Home » නොවැම්බර් 27 වැනිදා ලග්න හතකට සුබ පල රැගෙන බුධ ගුරු හිමි ධනු රාශියට

නොවැම්බර් 27 වැනිදා ලග්න හතකට සුබ පල රැගෙන බුධ ගුරු හිමි ධනු රාශියට

by thanushika
November 25, 2023 12:30 am 0 comment

ග්‍රහ ලොව බුද්ධිමතා වන බුධ ග්‍රහයා ලග්න හතකට සුබපල උදා කරමින් නොවැම්බර් 27 වැනිදා සඳුදා පෙරවරු 6.01ට මෛත්‍රි මුහූර්තයෙන් ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි.

ගුරුගේ රාශියක් වන ධනුව යනු ගුරුගේ නිවහනයි. ඒ අනුව බුධ එළඹෙන 2023 නොවැම්බර් 27 වන දින උදේ 06.01ට තමාට සම රාශියක් වන ධනු රාශියට පිවිසෙනු ඇත. මෙම කාලසීමාව තුළ ලග්න 12 අතරින් මේෂ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට සුබ ප්‍රතිඵල උදා වන අතර මෙම ග්‍රහ මාරුව හේතුකොටගෙන මාසයකට ආසන්න ඉදිරි කාලසීමාවේ රට තුල ධාන්‍ය සම්පත් බහුල වනු ඇත. මෙම කාලසීමාව කෘෂිකර්මාන්තයට ඉතාම සුබදායක වනු ඇත. අස්වනු සරු වන වැඩියෙන් පල හටගන්නා කාලයකි. එසේම වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සිදුවන අතර, නමුත් ගංවතුර හා කාලගුණ වෙනස්කම් බහුල වනු ඇත. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙම කාලසීමාව සුබදායක වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය ඉතාම සුබදායක වනු ඇත. මෙම ග්‍රහ මාරුව හේතුවෙන් දෙසැම්බර් 13 දක්වා කාලය තුළ විශේෂයෙන් දරුවන්ගේ කටයුතුවලට ඉතාම යහපත් කාලසීමාවක් උදා වනු ඇත. දරුවන්ගේ කටයුතුවලට ඉතා සුබදායක නැකැත් වන පුනාවස, හත, සිත, රෙහෙණ, මුවසිරස, පුෂ යන නැකැත් මෙම කාලය තුළ උදාව පැවතීම හේතුවෙන් දරුවන්ට බත් කැවීම, දැරියන්ගේ කන් විදීම, මංගල කෙස් රොද කැපීම, අකුරු කියවීම වැනි සුබ කටයුතු සඳහා දරුවාගේ උපන් නැකතට අනුව මෙම කාලය තුළ නැකැත් යොදාගත හැකිය.

බුධ යනු නවග්‍රහයන් අතරින් ගුරුට පසුව සිටින බුද්ධිමත්ම ග්‍රහයාය. ග්‍රහ මණ්ඩලයේ නවග්‍රහයන් අතරින් ළාබාල මෙන්ම කුඩාම ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා නපුංසක ග්‍රහයෙකි.

සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2705ක පමණ විෂ්කම්භයක් ඇති ග්‍රහයෙකි. අප වාසය කරන පෘථීවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමඟම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර, මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත. ග්‍රහ ලොව ඥානකාරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොතපතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, චතුර කථිකත්වයට, කවියට මෙන්ම පොත්පත් වෙළෙඳාමට සහ මුද්‍රණ කර්මාන්තයටද බලපෑමක් දක්වන ග්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකිය.

මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර සහ කුම්භ යන ලග්නවලට සුබ ග්‍රහයෙකු වන බුධ, මේෂ, කටක, සිංහ, වෘශ්චික සහ ධනු යන ලග්නවලට තදබල පාපි ග්‍රහයා වනු ඇත. මිථුන, කන්‍යා, තුලා, මකර සහ මීන යන ලග්නවලට යෝගකාරකයා වන බුධ මේෂ, කටක, සිංහ, වෘශ්චික යන රාශිවලට මාරක ග්‍රහයා වන්නේය. යම් පුද්ගලයෙකුගේ ජන්ම පත්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමඟ සාකච්ඡාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇත. එසේම බුධ බලවත් බෙහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග්‍රහයෙකු නිසාය. බොහෝවිට බුධ ග්‍රහයා තමා සමඟ යෝගවන ග්‍රහයාගේ බලය ආරෝපණය කරගනු ඇත. එය බුධගේ ස්වරූපයයි.

බුධ බලවත්ව (උචිඡව හෝ ස්වක්ෂේත්‍රව) යම් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් සුබ ප්‍රබල බලවත් සුබ යෝගය උදා වනු ඇත. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥානවන්තයන් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇත. මේ අය නීතිය, ජ්‍යොතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයන් වන්නේය. බුධ ග්‍රහයා ජන්ම පතේ හා නවාංශකයේ දුර්වල වීම හේතුවෙන් කථාවෙහි දුර්වලතා, ලේ දෝෂ හේතුවෙන් ශාරීරික පීඩා, තුවාල, ස්නායු ආබාධ, වචනයේ අමිහිරිතා ඇති විය හැකිය. බුධට අයිති දිනය බදාදා වේ. බුධ අපල සඳහා කොහොඔ වෘක්ෂයට සාත්තු කිරීම අපල සඳහා නොවරදින පිළියමකි.

පොදුවේ ලග්න වශයෙන් ගත් කල බුධ ධනුවට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත.

මේෂ – යානවාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරියගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇති විය හැකිය. රෝහල්ගත වීමේ අවධානමකුත් තිබේ. සෙම් රෝග බහුල වන අතර, යුගදිවි සමගියට සුබදායක වනු ඇත.

වෘෂභ – කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන්බිමන් නම් අධික වෙයි. විමසිලිමත් වීම වැදගත්ය. අනතුරුවලට ලක්විය හැකිය. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබේ.

මිථුන – යම් පමණක පවුල් ජීවිතය තුළ අසහනකාරි තත්ත්ව ඇතිවන අතර, නමුත් ඉන් ප්‍රබල ගැටලු මතු නොවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබය. විදේශ ගමන්වලට එක්විය හැකිය. තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමට ද හැකිය.

කටක – උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර, අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතී. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදු වනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක් ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි.

සිංහ – විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාලසීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන්බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර, වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත.

කන්‍යා – ඔබට විවාහ වාසනා උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබය. මෙතෙක් කාලයක් අඩාළව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාළ වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

තුලා – සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍ර පලදායක වේ. අසනීපවලින් යම් සුවයක් අත් වේ. ගෘහ ජීවීතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර, රැකියාවේ ඉදිරි ගමනට යම් බධා ඇතිවිය හැකිය.

වෘශ්චික – හදිසි ගමන්බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර, අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හට ගැනීමේ ප්‍රවණතාවක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ නොලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර, මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාර ද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

ධනු – ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන් හඳුනාගත නොහැකි රෝග සෑදීමට ඉඩ තිබේ. ඒ නිසා සුබ සේම අසුබ පලත් ලැබේ. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතී. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වෙයි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමි වේ.

මකර – ස්වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට නිසි ප්‍රතිකාර නොගතහොත් සුව වීමට ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් සේම වෙනස්වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.

කුම්භ -පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. නව නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය.

මීන – ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳය. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. ආගමට දහමට නැඹුරු වන කාලයකි. නමුත් මහන්සියේ තරමට ප්‍රතිඵල නැති විය හැකිය. ඥතීන් සමඟ මතභේදවලට හේතු වනු ඇත. දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබය.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා, අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටී නැකැත් සහ 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් සහ විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division