Home » දෙන්නට දෙන්න තේරුම් ගනිද්දි යාළුකම ආදරයකට පෙරළුණා

දෙන්නට දෙන්න තේරුම් ගනිද්දි යාළුකම ආදරයකට පෙරළුණා

by thanushika
November 25, 2023 12:32 am 0 comment

දෙරණ නාළිකාවේ විකාශය වන තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ ක්‍රිෂ්ටිනාගේ භූමිකාවෙන් මේ දිනවල ඔබ හමුවට එන මියැසි සංදීපනී හුරුබුහුටි රංගන ශිල්පිනියකි. හිරු නාළිකාවේ විකාශය වන දිල්ෂාන් අමරසිංහගේ සංසාරිණී ටෙලි නිර්මාණයේ තිනූ ලෙසින් ඔබ හමුවන්නේද ඇයයි. මියුසික් වීඩියෝ කලාව හරහා ක්ෂේත්‍රයට පිවිසි ඇය ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන රංගන ශිල්පිනියකි.

ජනප්‍රිය ටෙලි නිර්මාණ දෙකක් ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ඇය නිකිණි කුසුම්හි ක්‍රිෂ්ටිනා මෙන්ම සංසාරිණීහි තිනූ ද ‍ තමා කැමැතිම භූමිකා බව පැවසුවාය.

“නිකිණි කුසුම් කියන්නෙ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබන ටෙලි නිර්මාණයක්. තුෂාර තෙන්නකෝන් එක්ක මං සම්බන්ධ වුණු හතරවැනි ටෙලි නිර්මාණය. ඔහුගේම මල් පිපෙන කාලේ, රාවණා වගේ ගොඩක් ජනප්‍රිය වුණු ටෙලි නිර්මාණවලටත් මං සම්බන්ධ වුණා. ඒ නිසාම වෙන්න ඇති මේකටත් මට ආරාධනා ලැබුණා. මේක කැම්පස් යන ගැහැනු ළමයකුගේ චරිතයක්.

ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වන දිල්ෂාන් අමරසිංහගේ සංසාරිණී ටෙලි නිර්මාණයේ තිනූ කියන්නෙ ටිකක් නපුරු චරිතයක්. මේ දවස්වල අන්ත දෙකක අත්දැකීම් ලබනවා.“

ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන මියැසි සංදීපනී තමා රංගන දායකත්වය ලබාදුන් නිර්මාණ ගැන තෘප්තිමත්ව සිහිපත් කළාය.

“මං ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දහයකට ආසන්න කාලයක් වෙනවා. මේ වෙද්දි මං දායක වෙලා තියෙන නිර්මාණ ප්‍රමාණය නම් සීමිතයි. ඒකට හේතුව පෞද්ගලික හේතු මත කිහිප සැරයක් ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියා. දැනට ටෙලි නිර්මාණ 15කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ හැම චරිතයක්ම මං කළේ හරිම කැමැත්තෙන්. ක්ෂේත්‍රය තුළ වුණත් කැපිලි කෙටිලිවලට, නොයෙක් හැලහැප්පීම්වලට මුහුණ දීල ඒවා විඳ දරාගෙන නොසැලී ආපු ගමන ගැන අද මං සතුටු වෙනවා. වැටුණු තැන් නොතිබුණාම නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනෙම ක්ෂේත්‍රයක කැපිලි කෙටිලි තියෙනවා. කටකතා, කකුලෙන් ඇදිලි තියෙනවා. ඒව ගණන් ගන්නෙ නැතුව තමන්ගෙ වැඩේ කරගෙන ඉදිරියට ගියා නම් තමන්ට හොඳ ගමනක් යන්න පුළුවන් කියල මට හිතෙනවා“

මියැසි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හොඳට නරකට දෙකටම තියෙන සමාජ මාධ්‍යක් වන මුහුණු පොත හරහා වීමත් විශේෂත්වයකි. ඇය ඒ අතීතය ගැන සිහිපත් කළේ ද ස්තුතිපූර්වක හැඟීමකිනි.

“මම කලා ක්ෂේත්‍රය හඳුනගන්නෙ මියුසික් වීඩියෝ කලාව හරහා. ෆේස්බුක් එකේ මගේ පොටෝ වගයක් දැකල චමූ ශ්‍රී අයිය එයාගෙ මියුසික් වීඩියෝ එකකට මට කතා කළා. ඒ අත්දැකීම තමයි ක්ෂේත්‍රය තුළ මං ලබපු පළමු අත්දැකීම. ඊට පස්සෙ ඩිලන් ද සිල්වාගේ කොමර්ෂල්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටත් පස්සෙ තමයි ටෙලි නාට්‍යවලට අවස්ථාව ලැබෙන්නේ. මුල්ම ටෙලි නාට්‍ය අත්දැකීම වුණේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු “සමනලුන් පියාඹයි“ ටෙලි නිර්මාණය. ඒත් එක්කම හිරු නාළිකාවේ වස්සානයේ ප්‍රේමය ටෙලි නිර්මාණයත් විකාශය වුණා. වස්සානයේ ප්‍රේමය ටෙලි නාට්‍යයේ ටිකක් නපුරු විලන් චරිතයක් කළේ. ඒක ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා.

ඊට පස්සෙ දිගටම ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. සමහර අවස්ථාවල මං අවුරුදු එකහමාර දෙක ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා ඉඳලා නැවත සම්බන්ධ වුණා. ඒත් ආරාධනාවලින්වත් ප්‍රේක්ෂක ආදරයේවත් අඩුවක් වුණේ නෑ. මිහි, මල් පිපෙන කාලේ, රාවණා, ගඟන පියවර, විමංසා මේ වෙද්දි නිකිණි කුසුම්, සංසාරිණී වගේ නිර්මාණ ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.“

තුෂාර තෙන්නකෝන්ගේ රාවණා ටෙලි නිර්මාණය ඇගේ රංගන දිවියට විශේෂ අත්දැකීමක් වූ බව ද ඇය පැවසුවාය.

“රාවණා ටෙලි නිර්මාණයේ කුවේරගේ දුව මීනක්ෂිගෙ චරිතය රඟපාන්න ලැබීම මට සුවිශේෂී අවස්ථාවක් වුණා. සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යකට වඩා බාහිර ස්වරූපය වගේම කතා විලාසයත් වෙනස් කළා. ඊට කලින් මං ඒ වගේ රජ කතාවකට සම්බන්ධ වෙලා තිබුණෙ නෑ. රාවණා මට වෙනස්ම අත්දැකීමක් වුණා.“

සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන වේදිකා නිර්මාණයකට සම්බන්ධ වී ඒ අත්දැකීමත් ලබාගැනීමේ කැමැත්තෙන් පසුවන මියැසි තමා මෙතෙක් ලබාගත් සිනමා අත්දැකීම් ගැනත් කතා කළාය.

“වේදිකාවට ආරාධනා කිහිපයක්ම ලැබුණත් විවිධ හේතු නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. සජීවීව ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන ඒ අත්දැකීම විඳගන්නත් මං කැමැතියි. වේදිකාව කියන්නෙ රංගන ශිල්පියෙකුට අත්දැකීම් ලබන්න හොඳම තෝතැන්නක්. ඒ ලබන පන්නරයෙන් පුංචි තිරයට වගේම රිදී තිරයටත් ලොකු වටිනාකමක් ලැබෙනවා. මීට අවුරුදු හය හතකට කලින් චන්ද්‍රරත්නම්ගේ ‘මේ වගේ ආදරයක්‘ සිනමා සිත්තමේ උප ප්‍රධාන චරිතයකින් සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මෑත කාලීනව ක්‍රිෂාන්ත මනම්පේරිගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී දැකගන්න ලැබේවි.“

කලා ක්ෂේත්‍රයේ කටයුතුවල පහසුව නිසාම කොළඹට වී සිටින මියැසිගේ උපන් ගම මහනුවර බව පැවසූ ඇය අධ්‍යාපනය ලැබූ මහනුවර හිල්වුඩ් විද්‍යාලය ගැනත් සිහිපත් කළාය. මවුපියන් හැරුණු විට සහෝදරයෙක් සහ සහෝදරියකගෙන් යුතු පවුලේ බඩපිස්සිය ඇයයි. යොවුන් ආදරයේ පහස විඳිමින් සිටින ඇය විවාහයට පෙර යම් ස්ථාවරත්වයකට පත්විය යුතු බව ද පැවසුවාය.

“මගේ පෙම්වතාත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක්. ක්ෂේත්‍රයේ ගොඩක් අය අපි ගැන දන්නවා. එයාගෙ නම චතුරංග කොඩිතුවක්කු. අපි දෙන්න හමුවෙන්නෙත් කලා කටයුත්තකදී. ඒ දවස්වල තිබුණෙ යාළුකමක්. පස්සෙ දෙන්නට දෙන්න තේරුම් ගනිද්දි ඒ යාළුකම ආදරයකට පෙරළුණා. අපි ජීවිතේ යම් ස්ථාවරත්වයකට පත්කරගෙනම විවාහය ගැන හිතනවා. තාම හදිසියක් නෑ. කාලෙත් එක්ක ඒකත් සිද්ධ වෙයි. හදිසි තීරණ අරගෙන පසුතැවෙන්න අපි කැමැති නෑ.“

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division