Home » ජනාධිපති 25 වැනි අපනයන සම්මාන උලෙළ
අපනයන ආර්ථිකයට දිරි දෙන අපනයනකරුවන් ඇගැයූ

ජනාධිපති 25 වැනි අපනයන සම්මාන උලෙළ

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

– අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට නව ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනා
– සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සම්මාන 13ක් බැගින් ප්‍රධාන සම්මාන 26ක්

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යනුවෙන් පැවසුවේ මුනිදාස කුමාරතුංගයන්ය. විශාල ආර්ථික අගාධයකින් කෙමෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි නව නිපැයුම් වැඩි වැඩියෙන් අවැසි යුගයකි මේ. විශේෂයෙන් අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවට නව නිපැයුම් ඉතා ඵලදායී වේ. ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් නොවැම්බර් 23 වැනිදා 25 වැනි වරටත් පැවති ‘ජනාධිපති අපනයන සම්මාන උලෙළ’ ඊට සාක්ෂි දැරූ අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා විශිෂ්ට සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උලෙළ සංවිධානය කරනු ලබයි. මෙවර මෙම සම්මාන උලෙළ පැවැත් වූයේ 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගැයීම සඳහාය.

ඒ අනුව සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක්, නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණු අතර, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර කුසලතා සම්මාන පිරිනැමීම විශේෂත්වයකි. කුසලතා සම්මානලාභීන්ට සමරු ඵලක සහ සහතිකපත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් සංකේතාත්මකව සිදු කෙරිණි.

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අවධාරණය කළේය. ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළ යුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙසේ ද පැවසීය.

“අපි අපේ අපනයන ඉහළ නංවා ගත යුතුයි. එහිද අප කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතු වෙනවා. මෙවර අය වැයෙන් ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මුදල් ලබා දී තිබෙනවා. අප නව අපනයන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා නව ආයෝජනවලට ආරාධනා කළ යුතුයි.”

මෙවර සම්මාන උලෙළේදී 2021/22 සහ 2022/23 යන වසරවල විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළුව ජනාධිපති සම්මාන 16කින් පිදුම් ලැබීමට මෙරට ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත MAS Active Trading (Pvt) Ltd MAS Intimates (Pvt) Ltd සමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ 2022/23 යන දෙවසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනා ගත් අතර, ඊට අමතරව MAS Active MAS Intimates එක්ව තවත් සම්මාන 16ක් දිනා ගත්තේය. මෙම ඇගැයීම කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සහ ජාතික ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබා දෙන්නෙකු ලෙස MAS Holdings හි ස්ථාවරත්වය තහවුරු කළ අවස්ථාවක් විය.

මෙම සම්මාන උලෙළේදී 2021/22 වසරේ නැඟී එන අපනයනකරු සම්මානය Alumex PLC සමාගමටත් 2022/23 වසරේ නැඟී එන අපනයනකරු සම්මානය Jaya Farm සමාගමටත් හිමි විය. 2021/22 වසරේ කාන්තා අපනයනකරු සම්මානය හිමි වූයේ Senikma Holdings පුද්ගලික සමාගමටයි. 2022/23 වසර වෙනුවෙන් එම සම්මානය දිනා ගත්තේ New Lanka Cinnamon පුද්ගලික සමාගමයි.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද මෙම සම්මාන උලෙළේදී අදහස් දැක්වීය. අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, කනක හේරත්, අරවින්ද කුමාර්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කිංස්ලි බර්නාඩ්, විදේශ තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුරේකා නිල්මිණි ඉලංකෝන්, ඡායාරූප- සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division