Home » ඔබේ අතින්ම කෑම කන්න නාවාගන්න ලෑස්ති වෙන දළදා මාලිගාවේ සද්දන්ත කුලේ යාළුවෝ

ඔබේ අතින්ම කෑම කන්න නාවාගන්න ලෑස්ති වෙන දළදා මාලිගාවේ සද්දන්ත කුලේ යාළුවෝ

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment
මියන් රාජාට ආහාර ලබා දෙමින්.

ශ්‍රී  දළදා මාලිගාවේ රාජකීය ඇත්ගාල දැන් හැමෝටම විවෘතයි. ගරු ගාම්භිර සද්දන්ත කුලේ ඇතුන් එක්ක කාලය ගත කරලා යන්න දැන් ඔයාලටත් පුළුවන්. මේ අය එක්ක පුංචි සැමරුම් උත්සව තියන්න, මේ අයව නාවන්න උදව් වෙන්න, එයාලට විශේෂයෙන් හදන කෑම ඔයාලගේ අතින් එයාලට කවන්න විතරක් නෙවෙයි සද්දන්ත කුලේ යාළුවෝ එක්ක ඡායාරූප ගන්නත් දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. දළදා හාමුදුරුවෝ වැඳ පුදා ගෙන අහවර වෙලා සද්දන්ත කුලේ මහ ඇත්තුත් එක්ක ටිකක් කාලේ ගත කරලා යන්න අමතක කරන්න එපා…

මේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල මඟින් සමාජ මාධ්‍යයට එක්කර තිබූ පෝස්ටුවකි. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙම නැතැයි කියමනක් තිබේ. අලි බැලීමෙන් එහාට ගොස් අලි ඇතුන් ට කෑම කවන්න, නාවන්න පමණක් නොව ළඟින් ඉඳින් ඡායාරූප ගන්නත් ලැබෙන මේ අපූරු අවස්ථාව ගැන තොරතුරු සොයා බලන්න සිළුමිණ පාඨක ඔබ වෙනුවෙන් අපි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලට ගියෙමු.

පෙරවරු 10.00 ට පමණය අප ඇත්ගාලට ළඟා වන විට කණ්ඩුල අලියා ඇත්ගාලේ පොකුණේ දිගා වී දිය නාමින් සිටියේ ය. පොල් ලෙල්ලකින් කපා ගත් කොටසකින් කණ්ඩුලගේ හිස හා ගෙල ප්‍රදේශය අතුල්ලමින් සිටියේ ජර්මන් ජාතිකයෙකි. ඔහු සමඟ පැමිණි නඩයේ සිටි සෙස්සෝ කණ්ඩුලට ළංවී ඉස්පාසුවක් නොමැතිව ඡායාරූප ගනිත් දී කණ්ඩුල සමඟ අවුරුදු අටක පමණ කාලයක් එකට සිටින ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලේ ඇත්ගොව්වකු ලෙස රාජකාරි කරන බුද්ධික කුමාර ඒ සඳහා ඔවුන්ට පහසුකම් සලසා දුන්නේ ය. ඔවුන් කණ්ඩුල වෙතින් ඊළඟට ගමන් කළේ ගස් බැඳ සිටි මියන් රාජා වෙතය. කෙසෙල්, කොමඩු, උක් පමණක් නොව ඇත්ගාලේදී කොල්ලු, සෝයා, මුං ඇට හා කිතුල් පැණි යොදා දේශීය ආයුර්වේද ක්‍රමයට සකස් කරන ලද පෝෂණීය ආහාර වේලක් ද ජර්මන් ජාතික සංචාරක කණ්ඩායම මියන් රාජාට ලබා දුන්නේ ය. දළදා වහන්සේ උදෙසා වසරක් පාසා පවත්වන දහවල් දානමය පුණ්‍යකර්මය සඳහා සහභාගී වීමට කොළඹ සිට මහනුවරට පැමිණි කණ්ඩායක් ද මේ අපූරු අත්දැකීම ලබන්නට ඇත්ගාලට පැමිණියේ මේ අතරවාරයේ ය. ඒ වනවිට අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අයිති රාජු ඇතා ද ඇත් ගාලට පැමිණ සිටියේ ය.

මෙරට සිටින හීලෑ අලි ඇතුන් අතරින් වැඩිම සංඛ්‍යාවක හිමිකාරිත්වය ඇත්තේ දළදා මාලිගාවට ය. මේ වනවිට දළදා මාලිගාවේ ඇත් පන්තිය ඇතුන් 09 දෙනකුගෙන් හා අලි තිදෙනකුගෙන් සමන්විතය. අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අයිති රාජු ඇතාත්, අස්ගිරි අනුනායක ආණමඩුවේ දම්මදස්සි නාහිමියන්ට අයිති වාසල අලියාත් උඩුවේ ධම්මාලෝක නාහිමියන්ට හිමිකාර­ිත්වය ඇති සාමා ඇතින්නත් මේ දිනවල සිටින්නේ දළදා මාලිගාවේ ඇත් ගාලේ ය. විහාරස්ථානවල හැදී වැඩෙන අලි ඇතුන් කෙටි කාලයක් සඳහා රැක බලා ගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල එම සතුන් ඇත්ගාලට යොමු කර සත්කාර ලබා දෙන බව දළදා මාලිගාවේ අලි ඇතුන් භාර නිලධාරී ප්‍රදීප්

මියනපලාව පැවසුවේය. රාජු, වාසල හා සාමා දළදා මාලිගාවේ ඇත්ගාල ට එක්ව සිටින්නේ ඒ අනුව ය.

දළදා වහන්සේ උදෙසා රන්, මුතු, මැණික් පමණක් නොව ඇත්, අස් ආදී සතුන් ද පූජා කරන්නට රජවරු පමණක් නොව සාමාන්‍ය ජනතාව ද කටයුතු කළේ උන්වහන්සේ ජීවමාන බුදුන් සේ සලකමිනි. කිත්සිරි මෙවන් රජ දවස පැවැති දළදා ප්‍රදර්ශනයක් නැරඹීමට ගිය ජනතාව අතරින් දළදා සමිඳුන්ට තම අත, කර රැඳි අභරණ පූජා නොකර ගිය අයකු සොයා ගැනීමත් අසීරු වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ ආකාරයෙන් තමන් සතු වටිනාම වස්තූන් දළදා වහන්සේ උදෙසා පූජා කරන්නන් අතර දළදා මැඳුරේ ඇත් පන්තියට අලි ඇතුන් පූජා කෙරුවෝ ද වෙති. විදේශ රටවල අන්‍යාගමික නායකයෝ ද ඔවුන් අතර සිටිති. විදේශ රටවල උපත ලද සමහර ඇත්තු නැව් නැඟ මෙරටට පැමිණ මහනුවර ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන්නට තරම් භාග්‍යවන්ත වීම එක් අතකින් පුදුම සහගතය. වර්ෂ 1975 දී දියවඩන නිළමේ ධූරයට නිශ්ශංක විජයරත්න පත් වන විට ඇත් පන්තියේ සිට ඇත්තේ මාම්පිටිය දිසාව විසින් 1937 වසරේදී දළදා මාලිගාවට පූජා කළ රාජා හා කන්දා යන ඇතුන් දෙදෙනාත් ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය පූජා කළ ජයරාජාත් පමණි. පසුව 1978දී හිටපු ඇමැතිනි විමලා කන්නංගර පින්නවල සිටි ඇතකු හා අලියකු මාලිගාවට පූජා කළාය. ඒක දන්තයා හා කණ්ඩුල ලෙසින් නම් ලැබූ මෙම දෙදෙනා ද සමඟ මාලිගාවේ ඇත් පන්තිය පස්දෙනකු දක්වා ඉහළ ගියහ. එක දළයක් පිහිටා තිබීම නිසා ඒක දන්තයා ලෙසින් නම් ලද ඇතා මාලිගාවේ ඇත් පන්තියට වාසනාව ගෙනාවේ යැයි විශ්වාසයක් පවතී. ඒ ඒක දන්තයා එක් වීමත් සමඟ දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසාය.

එදා ඇත් පන්තියේ ආරම්භක සාමාජිකයන් වූ රාජා, කන්දා හා ඒක දන්තයා මෙලොව හැර ගියේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ද හිමි කර ගෙනය. ඔවුන් අතරින් ජීවත්ව සිටින කණ්ඩුලගේ වයස දැන් අවුරුදු 55 කි. මාලිගාවේ ඇත් පන්තියට ජනරාජා එක් වූයේ 1985 වසරේදීය. හිටපු ජනපති ජේ. ආර් ජයවර්ධන දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජනරාජා දළදා මාලිගාවට පූජා කළේය. දළදා පෙරහරේ කරඬුව වැඩම කරවීමේ කාර්යයට දශක දෙකක් තිස්සේ කැප වී සිටින ඉන්දි රාජා 1986 වසරේදී මාලිගාවට පූජා කරනු ලැබුවේ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසිනි. අවුරුදු හයේදී දළදා මාලිගා ඇත් පන්තියට එක්වූ ඉන්දි රාජාගේ දැන් වයස අවුරුදු 44 කි.

කෙරමිණිය විහාරස්ථානයේ අනෝමදස්සි හිමි විසින් කදිරා සහ මැණිකා නම් අලි දෙදෙනා මාලිගාවට පූජා කර තිබෙන්නේ 1986 වසරේදීය. මැණිකා අවාසනාවන්ත ලෙස 2004 වසරේ දී මිය ගියේ අකුණු සැර වැදීමෙනි. එම වසරේදීම තායිලන්ත රජු විසින් පූජා කරන ලද විජය රාජා ( තායි රාජා ) ගේ දැන් වයස අවුරුදු 50 කි. හිටපු ජනපති ආර්. ප්‍රේමදාස දළදා මාලිගාවට 1989 වසරේදී නාලක නමින් අලියකු පූජා කර ඇත. කරඬුව වැඩම කරවීමේ භාග්‍ය ද හිමි සිංහ රාජා මාලිගාවේ ඇත් පන්තියට එක්ව තිබෙන්නේ 1994 වසරේදී ය. යුද සමයේදී වෙඩි වැදී වව්නියාව කැලයේ අතරමංව සිටියදී යුද හමුදාවේ සිංහ රෙජිමේන්තු සාමාජිකයන් පිරිසකට හමුව තිබෙන ඇත් පැටවාට ඔවුන් සිංහ රාජා යැයි නම් තබා ඇත. සිංහ රෙජිමේන්තුව භාරයේ සිටියදීම ශ්‍රී දළදා පෙරහරට අවස්ථා කිහිපයක් සම්බන්ධව ඇති සිංහ රාජා නිල වශයෙන් මාලිගාවේ ඇත් පන්තියට පූජා කර තිබෙන්නේ 1994 වසරේ අගෝස්තු 11 දිනය. හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි විසින් 1998 වසරේදී පූජා කරන ලද කාවේරි රාජා ඇතාගේ දැන් වයස අවුරුදු 35 කි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද 1999 වසරේදී මාලිගාවට මිගාර නමින් ඇතකු පූජා කළාය. බුරුම රාජා හා මියන් රාජා දළදා මාලිගා ඇත් පන්තියට එක් වූයේ 2007 වසරේදීය. කරඬුව වැඩම කරවන ඇතා සමඟ බොහෝවිට දැලේ ගමන් කරන්නේ මෙම ඇතුන් දෙදෙනාය. ජනපති මෛත්‍රීපාල සිරිසේනට මියන්මාරයේ රාජ්‍ය නායිකාව ලෙස සිටි අවුන්සාන් සුකී මහත්මිය 2017 ලබා දුන් ඇතා දළදා මාලිගාවට පූජා කරනු ලැබුවේ පුලතිසි රාජා ලෙස නම් තබමිනි.

ලංකාවේ විශාලතම ඇත්පන්තිය දැක බලා ගැනීමටත් අලි ඇතුන් සමඟ සමීපව හෝරාවක් දෙකක් ගත කරන්නටත් මෙරට සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලැබෙන්නේ ප්‍රථම වතාවටය. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ මඟ පෙන්වීම යටතේ අදාළ වැඩසටහන ක්‍රියාවය නංවනු ලැබ තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ලය. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.

‘අලියා කියන්නේ අපේ සංස්කෘතිය හා බද්ධ වූ සත්ත්වයෙක්. මේ වනවිට ලංකාවේ හීලෑ අලි සම්පත සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා. දැන් අපිට ඉන්නේ සියදෙනෙකුටත් අඩු හීලෑ අලි ඇතුන් සංඛ්‍යාවක්. මේ අලි ඇතුන් හොඳින් රැක බලා නොගන්නා බවට සුළු පිරිසක් අලි හාම්පුතුන්ට චෝදනා එල්ල කරනවා. එහෙම කරන සුළු පිරිසක් අලි හාම්පුත්තු අතර ඉන්න පුළුවන්. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් අති බහුතරයක් අලි හිමියන් අලි ඇතුන්ට සත්කාර කරන්නේ තමන්ගේ දරුවන් හා සමාන ලෙස සලකමිනුයි. පෙරහර මංගල්‍යයට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් ඇතැම් පිරිස් විවේචන එල්ල කරනවා. අපි මේ අලි ඇතුන් රැක බලා ගන්න කරන කැපවීම හරිහැටි නොදැන තමයි මේ අය චෝදනා එල්ල කරන්නේ. මේ නිසාම අපි තීරණය කළා දළදා මාලිගාවේ ඇත්ගාල සාමාන්‍ය ජනතාවට නිරාවරණය කරන්න. අලි ඇතුන් සමඟ පැය කිහිපයක් ගත කර ලබා ගන්නා ආශ්වාදයට අමතරව මේ සතුන්ට අවශ්‍යය ආහාර, ඖෂධ පමණක් නොව සෙසු සියලු පහසුකම් ලබා දෙන්න දළදා මාලිගාව ගන්නා වෙහෙස සම්බන්ධව ද යම් අවබෝධයක් මේ තුළින් ජනතාවට ලබාගත හැකියි. ඇත් ගොව්වන්ගේ සුභසාධනය සඳහා අපි මොනතරම් වැඩ කොටසක් සිදු කරනවා ද කියලත් මෙතන්ට ආවම දැන ගන්න පුළුවන්. දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට කිසිදු මුදලක් නොගෙවා ඇත්ගාලට ප්‍රවේශ විය හැකියි. ආහාර ලබාදීම, නෑවීම, ඡායාරූප ගැනීම වැනි ක්‍රියාකාරකම්වලට ගියොත් තමයි මුදලක් ගෙවන්න සිදු වන්නේ. අලි ඇතුන් සම්බන්ධයෙන් ආදරය, කරුණාව, දයාව අපේ රටේ ජනතාව තුළ ඉහළින්ම තිබෙනවා. හීලෑ අලි සම්පත ආරක්ෂා කර ගැනීම පිළිබඳ හැඟීමත් ඒකට එකතු විය යුතුයි. ශ්‍රී ලංකාවේ හීලෑ අලි සම්බන්ධ ක්ෂේත්‍රය ඉතා පුළුල් එකක්. පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කර ගැනීමට තරම් මෙය වටිනවා. මේ වැඩපිළිවෙළ ඔස්සේ එවැනි ඉලක්ක ජය ගැනීම සඳහා වන දීර්ඝ කාලීන සැලසුමකුත් තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාලේ අලි ඇතුන් 12 දෙනෙකු සිටියත් ඒ සෑම සතෙකු ආසන්නටයම යාමට ඉඩ නොලැබේ. ඇතැම් සතුන් මද කිපුණු පසු මාලිගා පරිශ්‍රයේ සිට පල්ලේකැලේ ඇත්ගාල දක්වා රැගෙන යයි. මේ දිනවල දළදා මාලඟා පරිශ්‍රයේ රඳවා සිටින්නේ සිංහ රාජා, මියන් රාජා, පුලතිසි රාජා, රජු යන ඇතුන් හා කණ්ඩුල, නාලක යන අලි දෙදෙනා ය. මද කිපී සිටින ඉන්දි රාජා සිටින්නේ පල්ලේකැලේ ය. ඇත්ගාල සාමාන්‍ය ජනතාවට නිරාවරණය වුවත් අවසරයකින් තොරව අලි ඇතුන් වෙත සමීප වීම අවදානම් ය. මේ පිළිබඳව ප්‍රදීප් මියනපලාව මෙසේ පැවසුවේය. දළදා මාලිගාවේ ඇත්ගාල හා අලි නාවන පොකුණ විවෘත කළාට පස්සේ විශේෂිත පුද්ගලයන්ට අලි ඇතුන්ට ආහාර ලබා දෙන්න වගේම ඡායරූප ගන්න අවස්ථාව ලබා දුන්නා. මේ අවස්ථාව සාමාන්‍ය ජනතාවට ඇයි නොදෙන්නේ කියන ප්‍රශ්නය නිරන්තරව මතු වුණා. ඒ අනුව අපි මුලින් විදේශිකයන්ට අවස්ථාව ලබා දී යම් අධ්‍යයනයක් කළා. සියලු ජනතාවට ඇත්ගාල නිර­ාවරණය කරන්න තීරණය කළේ ඊට පසුවයි. ශ්‍රී දළදා මාලිගාව සතු අලි ඇතුන් නඩත්තු කිරීම සඳහා මාසයකට රුපියල් ලක්ෂ 45 කට ආසන්න මුදලක් වැය වෙනවා.

දිනකට එක් අලියකුට පමණක් ආහාර කිලෝ ග්රෑම් 350-400 අතර ප්‍රමාණයක් අවශ්‍යයයි. මේ ආහාරවලට වගේම ඖෂධවලටත් ඇත්ගොව්වන්ගේ වැටුප් ඇතුළු ඇත්ගාලේ නඩත්තුව වෙනුවෙන් මේ මුදල වැය වෙනවා. පිටත ඉඳන් විවේචන එල්ල කරන අය මේවා දන්නේ නැහැ. අලි ඇතුන්ගේ හැසිරීම සතාගෙන් සතාට වෙනස්. මේ නිසා අලි ඇතුන්ට කෑම දෙන්න, නාවන්න වගේම සමීපව ඉඳන් ඡායාරූප ගන්න අවස්ථාව දෙන්නේ ඇත්ගාලේ අවසරය මත පමණයි. මේ ස්ථානයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි වගකියන්න ඕන. ඒක හරියට කරන්න නම් ජනතාවගේ සහය අපිට උපරිමයෙන් අවශ්‍යයි.

අසේල කුරුළුවංශ, ඡායාරූප- රුවන් මීගම්මන  බුද්ධික රොෂාන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division