Home » පහේ කඩුල්ල උඩින්ම පැන්න හපන්නු

පහේ කඩුල්ල උඩින්ම පැන්න හපන්නු

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment
සුමේධ විද්‍යාලයේ දිනුජ අක්මීමන සිසුවා සිය විදුහල්පති සරත් ප්‍රේමවර්ධන, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ආර්.එම්.ඩබ්. රත්නායක සහ මල්දම් අලුත්පොල සමඟින්

කුත් ඔක්තෝබර් මස 15 වැනිදා 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරු දැරියෝ 332,949ක් සිය පළමු අධ්‍යාපන කඩඉම් විභාගය හෙවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්හ.

විභාගයෙන් හරියටම මසකට පසු එනම්, ඉකුත් 16 වැනිදා එම විභාග ප්‍රතිඵල නිකුත් වූයේ සිසුන් 50,664ක් එනම් 15.22%ක ප්‍රතිශතයක් මෙවර කඩඉම් ලකුණ ඉක්මවා ඇති බව වාර්තා කරමිණි. විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ එය පසුගිය වසරේ කඩඉම සමත් ප්‍රතිශතය වූ 14.4%ට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බවයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙවර සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 154කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සීමාව 150ක් වන අතර පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149කි. අම්පාර, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 148ක් වන අතර වවුනියා, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145ක් ලෙසිනි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු 198 ප්‍රතිඵලයට හිමිකම් කියන දරුවන් 5 දෙනකු වාර්තා වූ අතර, එම ජයග්‍රහණයට හිමිකම් කීවේ ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය, ගම්පහ සුමේධ විද්‍යාලය, කළුතර මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය සහ බදුල්ල විහාර මහා දේවි විද්‍යාලයයි.

වාර්තා වූ ජයග්‍රහණ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයන් වීමට සමත් වූ සිසුන් අතරෙන් ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. හිරුෂ හේෂාන් විජේසිංහ දරුවා පැවසූ අපූරු වදන් පෙළකින් මේ පුංචි හපනුන් ඇගැයීමේ සටහනට ආරම්භය තබමු.

“ලකුණු අඩු වුණත් වැඩි වුණත් විභාගෙන් අපි සේරම පාස් කියලා හිතාගෙන ඉදිරි අධ්‍යාපන කටයුතු කරමු කියලා මම විභාගයට පෙනී සිටි හැමෝගෙන්ම ඉල්ලනවා. හොඳට ඉගෙන ගෙන අනාගතයේ හොඳ පුරවැසියෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව” එවැනි උදාර අදහස් ඇති දරුවකුගේ ජයග්‍රහණය ගැන අතිශයින් සතුටට පත්වන බව ගෝතමී විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි, ජේ.ඩී. කුමාරි ජයකොඩි පැවසුවාය.

“හිරුෂ පුතාගෙන් අපි දැකපු විශේෂත්වය ඔහු ගොඩක් පොත්පත් කියවන දරුවෙක්. දැනට වාර්තා වෙලා තියෙන විදිහට අපේ පාසලේ සිසුන් 55ක් විභාගයෙන් සමත් වී තිබෙනවා.” හිරුෂගේ පියා සිසිර විජේසිංහ පෞද්ගලික ආයතනයක පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරුවකු ලෙස සේවය කරන අතර, මව ගෘහණියකි. 2013 ජුනි 11 වැනිදා ගම්පහ ඔරුතොටදී උපන් හිරුෂ පවුලේ එකම දරුවාය. “පුතා විභාගෙන් 180-190 අතර ලකුණක් අරගෙන විභාගය ඉහළින් සමත් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. පුතාගෙ ලොකුම විනෝදාංශය පොත් කියවීම. මේ වෙද්දි එයා පොත් 200ක් විතර කියවලා තියෙනවා. ” හිරුෂගේ පියා කීවේ පුතුගේ ජයග්‍රහණය පිළිබඳ හද පිරි සතුටිනි.

ලකුණු 198ක් ලැබූ ගම්පහ සුමේධ විද්‍යාලයේ දිනුජ සෙනුල් අක්මීමන දරුවා පිළිබඳ එම විදුහලේ විදුහල්පති සරත් ප්‍රේමවර්ධන මෙසේ කීවේය.

” දිනුජ පළමු ශ්‍රේණියේ සිට මේ පාසලේ ඉගෙන ගත් දක්ෂ දරුවෙක්. හැමදාම ඉස්කෝලෙ එනවා. ඔහුගේ මවුපියන් උගත්, වැදගත් රැකියාවල නියුතු අය. දරුවත් ඒ වගේම ගුණ යහපත්. එදිනෙදා දෙන වැඩ හොඳින් කරන පන්ති කාමරය තුළ කලබලකාරී නැති, නිහඬ විනයගරුක දරුවෙක්. ඒ නිසාම එයාට මේ ජයග්‍රහණය කරා ළඟා වෙන්න පහසු වුණා කියලා මම විශ්වාස කරනවා. මෙවර විභාගයට අපේ පාසලේ දරුවෝ 517ක් ඉදිරිපත් වුණා. එයින් 260ක් සමත් වුණා. අපේ පාසල සමත් ප්‍රතිශතය සියයට 50 ඉක්මවා මෙවැනි ප්‍රතිඵලයක් වාර්තා කළ 11 වැනි අවස්ථාව මෙයයි. 2013 සිට මේ දක්වා දිවයිනේ වැඩිම සමත් සිසුන් සංඛ්‍යාවක් අපේ පාසලෙන් බිහි කිරීමට ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා” එවැනිම සතුටක් දිනූජගේ පියා හිරෝෂ් අක්මීමන සහ මව උත්පලා පීරිස් තුළ ද වේ. ඔවුහු පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින අතර, 2013 මැයි 16 වැනිදා උපන් දිනුජ පවුලේ එකම දරුවාය.

අනුරාධපුර ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ නවාංග හංසරාජ් ෆොන්සේකා ද ලකුණු 198ක් ලැබූ හපනෙකි. අනුරාධපුර සේනානායක මාවතේ පදිංචි පවුලේ එකම දරුවා වන නවංග ගේ මව නිර්මලා ප්‍රියංගනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙදියක් ලෙස සේවය කරන අතර, පියා කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරියෙකි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවකු ලංකාවේ ප්‍රථමයා බවට පත්වූ පළමු අවස්ථාව මෙය බවත් එය අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙන්ම ශාන්ත ජෝශප් මහා විද්‍යාලයට ආඩම්බරයක් බව එම විද්‍යාලයේ විදුහල්පති එම්. අජිත් අමරවීර සිල්වා පැවසීය. නවංග අධ්‍යාපනයට මෙන්ම චිත්‍ර ඇදීමට සහ ක්‍රීඩාවට ද හපනකු බව ඔහුගේ පන්ති භාර ගුරුවරයා වන ඩබ්ලිව්. එම්. චමින්ද කුමාර වීරසිංහ පැවසුවේය.

” මේ ජයග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමට උදවු කරපු අම්මට තාත්තාට වගේම ගුරු මෑණිවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම පාසලේ දෙන පැවරුම් එදිනෙදාම කළා. ඒ වගේම මගෙ අම්මයි තාත්තයි මට ලොකු පීඩනයක් දුන්නෙ නැහැ. විභාගය ඉහළින් සමත් වෙයි කියලා හිතුවට ලංකාවේ පළමුවැනියා වෙන්න ලැබෙයි කියල හිතුවේ නැහැ. ඒ නිසා මට ගොඩක් සතුටුයි. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයකු වීමයි. “නවංග සිය අනාගත සිහිනය ගැන එසේ කීවේය.

ලකුණු 198 ලැබූ පුංචි හපනුන් සොයා යද්දී ඊළඟට අපට හමු වූයේ බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා සිසුවාය. ” මගේ එකම අනාගත බලාපොරොත්තුව දක්ෂ ගුරුවරයෙක් වී මේ පාසලටම සේවය කිරීම” යැයි ඔහු පැවසුවේ මුවේ පිරි සිනාවෙනි.

බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පදිංචි සුනෙත් සඳරුවන් පෙරේරා හෙවිඳුගේ පියාය. මව ඊ. ටී. සෙව්වන්දි ය. ඔවුන් දෙදෙනාම බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ග්‍රාම නිලධාරින් ලෙස සේවය කරයි. හෙවිඳුට බාල සහෝදරයකු සිටින අතර ඔහු 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. සිය පුතුගේ ජයග්‍රහණය ගැන හෙවිඳුගේ මව සෙව්වන්දි කතා කළේ සතුටිනි.

“අපිට ගොඩක් සතුටුයි. පුතා කුඩා කාලයේ ඉඳන්ම අපි එයාගේ දක්ෂතා හඳුනාගෙන හිටිය නිසා විභාගය කියලා අනවශ්‍ය පීඩනයක් අපි එයාට දුන්නෙ නැහැ. අපි කළේ එයාගෙ හැකියාවන් ඔප් නංවා ගන්න එයාට උපරිම සහයෝගය දුන්න එකයි එයාව ශක්තිමත් කරපු එකයි. මමත් මේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා තමයි පානදුරේ පාසලකට ගියේ. හෙවිඳුගේ මවගේ සතුට එසේ වදන්වලට මුසු කළාය.

ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථමයා වීමට සමත් වූ සිසුන් පස්දෙනා අතර එක් සිසුවියක ද වේ. ඇය බදුල්ල විහාරමහ දේවි බාලිකා විද්‍යාලයේ දුලිති සන්දිනි විසුන්දර දියණියයි. එම විද්‍යාලයේ සිසුවියන් 83 දෙනකු කඩඉම් ලකුණු ඉක්මවා ඇති බවත් ඒ අතරෙන් ලකුණු 70 කඩඉම සමත් ප්‍රතිශතය 99.3%ක් බව එම විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්. ඩී. එම්. සරෝජනි පෙරේරා පැවසුවාය. ජයග්‍රාහී දුලිති දියණියගේ පියා සමිල ප්‍රභාෂ් ව්‍යාපාරිකයකු වන අතර, මව තිළිණි එරන්දි තේනුවර ඉංජිනේරුවරියකි. පවුලේ වැඩිමහල් වන දුලිතිට බාල සහෝදරියන් දෙදෙනකු ද වේ. සිය දියණියගේ ජයග්‍රහණය ගැන දුලිතිගේ මව අදහස් පළ කළේ නිම්හිම් නැති සතුටිනි.

“අපිට මෙය කියාගන්න බැරි තරම් සතුටක්. දුව ඉගෙනීමට ගොඩක් උනන්දුයි. ඒ වගේම එයා පාසලේ තූර්යවාදක කණ්ඩායම නියෝජනය කරනවා. බැඩ්මින්ටන් සහ චෙස් ක්‍රීඩා කරනවා. විභාගය කියලා පොතපතම බදාගෙන හිටියෙ නැහැ. විෂය බාහිර කටයුතුත් කළා. දුවගේ ලොකුම බලාපොරොත්තුව හොඳට ඉගෙන ගෙන නාසා ආයාතනය යන එක.”

මෙවර විභාගයෙන් ලකුණු 197 ක් ලබා ගත් සිසුන් සිවුදෙනකි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පෙලම්වත්තගේ සහන්මී දියන්සා පෙරේරා, කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ බෙන්තර විතානගේ මිතුන් ලෝචන, ගම්පහ රුග්ගහවිල උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයේ සෙයාරා සුමන්දි, රත්නපුර නවාංගර කුමාර විද්‍යාලයේ කොස්ගලගේ හිසල් දෙවිඳුනු කොස්ගල යන සිසුන් ලකුණු 197 ක් ලබා ගත්හ.

ලකුණු 196 ක් ලබා ගත් සිසුන් අතර, පාදුක්ක සිරි පියරතන කනිෂ්ට විද්‍යාලයේ හරිත් දේශාන් වැලිසර, කළුතර වෙලපුර මහා විද්‍යාලයේ මනමේන්ද්‍ර පිටබැඳිගේ සුහස් දින්සිත මනමේන්ද්‍ර, උස්සාපිටිය මාලිගාතැන්න ප්‍රාථමික විද්‍යාලයේ අලුත්ගෙදර යුහස් කෙම්සර, හලාවත ශාන්ත මේරි ප්‍රාථමික බාලිකා විද්‍යාලයේ ජෙහානා රෝමලී පෙරේරා, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලයේ මාරසිංහ මුදියන්සේලාගේ සිහත් සෙඳිල් මාරසිංහ, කිලිනොච්චිය මධ්‍ය ප්‍රාථමික විද්‍යාලයේ කිෂ්නලිංගම් ධාරුජ, යාපනය හින්දු කාන්තා ප්‍රාථමික විද්‍යාලයේ ජෙනාද් අමල්රාජ් වනීෂා යන සිසුන් වේ.

පහ වසර කඩඉම් විභාගය ඉහළින් සමත් හපන්නු අතර තවත් විශේෂ හපනකු ගැන ද වාර්තා විය. ඒ වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ උපතින්ම අත් සහ පාද උපතින්ම අහිමි වූ දරුවකු ලකුණු 160 ක් ලබාගත් බවයි. ඔහු එම්.එම්. සිතිල තෙව්ජාන් දම්යුරු ය. ඔහුගේ එක් අතකවත් ඇඟිලි පිහිටා නැති අතර, දරුවාගේ වම් අතෙහි පිහිටා ඇති ඇඟිල්ලක් වැනි අසාමාන්‍ය පිහිටීමක් උපයෝගී කරගෙන අකුරු ලිවීමේ හැකියාව ලැබී ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division