොඅඩුව ලැබී තිබිණි.

දිවා රාත්‍රී නොබලා මෙහෙයුම සිදු කළ අතර, නවීන විද්‍යාව තුළින් මෙහෙයුම සිදු කරද්දි සිර වී සිටි සේවකයන්ගේ ජීවිත බේරා ගැනීමට දෙවියන්ට කන්නලව් කිරීමට ද ඔවුහු කටයුතු කළහ. ඒ සඳහා උමං මාර්ග ප්‍රවේශය අසල වෙනම ස්ථානයක් වෙන් කරමින් ඔවුන් උදේ හවස පුද පූජා පවත්වමින් ජීවිත 41ක් වෙනුවෙන් යාඥා කළහ. පුද පූජා හා වන්දනාමාන ඉවරයක් නොවීය. ඒ අතරතුර මෙහෙයුම් කණ්ඩායම් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටියේය.

එහෙත් බොහෝ දුෂ්කරතා ජය ගනිමින් උමං මාර්ගයේ කළුගල් කුට්ටි මීටර් 240කින් ඔබ්බට දක්වා විද ගැනීමට හැකිවූවද, ඉන් ඔබ්බට යෑමට නම් වෙනත් ආරක්ෂාකාරී සහ සියුම් ක්‍රමවේදයක අවශ්‍යතාව මතු විය. අවසන් මීටර් 12ක දුර ප්‍රමාණය සේවකයන්ගේ නිදහස සහ මරණය අතර දෝලනය වූවකි. නිවැරැදි තාක්ෂණය තිබුණද, කළුගල් කුට්ටි විදීමේදී සිදු වන දෙදරීම තවත් කළුගල් කුට්ටි සහ පස් කඳු කඩා වැටීමේ අවදානම මතු කළේය. එය නිමේෂයකින් ජීවිත 41ක් මිහිදන් වීමේ අවදානමකි. අතින් පටු කුහර සෑරීමේ ක්‍රමවේදය පිහිටට පැමිණියේ එවිටය.

මේ විරුවෝ Rat hole Miners ලා ය. උමං මාර්ගයේ අවසන් මීටර් කිහිපය පාදා ගැනීමේ දුෂ්කර මෙහෙයුම ඔවුන්ට බාර විය. කණ්ඩායමේ නායකයා වකිල් හසන් ය. ඔහුගේ සහායට මුන්නා කුරේෂි ද සිටියේය. ඔවුන් සමඟ තවත් පටු කුහර අතින් කැණීමේ පළපුරුදු තරුණයන් පිරිසකි.

උත්තර්කාන්ඩ් උමං මාර්ගයේ අවාසනාවන්ත සිදුවීම ඒ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු වී තිබිණි. ලොව පුරා බොහෝ රටවල ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු වී තිබිණි. මීට පෙර එවැනි අත්දැකීම් නොලැබූ රටවල් රැසක විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ නවීන තාක්ෂණයෙන් සිදු කළ නොහැකි තරම් සියුම් මෙහෙයුමක් සාම්ප්‍රදායිකව අතින් කුහර කැණීමේ කටයුත්තකින් සාර්ථක කරගන්නේ කෙසේදැයි දැක බලා ගැනීමටය.

අතින් කුහර කැණීමේ කණ්ඩායම වැඩි දෙයක් ඉල්ලා සිටියේ නැත. ඔවුන් මෙහෙයුම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ග්‍රයින්ඩර් වැනි කුඩා උපකරණ තුනක් පමණි. අවශ්‍ය දේවල් කඩිනමින් සපයා දීමට කටයුතු කෙරිණි. අනතුරුව ඉතිරි කාලය ගත වූයේ බලා සිටිය නොහැකි තරම් නොඉවසිලිමත් පුද්ගලයන් පිරිසකගේ දෑස් දෙගිඩියාවට පත් කරමිනි. ඒ අතරතුර උමං මාර්ගය අසල අතිවිශාල ජනතාවක් එක්රැස්ව සිටියහ. ඒ අතර සිර වී සිටි සේවකයන්ගේ පවුලේ සාමාජිකයෝ ද වූහ. ඔවුන් සියලු දෙනා බලා සිටියේ උමං මාර්ගයේ සවි කරනු ලැබූ කුඩා නළය තුළින් පළමු සේවකයා පිටතට පැමිණෙන තුරුය.

කාලය ගෙවී ගියේ ඉතා මන්දගාමීවය. මෙහෙයුම් කණ්ඩායම් ඒ මේ අත ඇවිද යමින් පොරොත්තු වූයේ උමං මාර්ගයේ සිර වූ සේවකයන්ගෙන් පළමුවැන්නා පිටතට ගැනීමේ අවස්ථාව එළැඹෙනතුරුය. එය උදා වූයේ රාත්‍රී කාලයේදීය.

“මම අන්තිම කළුගල් කැබැල්ල ඉවත් කළාට පස්සේ ඔවුන්ව දැක්කා. ඒ ඇස්… සුපුරුදු ලෝකය ආපහු දකින්න නොඉවසිලිවන්තව බලා සිටියා. ඔවුන් වෙත ගිය මොහොතේ සියලු සේවකයන් මාව සිප වැලඳ ගත්තා. නොසෑහෙන්න ස්තූතිය පුද කළා.” දින 17කට පසු සේවකයන් පිරිස පළමුව දුටුවේ අතින් කුහර කැණීමේ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ මුන්නා ය.

“අපි එකතුවෙලා එකම කණ්ඩායමක් විදිහට ජීවිතය ගැන කල්පනා කළා. පළමු වතාවට අපිට ජීවත් වෙන්න ලොකු ආසාවක් ඇති වුණා. අපි යෝගා භාවනාවේ නිරත වුණා. ස්වභාවික ජල උල්පත්වලින් නෑවා. අපිව කොයි මොහොතේ හරි බේරා ගනීවි කියන විශ්වාසය ඉහළින්ම තිබුණා. ඒ නිසා මානසිකව ශක්තිමත්ව ඉන්න අපි විවිධ දේවල් කළා. අප සතුව තිබුණු ජංගම දුරකතනවලින් ලූඩෝ වගේ ක්‍රීඩාවේ නිරත වුණා. අපේ වාසනාවට අපි හිරවුණු තැනට විදුලි සැපයුම අඛණ්ඩව ලැබී තිබුණු නිසා ජංගම දුරකතන ක්‍රියාත්මකව තියාගන්න හැකිවුණා. බාහිර ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න, අපේ පවුලේ අය එක්ක කතා බහ කරන්න අවස්ථාව ලැබුණු නිසා අපේ හිත් කඩා වැටුණේ නෑ. ඒත් ජීවිත අවදානම ගැන නිතරම කල්පනා කළා. “උමං මාර්ගයෙන් පිටතට පැමිණි සේවකයෝ වාර්තාකරුවන්ට එසේ කීහ.

සියලු සේවකයන් මුදා ගැනීමට ගත වූ කාලය පැය 18කට ආසන්නය. අවසානයේදී සේවකයන් වරෙකට එකා බැගින් පිටතට ගැනීමට තවත් පැය 6කට වඩා ගත විය. එක් සේවකයකු පිටතට ගැනීමට මිනිත්තු 5ක තරම් කාලයක් ගත වූ බව ද සඳහන් වේ.

අවසානයේ නවීන තාක්ෂණය පරාජය කරමින් සාම්ප්‍රදායික ක්‍රමවේදය ජයගත්තේය. උමං මාර්ගයේ සිර වූ සේවකයන් පිටතට ගනු ලැබුවේ එසේ මතු කරගත් කුහරයේ අඩි 3ක විෂ්කම්භයකින් යුතු නළයක් සවි කර එතුළින් යවනු ලැබූ එම රෝද සවිකළ ගිලන් මැස්සක ආධාරයෙනි. එම සේවකයන්ට කිසිදු අනතුරක් සිදු වී නොතිබුණද, වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ඔවුන් ගිලන් රථ මඟින් ආසන්නතම රෝහල වෙත රැගෙන ගොස් තිබිණි.

දින 16ක් පුරා ඉන්දීය රජයේ ආපදා සහන බළකාය, පොලිසිය සහ ඉන්දීය යුද හමුදාව ඒකාබද්ධව සිදු කළ එම මෙහෙයුම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි පැසසුමට ලක් වූ අතර, දීර්ඝ කාලයක් උමං මාර්ගයේ සිර වී සිටිය ද ඉන් පිටතට පැමිණෙනතුරු දැඩි ආත්ම විශ්වාසයෙන් හා ඉවසීමෙන් බලා සිටි සේවකයන් පිරිසට ද අගමැතිවරයා සිය ස්තුතිය පළ කළේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division