Home » මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්

මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්

by thanushika
November 25, 2023 12:31 am 0 comment

විශ්ව ලංකා කියන නම අපට බොහෝ විට අහන්න, දකින්න ලැබෙන්නේ නිවේදකයෙක් හෝ රංගන ශිල්පියකු ලෙසිනි. දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වන සීසර්ලා සමඟ ඔහු මේ දිනවල වෙනස්ම මානයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ තම කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණ සිහිනය ද සැබෑකර ගනිමිනි. ටෙලි නාට්‍ය ඉතිහාසයේ වැඩිම රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වන ටෙලි සිත්තම ද සීසර්ලා බවට ක්ෂේත්‍රයේ දැන් දැන් ඉඟි පළවෙමින් තිබේ. මෙවර ඔහු අප හා එක්වන්නේ ඒ සුවිශේෂී අත්දැකීම අප හා බෙදාගැනීමේ අරමුණෙනි.

සීසර්ලා කියන්නෙ කාලීන තේමාවකට නිර්මාණය වුණු ඔබේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. කොහොමද ඔබට ඒ වගේ අදහසක් එන්නෙ?

මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සර මේක මගෙ ඔළුවට ආපු අදහසක්. මේ වගේ අත්දැකීම්වලට මාත් ඕන තරම් මුහුණ දීල තියෙනවා. ඒ අත්දැකීම් එක්ක මුලින්ම චිත්‍රපටයක් කරන්නයි අදහස තිබුණේ. ඒත් මගේ අධ්‍යක්ෂණයෙන් කියල නම් තුන් හිතකවත් තිබුණෙ නෑ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ඒ සඳහා පිටපතකුත් නිර්මාණය කළා. ඒත් ඒක කෙරුණෙ නැති නිසා අන්තිමට ටෙලි නාට්‍යක් කරන්න තීරණය කළා. සීසර්ලා සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩු හරහා තමයි මට බුද්ධික සේමසිංහ හමුවෙන්නේ. මට හරියට මගේ අදහස ඔහුට කියන්න ගළපගන්න තේරුණෙත් නෑ. ඒත් ඔහු ඒක හරිම ලස්සනට ලියල තිබුණා. සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යක් මිනිස්සු අතරට යන්න අඩුම ගානෙ මාසයක්වත් යනවා. ඒත් සීසර්ලා පළවෙනි කොටස් තුන හතර යද්දිම මිනිස්සු අතරට ගියා. සමාජ මාධ්‍යවල සෑහෙන ජනප්‍රිය වුණා. ඒකෙ මූලික කොටස්කරුවා බුද්ධික. ඒ වගේම තේමා ගීතය ඇතුළු ගීත වගේම ආකර්ෂණීය සංගීත නිර්මාණය රවී රොයිස්ටර්ගේ. ඔහු මගේ අදහස කිවුවටත් වඩා හොඳින් කරල දුන්නා.

ඔබත් දෙරණින් බිහි වුණු තරුවක්. මේ ආපු දුර ගැන කතා කළොත්?

දෙරණ රියල් ලීඩර් වැඩසටහන තමයි මගේ ආරම්භය. ඒකෙ ජයග්‍රහණය නොලැබුණත් මාව දෙරණට සම්බන්ධ කරගෙන ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට අවස්ථාව ලබාදුන්නා. ඊට පස්සෙ නිෂ්පාදනයට වගේම අධ්‍යක්ෂණයටත් යොමු වුණා. අපේ රටේ මුලින්ම ටෙලි චිත්‍රපට නිෂ්පාදනය කළේ මම. දැනට එකසිය ගාණක් කරල තියෙනවා. 15කට විතර සම්මානත් ලැබිල තියෙනවා. දැන් ටෙලි චිත්‍රපට, සම්මාන උලෙළවල වෙනම කැටගරි එකක් බවටත් පත්වෙලා. සීසර්ලා තිර පිටපතේ මුල් දෙබස් ඛණ්ඩ දෙක, තුන කියද්දිම ලක්සිරි සර් වැඩේට කැමැති වුණා. විශේෂයෙන්ම දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, වැඩසටහන් අධ්‍යෂිකා ශර්මිලා ධර්මරාසා ඇතුළු කාර්‍ය මණ්ඩලය ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මුල්ම ටෙලි අධ්‍යක්ෂණය විදිහට කොහොමද සීසර්ලාට ලැබෙන ප්‍රතිචාර?

සීසර්ලා මුල් කොටස් තුන හතර යද්දිම හිතාගන්න බැරි තරම් පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබුණා. සෝෂල් මීඩියාවල සෑහෙන ජනප්‍රිය වෙලා. ප්‍රේක්ෂකයො විතරක් නෙවෙයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයොත් කතා කරල අගය කරනවා. ඒක ලොකු සතුටක්. මෑත භාගයේ ලංකාවෙ වැඩිම රංගන ශිල්පීන් පිරිසක් යොදාගෙන කරපු නාට්‍ය මේක වෙන්න ඇති. පොඩි චරිතයකට පවා අත්දැකීම් සහිත අය යොදාගන්න මං උත්සාහ කළා. ප්‍රවීණයන්, නවකයන් විතරක් නෙවෙයි වේදිකාවෙ ශිල්පීන්ට පවා අවස්ථාවක් දුන්නා.

පූජනී වගේම විශ්ව කොඩිකාරත් ඔබ වෙනස්ම මානයකට ගෙනිහින් තියෙනවා?

පූජනීගෙ කැරැක්‍ටර් එක දැකපු ගොඩක් අය මගෙන් ඇහුවා ඇත්තටම පූජනී FM එකකද වැඩ කරන්නෙ කියලා. එයා හරිම ලස්සනට ඒ චරිතය කරනවා. ඒ වගේම විශ්ව කොඩිකාර බොහෝවිට අපි දැක්කෙ පෙම්වතා විදිහට. එක තැනකදි මං එයාගෙ පොඩි කොමඩි පැත්තක් දැක්කා. ඒ නිසා මට විශ්වාසයක් තිබුණා ඔහුට මේක හොඳින් කරන්න පුළුවන් කියලා. පොඩි අත්හදා බෑලීමක් විදිහට විශ්ව ඒ අභියෝගය භාරගත්තා. මටත් හිතාගන්න බැරි තරම් හොඳට ඔහු ඒක කළා. විශ්වත් කියනවා ඇත්තටම අයියෙ මට වෙන කිසිම එකකට මේ තරම් ප්‍රතිචාර ලැබිල නෑ කියලා.

ඔබත් මෙහි රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණයට ඒක බාධාවක් වෙයි කියල හිතුනෙ නැද්ද?

මේක මම කරන්න හිටිය චරිතයක් නෙවෙයි. චරිතයක් එක්ක අධ්‍යක්ෂණය කරන්න අමාරුයි. මං මේ කැරැක්ටර් එකට කතා කරල තිබුණෙ රංජන් අයියට. ඔහු එන්න පොරොන්දු වෙලා හිටියත් ඔහුගේ කාර්‍යබහුලත්වය නිසා ඒක ගළපගන්න බැරි වුණා. අපේ කට්ටියම තමයි කිවුවෙ ඔයා මේ වගේ චරිත කරල තියෙනවනෙ ඔයාම මේක කරන්න කියලා. ඒ නිසයි මම කළේ.

රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදිහටත් ඔබ ගොඩක් ජනප්‍රිය චරිතයක්?

මං හිතන විදිහට ලංකාවෙ වැඩිම රියැලිටි ප්‍රසංග ගණනක් නිවේදනය කරල තියෙන්නෙ මම. සාමාන්‍යයෙන් මම වැඩසටහනක් කරන්න කලින් පිටපත ගෙන්න ගෙන ඒකට පූර්ව සූදානමක් වෙනවා. ඩ්‍රීම්ස්ටාර් වැඩසටහනටත් වඩා සික්ස්ටි ප්ලස් කියන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. ඒක හරි පරිස්සමෙන් සංයමයෙන් කරන්න ඕන. කොහොමහරි ඒ අම්මල, තාත්තලගෙන් මට පුදුම ආදරයක් ලැබුණා.

ඔබට ගායන හැකියාවකුත් තියෙනව කියල සමහර අවස්ථාවලදි ඔබ ප්‍රදර්ශනය කළා?

ගායනය පිළිබඳ විශේෂ හැදෑරීමක් කරල නම් නෑ. ඉස්කෝලෙන් අවුට් වුණ කාලෙ සංගීත කණ්ඩායමක් එක්ක එකතුවෙලා නිවේදන කටයුතු කරන ගමන් ගීත ගායනයත් කළා. ඒ නිසා තාලෙට සින්දුවක් කියාගන්න බැරිකමකුත් නෑ.

කලාවේ විවිධ පැතිකඩ ඔබ මේ වෙද්දි ස්පර්ශ කරපු කෙනෙක්?

ඔව් ඒක හරි. හැම පැත්තක්ම වගේ අල්ල ගන්න උත්සාහ කළා. අත්හදා බැලීම් කළා. මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදහරි මොකක්ම හරි අධ්‍යක්ෂණය කරනවා කියලා. ටෙලි චිත්‍රපට 5ක් විතර අධ්‍යක්ෂණය කළා. චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළා. ටෙලි නාට්‍ය 35කට විතර රංගනයෙන් දායක වුණා. චිත්‍රපට 10කට විතර, වේදිකා නට්‍ය 4කට විතර රංගනයෙන් දායක වුණා. අවුරුදු 17ක් විතර මේ ක්ෂේත්‍රයේ ඉඳල තියෙනවා. ඒ කාලෙදි වැඩකරපු නිෂ්පාදකවරුන්ගෙන් අධ්‍යක්වරුන්ගෙන් හොරෙන් ගනිපු දේවල් තිබුණා. ඒ දේවලුත් එක්කයි සීසර්ලා සාර්ථක කරගත්තේ.

මේ දුර එන්න ආදරණීය බිරියගෙන් ලැබුණු සහයෝගය ගැනත් කියමු?

බිරියගෙන් ලැබෙන සහාය නම් සීයට සීයයි. එයාගෙ සහාය නොලැබුණා නම්, ඒ නිදහස මට නොදුන්න නම් අද විශ්ව කෙනෙක් මෙතන නෑ. එයාට මේ මාධ්‍ය ජීවිතේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඒ දේත් එක්කයි මං සාර්ථකව මේ ගමන යන්නෙ.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division