Home » ලියන කියන හැටි හරියටම උගැන්වූ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ පළමු කණ්ඩායමේ අභිනන්දනය

ලියන කියන හැටි හරියටම උගැන්වූ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ පළමු කණ්ඩායමේ අභිනන්දනය

by Mahesh Lakehouse
November 25, 2023 12:40 am 0 comment

මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අභිලාෂයෙන් දියත්වන ගාම්භීර මොහොතකට සහභාගී වී හිඳිමි. බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ‘ලැවැන්ඩර්‘ ශාලාවේ අසුන් පිරී ගොස්ය. ඒ මාධ්‍ය ක්ෂේත්‍රයට ශාස්ත්‍රීය පරිචයක් සහිතව එක්වීමට නියමිත තරුණ වෘත්තිකයන් අබිසෙස් ලබන මොහොත දැක ගනු රිසිවය.

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් එක් කළ පත්තර මහ ගෙදර මහා සද් කාර්යයකට උරදී සිටියේය. ඒ මාධ්‍ය සන්නිවේදනය සහ ඩිජිටල් මාධ්‍ය සන්නිවේදනයේ ශාස්ත්‍රීය ගැඹුරක් සහිත ඩිප්ලෝමාධාරීන් බිහි කිරීමය. මෙම පාඨමාලවේ පරමාර්ථයම මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට ඇවැසි දැනුමක්, වගකීමක්, සහිත නිර්මාණශීලී මාධ්‍ය පරපුරක් බිහි කිරීමය.

මෙම මාධ්‍ය ඇකඩමිය ඇරැඹෙන්නේ වත්මන් ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ගේ සංකල්පයකට අනුව 2022 වසරේ සැප්තැම්බර් 28 ය. මේ වනවිට ඩිප්ලෝමා පාඨමාලා 02ක් මෙන්ම එක් දින වැඩමුළු ද ඇකඩමිය විසින් පවත්වා ගෙන යන්නේය. මෙම මාධ්‍ය ඇකඩමියේ අධ්‍යයන කාර්යයේ යෙදෙන විද්‍යාර්ථීන්ට මුද්‍රිත මාධ්‍ය, ප්‍රාසාංගික කලා, දැන්වීම් හා ප්‍රචාරණ, ඡායාරූපකරණය වැනි පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන දැනුම් ප්‍රමාණයක් ලැබෙන්නේය.

ඉකුත් 23 වැනිදා සන්ධ්‍යාවේ මා පැමිණ සිටියේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පවත්වා ගෙන යන මාධ්‍ය ඇකඩමියේ මාධ්‍ය සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරූ පළමු විද්‍යාර්ථීන් සහ ඩිජිටල් මාධ්‍ය සන්නිවේදනය සාර්ථකව හදාරා නිමා කළ විද්‍යාර්ථීන් ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වනු රිසිවය. ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ විශේෂ මොහොත හොබවන විශේෂ ප්‍රභූ ආරාධිතයා ය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිවරයා මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මේ මොහොත වෙනුවෙන් මනා කැපවීමක් කර තිබිණි. මේ සිරිමත් මොහොතට එක් වීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ආචාර්ය චන්දන තිලකරත්න සහිත විද්වත් ප්‍රභූ මණ්ඩලය දකිමි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එස්. බී. ජයසුන්දර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, සිළුමිණ, දිනමිණ, ඩේලි නිව්ස් සහ සන්ඩේ ඔබ්සර්ව ප්‍රධාන කතුවරු, ඇතුළු ලේක්හවුස් ආයතනයේ ඉහළ නිලධාරී පිරිසත් හිඳිති.

විද්‍යාරථයින් ඩිප්ලෝමාධාරීන් ලෙස අබිසෙස් ගන්වන මොහොත අමතක නොවන අවස්ථාවක් කරමින් ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වටිනා යෝජනා මාලාවක් සහිත කෙටි අදහස් දැක්වීමක් කළේය. ඔහු මෙම මාධ්‍ය ඇකඩමිය දකින්නේ සියවසකට අධික කාලයක් තිස්සේ මේ රටේ ප්‍රමුඛතම මාධ්‍ය මෙහෙවර කරමින් ජනතා ගෞරවය සහ විශ්වාසය සහිතව ස්ථාපිත වූ ලේක්හවුස් ආයතනය පිහිටවූ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ මහා සද් කාර්යයේ අතිශය වැදගත් නිර්මාණාත්මක දිගුවක් ලෙසය. ලේක්හවුසිය සතු ඓතිහාසික ප්‍රෞඪ උරුමයට හිමිකම් කීමට හැකි වෙනත් කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ නැති බව කී ඇමතිවරයා මාධ්‍ය ඇකඩමියක් නිර්මාණය කිරීමට ලේක්හවුස් ආයතනයට ඇති විභවය පිළිබඳ සිහි කළේය.

“හිතෙනවාට වඩා වැඩිපුර යමක් සිතිය හැකි, පෙනෙනවාට වඩා වැඩි යමක් දැකිය හැකි, ඇසෙනවාට වඩා වැඩිපුර යමක් අසන්නට හැකි ප්‍රබුද්ධ මාධ්‍යකරුවන් පිරිසක් අනාගතයට, රටට දායාද කරන්න මේ ආයතනයට හැකි වේවි.“

ඇමතිවරයා යෝජනා කළේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතියේ දැනුමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ඉපදවීමට මෙම මාධ්‍ය ඇකඩමිය හසුරුවමින් ඊළඟ වර්ෂයේදී වඩාත් පුළුල් පරාසයක් තුළ තමන්ගේ භූමිකාව ඉටු කර අනාගතයේදී විශ්වවිද්‍යාලයක් බවට උසස් තත්ත්වයට පරිවර්තනය කරගැනීමට හැකි වේවා යන ප්‍රාර්ථනය එකතු කරමිනි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමි සංකල්පය ප්‍රායෝගික කළ නිර්මාතෘවරයාය. ඔහු කියන්නේ දැනට ලංකාවේ පවතින ඉතා සාර්ථකම මාධ්‍ය අධ්‍යාපන ඇකඩමියක් වන ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ පාඨාමාලා හා විෂය නිර්දේශයත්, පාඨමාලාව පවත්වා ගැනීම සඳහා සම්පත් දායකත්වයත් ලබා දෙන්නේ ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය දැනුමක් සහිත විශ්විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් හා ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුළත් වෘත්තියන් මඬුල්ලක් විසින් බවය. ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක පුහුණුව මේ පාඨමාලාවෙන් ඉතාම දියුණු මට්ටමකින් ආවරණය වන බව ද සභාපතිවරයා පැවසුවේය.“ ඉදිරියේදී වඩාත් පුළුල් මෙන්ම ප්‍රායෝගික පාඨමාලා රැසක් හඳුන්වා දී ලේක්හවුස් මාධ්‍ය පාඨමාලා සඳහා NVQ මට්ටම ගැනීමට මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය ඇතුළු විවිධ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීමේ කටයුතු ද අවසන් අදියරට පැමිණ තිබෙනවා. ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මාධ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳද මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.” සභාපතිවරයා අභිලාෂ පූර්වකව පවසන්නේය.

විද්‍යාර්ථීන් ඩිප්ලෝමාධාරීන් ලෙස සහතිකපත් ලැබූ පසු ඔවුන් හැදෑරූ පාඨමාලා පිළිබඳ සිය අත්දැකීම් හා අදහස් පළ කරමින් මාධ්‍ය ඇකඩමියේ කටයුතු සඳහා සුවිශේෂ කැපවීමෙන් කටයුතු කරන අරුණි මුතුමලී, එරන්ද එදිරිමාන්න, මනෝලි සුබසිංහ, වාසනා අබේනායක හා රශ්මිකා, එහි සමායෝජක නිසයුරු ආරියවර්ධන ඇතුළු මාධ්‍ය ඇකඩමියේ සියලු කාර්ය මණ්ඩලය වෙත කෘතවේදීව පළ කිරීමට ද අමතක නොකළහ.

ඩිප්ලෝමා ප්‍රදානයට සමගාමිව ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අභිලාෂයෙන් දියත් වූ එම ගාම්භීර පැය කිහිපයේ අවසානය කරා ළඟා වන්නේ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ අලෙවිකරණ කටයුතු ඇතුළු සියලු කටයුතු සඳහා නොපිරිහෙලා වෙහෙසෙන එරන්ද එදිරිමාන්න විසින් ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, මාධ්‍ය ඇකඩමියේ කාර්ය මණ්ඩලය, ඩිජිටල් අංශයේ කාර්ය මණ්ඩලය, සහභාගී වූ ආරාධිතයන් ඇතුළු සියල්ලන් වෙනුවෙන් පළ කළ කෘතවේදීත්වය සමඟිනි.

අප දකින්නේ අනාගත ලෝකයේ මාධ්‍යකරණය වෙනුවෙන් දැල්වෙමින් ඇති පහන් සිළකි. එම පහන් සිළ පහන් සියක් දහසක් දල්වමින් ක්ෂේත්‍රය ආලෝක කරන සුබ නිමිති දකිමු. එය යථාවක් වන මොහොත රට වඩාත් යහපත් තැනක් වනු ඇත.

ටානියා මොසස්, ඡායාරූප - රුක්මල් ගමගේ චින්තක කුමාරසිංහ, ශාන් රූපස්සර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division