Home » ඒ කාලෙ අපි හොරෙන්ම ආදරය කළා

ඒ කාලෙ අපි හොරෙන්ම ආදරය කළා

by thanushika
November 18, 2023 12:30 am 0 comment

ඇය රංගනයේ රමණීයත්වය මැවූ දක්ෂ රංගන ශිල්පිනියකි. පුරා දශක ගණනාවක ප්‍රතිභාපූර්ණ රංගන දිවියක මතකයන් සමඟ නිරන්තරයෙන් හමුවන ඇය රමණි සිරිවර්ධනය. අද ද අපට පුංචි තිරයෙන් දැකිය හැකි විවිධ චරිතවලට පණ පොවන ඇය සමඟයි මේ සොඳුරු කතාබහ.

රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවට එන්න ලැබුණේ කොහොමද?

රංගන ශිල්පිනියක් වීමට නම් හිතකවත් තිබුණෙ නෑ. හැබැයි පුංචි කාලෙ අපේ පවුලෙ සහෝදරියන් සමඟ එකතු වෙලා මාලනි ෆොන්සේකා මහත්මිය වගේ ඇඳගෙන විවිධ චරිත රඟපානවා. සාරි ඇඳගෙන මේකප් දාගෙන. ඒක නම් හරිම සුන්දර මතකයක්. මට හිතෙන්නෙ රංගනය මගෙ ඇඟේම තිබුණා කියලයි. මම ඉස්කෝලෙ වේදිකා නාට්‍යයක අන්දරේගෙ බිරිඳට රඟපෑවා. ඊට අමතරව බැලේ නර්තනය ඉගෙන ගත්තා. මේ හැම දෙයක්ම මට රංගනය පහසු කළා.

අනතුරුව තමා චිත්‍රපටවලට අහම්බෙන් සම්බන්ධ වෙන්නෙ.. “පෙරළිකාරයෝ” චිත්‍රපටිය රඟපෑවා. සුනිල් සෝම පීරිස්, අනෝමා වීරසිංහ වගේම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ නිමල් වීරක්කොඩි මහතායි. බය නැතුව රංගන ක්ෂේත්‍රයට මාව යොමු කරන්න කියල ගෙදර කැමති වන තැනට හිත් හැදුවෙ එයාල. ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටය ලැබුණෙ මේ කාලේ. මට මගෙ ආදරයත් මුණගැහෙන්නෙ එතකොට. එයාගෙ නම ෂෙරාට්. කොහොමහරි මගෙ අයියලා දෙන්නට නොදැනෙන්න අපි හොරෙන්ම ආදරය කළා. අයියල දෙන්න ෂෙරාට්ගෙ හොඳම යාළුවො. ඒ වුණත් පස්සෙ ගෙදර අය දැන ගත්තේ. ගෙදර අයගෙ කැමැත්ත ඇතිව අපි විවාහ වුණා.

විවාහය රංගන ජීවිතයට බාධාවක් වුණේ නැතිද?

විවාහයෙන් පස්සෙ මට දුව හම්බ වුණා. ආදරණීය මවක විදියට දුවගෙ සියලු කටයුතු ඉටු කළා. කාලය කළමනාකරණය කරගෙන රංගන කටයුතුවල යෙදුණා. චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය රඟපෑමත් සිදු කළා. විවාහයෙන් පස්සෙ මුලින්ම රඟපෑව “විසිදැල” චිත්‍රපටයෙ. මේ වෙද්දි චිත්‍රපට විසිපහකට, තිහකට වඩා රඟපෑමට හැකි වුණා. ටෙලිනාට්‍යවලත් විවිධ චරිත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරනවා නම් විවාහය රංගනයට බාධාවක් වෙන්නේ නෑ.

මේ දවස්වල කොහොමද වැඩකටයුතු?

ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරනවා. සමාජ සේවා කටයුතු බොහොමයකම නිරත වෙනවා. සිංහ සමාජය වගේම වකුගඩු සංගමයෙ අනුශාසකවරියක් විදියටත්, කඩුවෙල සංස්කෘතික බලමණ්ඩලයෙ උපලේකම්වරිය විදියටත් කලා කටයුතු රැසකට දායක වෙනවා.

කලාවත්, ජීවිතයත්, සතුට ගැනත් මොකද හිතන්නෙ?

කලාව තුළත්, ජීවිතය තුළත් මම ගෙවන්නෙ සතුටු ජීවිතයක්. මගේ දියණියට මේ වන විට දියණියක සිටිනවා. මිනිබිරියක් සිටීමත් ආදරණීය සතුටක්. දුවට හොඳ මවක වන්නට හැකිවීම, හොඳ දුවක සමාජයට දායක කිරීම මට සතුටක්.

ලෝකෙ රටවල් ගණනාවකට ගිහින් තියනවා. ජීවිතේ නිවැරදිව කළමනාකරණය කර ගැනීමත් කිසි කෙනෙකුට හිරිහැරයක් නොවන විදියට ජීවත් වෙන්න තියනවා නම් මට ඒ ඇති.

ආදරය සතුට පිරි මේ ජීවිතය ආශිර්වාදයක් ලෙසයි මම දකින්නෙ. ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරනවා. එය මේ සමාජයට යහපතක් සිදු කළ හැකි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

සමන්ති මිරියගල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division