Home » දියවැඩියාවට සතුරු වී නීරෝගී ජීවිතයකට නතු වෙමු

දියවැඩියාවට සතුරු වී නීරෝගී ජීවිතයකට නතු වෙමු

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

නීරෝගී ජීවිතයක පැවැත්ම රඳා පවතින්නේ රෝගවලින් තොර වූ විටය. එහෙත් වත්මන් ලෝකයේ බෝ නොවන රෝග පැතිරීමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතී. ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන රෝග අතර දියවැඩියාව මුල් තැනක පවතී. ලෝකය පුරා මිලියන 537ක් පුද්ගලයන් දියවැඩියාව සමඟ ජීවත් වන අතර, ඉන් 90%ක්ම දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ය . වාර්ෂික මිලියන 6.7ක් මරණවලට දියවැඩියාව හේතු වන අතර තවත් මිලියන 541ක් පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වේ. එනම්, ඔවුන් දියවැඩියාව වැලඳීමේ ” ඔන්න – මෙන්න” තත්ත්වයේ පසුවන පුද්ගලයන්ය.     

ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මීට දෙවැනි නොවේ. සෞඛ්‍යය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ලෝක සෞඛ්‍යය සංවිධානය සමඟ වසර 5කට වරක් බෝ නොවන රෝග අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයක් සිදු කරන අතර, එම සමීක්ෂණයට අනුව 2015දී රුධිරයේ සීනි මට්ටම වැඩි දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව සියයට 7%කි. එහෙත් 2021දී එම සංඛ්‍යාව 14.6%ක් දක්වා ඉහළ ගොස් ඇත. බර වැඩි හෙවත් තරබාරු පුරුෂයන්ගේ ප්‍රතිශතය 22.5% සිට 30% දක්වාත්, කාන්තාවන්ගේ එම ප්‍රතිශතය 34.3% සිට 47.6% දක්වාත් වැඩි වී ඇත. එමෙන්ම අධික රුධිර පීඩනයෙන් පෙළෙන සංඛ්‍යාව 26% සිට 54% දක්වා වැඩි වී තිබේ.

දියවැඩියා යනු නිහඬව මිනිසා වෙත ළඟා වෙන මාරයකු යැයි කිවහොත් නිවැරැදිය. දියවැඩියාවට, ඔබ හෘද රෝගියකු, අංශ භාග (ආඝාත) රෝගියකු, අධික රුධිර පීඩනය සහිත රෝගියකු, වකුගඩු රෝගියකු බවට හෝ ඔබ අන්ධභාවයට පත්කිරීමට පදනම දැමිය හැකි බව දන්නවාද? ඔබේ දෙපා අහිමි කිරීමට ක්‍රියාකරන බව හෝ ඔබ ‘සිරෝසිස්’ රෝගයට ගොදුරු කිරීමට මඟ පාදන බව හා ඔබේ ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය නැති කරන බව ඔබ දැන සිටියාද? එවැනි අවාසනාවන්ත ඉරණමකට ඔබේ ජීවිතය ගොදුරු නොවීමට නම් දියවැඩියාව ගැන නිසි දැනුම්වත් භාවයක් අත්‍යවශ්‍ය වේ.

රාජගිරිය, ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්තී ගුණවර්ධනගෙන් අප මේ පිළිබඳ විමසුවෙමු.

“දියවැඩියාව කියන්නෙ රුධිරයේ සීනි මට්ටම හරියාකාරව පාලනය නොවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මෙය ආකාර 3ක් ලෙස හැඳින්විය හැකිය. පළමු වර්ගයේ දියවැඩියාව ඇති වන්නේ අපේ ශරීරයේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ වීම, අකර්මණ්‍ය වීම නිසා ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීම ඇනහිටීමෙන්. එවිට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුව නිසා ‘ඉන්සියුලින්’ නික්ෂේපණයක් ලෙස සිරුරට එන්නත් මාර්ගයෙන් ලබා දෙන්න වෙනවා. එය ඉතා කුඩා කාලයේ සිට ජීවිතය පුරාවටම සිදු කළ යුතු වෙනවා.

දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ජීවන රටාව එනම් ආහාර, ව්‍යායාම, මානසික පීඩාකාරී බව, මත්පැන්, දුම්පානය වැනි අහිතකර සාධක නිසා. විශේෂයෙන්ම අහිතකර ආහාර රටාව එනම් තෙල්, ලුණු සහ සීනි අධික ආහාරපාන අධික ලෙස ගැනීම, කෘත්‍රිම රසකාරක බහුල ආහාරපාන භාවිතය, ක්‍රියාශීලී නොවීම හා මානසික ආතතිය ආදී හේතු නිසයි.

තුන්වැනි වර්ගයේ දියවැඩියාව එනම්, ගර්භිණී සමයේ ඇතිවන දියවැඩියා තත්ත්වයයි. ගර්භිණී මවුවරුන්ගෙන් 10%ක් මෙම දියවැඩියා තත්ත්වයෙන් පෙළෙනවා. ඔවුන්ගෙන් කොටසක් ගර්භිණී වීමට පෙර සිටම දියවැඩියාවෙන් පෙළෙන තරුණියන් වෙන්න පුළුවන්. නැතිනම් ගර්භිණී කාලයේ සති 24 – 28 අතර රුධිරයේ සීනි මට්ටම පාලනය නොවූ මවුවරුන් විය හැකියි. මොවුන් හට ගර්භිණී කාලය පසුවීමත් සමඟ රුධිරයේ සීනි මට්ටම යථා තත්ත්වයට පත්වූවත් පසුකාලීනව දෙවැනි වර්ගයේ එනම් ‘Type 2’ දියවැඩියාව ඇති වීමට අවදානමක් තිබෙනවා.” යම් අයකුට දියවැඩියාව වැලඳී ඇති බව නැතිනම් රුධිරයේ සීනි මට්ටම පාලනය නොවන බව දැන ගන්නේ මූත්‍රා අධික ලෙස පිටවීම, අධික පිපාසය, ශරීරය හිටි හැටියේ කෙට්ටු වීම, තුවාල සුවවීමට කල්ගතවීම ආදී ලක්ෂණ මඟිනි. එම ලක්ෂණ තිබේ නම් නොපමාව දියවැඩියාව සම්බන්ධ පරීක්ෂණවලට යොමු වීම ඉතා වැදගත් වේ.

දියවැඩියාව වැලඳුණු පසු ප්‍රතිකාර කරනවා වෙනුවට සෑම අයකුම සැලකිලිමත් විය යුත්තේ දියවැඩියාව තත්ත්වයෙන් වැළකී සිටීමටය. ඊට හේතුව දියවැඩියාව යනු ඔබේ ජීවිතය සෑම අංශයකින්ම අකර්මණ්‍ය කර ඔබ සෙමෙන් සෙමෙන් මරණය කරා කැඳවාගෙන යන නිහඬ සතුරකු වන නිසාය. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්තී ගුණවර්ධනගෙන් අප ඊළඟට විමසුවේ දියවැඩියාව වැලඳුණු රෝගියකුට මුහුණ දීමට සිදු වන අවාසනාවන්ත තත්ත්වය ගැනය.

“අපගේ සිරුරේ රුධිරයේ සීනි මට්ටම නිසි අයුරින් තබා ගැනීම ශරීරයේ හැම ඉන්ද්‍රිය පද්ධතියකටම එනම් හෘදය, මොළය, මාංශ පේශි, ස්නායු පද්ධතිය, වකුගඩු, අක්ෂි ආදි සියලු පද්ධතිවල මනා ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වේ. රුධිරයේ සීනි අඩුවීමත්, වැඩිවීමත් අතිශය භයානකය. රුධිරයේ සීනි මට්ටම ක්‍රම – ක්‍රමයෙන් ඉහළ යනවිට, සාමාන්‍ය පරිදි පාලනය නොවන විට මේ සියලු ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවේ. මුල් කාලයේදී මේ වෙනස හඳුනා ගැනීමට අසීරුය. බොහෝවිට සුව නොවන තුවාලයක් ඇතිවිට, හෘදයාබාධයක් ඇති වී රෝහල් ගතවන විට, අංශභාගය හෙවත් ආඝාතය ඇතිවූ විටක, නැතිනම් පාදයක් ඉවත් කිරීමට සිදුවු විටක, ඇස් පෙනීමේ යම් යම් රෝගී තත්ත්වයන් මතුවන විටයි, වකුගඩු රෝග මතුවන විට දියවැඩියාව ඇති බව හඳුනා ගන්නේ. නමුත් එවිට අප ප්‍රමාද වැඩියි.

ශරීරයේ සීනි මට්ටම නිසි අයුරින් පාලනය කලක් තිස්සේ සිදු නොවීම නිසා හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, අක්මාව රෝගී වීම, ඇස් නොපෙනී යෑම, අධික රුධිර පීඩනය, බර වැඩි වීම හා තරබාරු බව සිදුවේ. ඇත්තටම කීවොත් දියවැඩියාව ‘නිහඬ මරුවෙක්’. මේ සියලු තත්ත්වයන්ට ගොදුරු වූ පසු ඖෂධ ප්‍රතිකාර තිබුණත් රෝගියකු ලෙස ජීවිතයේ ඉදිරි කාලය ගෙවා දැමීමට ඔබට සිදුවිය හැකිය. එබැවින් අල්ලක් පුරා බෙහෙත් බිබී, රෝගියකු වී ඉදිරි කාලය ගෙවනවාද? මේ තත්ත්වයට ගොදුරු නොවී නීරෝගීව ඉදිරි කාලය ගෙවනවාද යන්න ඔබම තීරණය කරන්න.” එසේ නම් දියවැඩියාවෙන් වැළකී නීරෝගිමත් ජීවිතයක් ගත කරන්නේ කෙසේද? ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරිය දුන් මේ උපදෙස් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

“සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු වීම සඳහා තෙල්, ලුණු, සීනි, රසකාරක අධික ආහාර හැකිතාක් අඩු කර එළවළු, බත්, මාළු, ඇට වර්ග, පලතුරු වැනි ස්වභාවික ආහාර ආහාර වේලට එකතු කර ගත යුතුයි. සාමාන්‍ය උසට සරිලන බර සහිත පුද්ගලයකුට කෑම පිඟානෙන් 1/2ක් ශක්තිය ලබා දෙන ආහාර, එනම් බත්, කුරක්කන්, බඩඉරිඟු වැනි ධාන්‍ය වර්ග, අල, බතල, කොස්, දෙල් ආදිය ආහාරයට ගත හැකියි. එමෙන්ම ඔබ බර වැඩි, තරබාරු ගණයට අයත් වනවා නම් ශක්තිය ලබා දෙන ආහාර ගත යුත්තේ පිඟානෙන් 1/4ක් හෝ 1/3ක් පමණයි. ශරීරය ආරක්ෂා කරන ආහාර කාණ්ඩයට අයත් එළවළු, පලතුරු, පලා වර්ග පිඟානෙන් 1/2ක් හෝ 1/2න් 2/3ක් ගත යුතුය. ඉතිරි 1/4, මාළු, කරවල, බිත්තර වැනි සත්ත්ව ප්‍රෝටීනවලටත්, කවුපි, කඩල, මුංඇට, පරිප්පු වැනි ඇට වර්ගවලටත් වෙන්කළ යුතුය.

ආහාර රස කර ගැනීමේදී හැකිතාක් ස්වභාවික රසකාරක, එනම් ඉරිඟු, සුදු ලූනු, රම්ප, කරපිංචා, කුරුඳු, කරඳමුංගු, කරාබුනැටි, කොත්තමල්ලි, සූදුරු, දෙහි, අමුමිරිස්, සියඹලා එකතු කරගන්න. කෘත්‍රිම රසකාරක බැහැර කරන්න.

දිනකට ගන්නා ලුණු ප්‍රමාණය තේ හැන්දකට (ග්‍රෑම් 5) සීමා කරන්න. බත් පිසින විට ලුණු එකතු නොකරන්න. දිනකට ගන්නා සීනි ප්‍රමාණය තේ හැඳි 6කට සීමා කරන්න. සීනි අධික, පිෂ්ඨය අධික ආහාර හැකිතාක් සීමා කරන්න. ක්ෂණික ආහාර නිතර ආහාරයට එකතු කර නොගන්න. පිපාසය ඇති වනතුරු නොසිට පුරුද්දක් ලෙස දිනකට පිරිසිදු ජලය ලීටර් 2 1/2 – 3ත් (මිලි ලීටර් 200 කෝප්ප 8 – 10) පානය කරන්න. බෙලිමල්, රණවරා, පොල්පලා, ඉරමුසු වැනි ඖෂධීය පානවලට පුරුදු වන්න. රතු, කහ, ලේබල් සහිත කෘත්‍රිම බීම වර්ග හැකිතාක් බීමෙන් වළකින්න. ‍

සාමාන්‍ය පුද්ගලයන් සතියකට දින පහක් දිනපතා පැය භාගයක්වත් ශරීරයට දැනෙන පරිදි ක්‍රියාශීලී වන්න. බර වැඩි, තරබාරු අය දිනකට පැයක්වත් ව්‍යායාමවල යෙදීමෙන් ශරීරයේ බර 10%ක්වත් අඩුකර ගන්න. මෙය සතියකට දින 5ක්වත් කළ යුතු වේ.

පාසල් ළමුන් අතර දියවැඩියාව ශීඝ්‍ර ලෙස ඉහළ යන බැවින් සමබල ආහාර වේලක් ලබා දෙන අතරම, දිනපතා පැය 1-2ක්වත් කය වෙහෙසවන ක්‍රියාකාරකම්වල යොදවන්න. ඔබ මත්පැන්, දුම්පානය කරන්නේ නම් එම පුරුදුවලින් හැකිතාක් ඈත් වන්න.

මානසික සුවය ද නීරෝගි බවට දැඩි සේ ඉහවල් වනවා. කලබලකාරී ජීවන රටාව, ඉලක්ක හඹා යෑම ඔබගේ මානසික යහපැවැත්ම බිඳ හෙළන බැවින් තමාට ළඟා කරගත හැකි මට්ටමට ජීවිත ඉලක්ක සකස් කරගන්න. මානසික ආතතිය ඔබේ ශරීරයේ අභ්‍යන්තරය වෙනස් කරනු ලබනවා. හෝර්මෝන, එන්සයිම ක්‍රියාකාරිත්වය වියවුල් කරනවා. දීර්ඝකාලීන මානසික පීඩාකාරී තත්ත්වය ඔබ දියවැඩියාවට තල්ලු කරන සාධකයක් බැවින් නිවෙසේ පරිසරය සහයෝගයෙන්, මිත්‍රශීලීව ගත කළ හැකි අයුරින් සකසා ගන්න.

ඔබ කොතරම් කාර්යබහුල වුවද දිනකට පැය 1/2ක්වත් ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ගැන සිතන්නට ඉඩ වෙන් කර ගන්න. රෝගියකු වී පසුතැවෙනවාට වඩා ඔබ, ඔබට ආදරය කර නීරෝගි මිනිසෙකු ලෙස ගත කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරගන්න.

කුඩා කල සිටම ඔබේ දරුවන් ද එම රටාවට හැඩගස්වා ගන්න. රෝගී තත්ත්වයක් නොතිබුණද වසරකට වරක්වත් ඔබේ රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම, උසට සරිලන බර තිබේදැයි පරීක්ෂා කරගන්න.

එවිට පරම්පරාගත දියවැඩියාව තත්ත්වයක් වුවත් ඔබට වැලඳීම කල්දමා ගත හැකිවේවි.” දියවැඩියාවෙන් වැළකී සිටීමට මෙන්ම පාලනය කර ගැනීමට ද මෙම වෛද්‍ය උපදෙස් ඔබට වැදගත් වනු ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division