Home » ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම පිළිබඳ මැති ඇමැති මත

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම පිළිබඳ මැති ඇමැති මත

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දා ජනතාව ඉදිරියේ තමන්ට රාජ්‍ය බලය ලැබෙන උපකල්පිත කාලය සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කීවේය. ඔහු පැවසුවේ රටේ පවතින පාසල් 10,126ම සුහුරු පාසල් කර අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි බවට පත් කරන බවය. ඔහු මේ අදහස ප්‍රකාශ කරන්නේ පසුගියදා උඳුගොඩ අර්ෆා විදුහලේදීය.

විපක්ෂ නායකවරයාගේ තර්කය වූයේ රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු අධ්‍යාපනයක් වනවිට තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගැනීම ප්‍රායෝගික නොවන බවය. අධ්‍යාපන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි යොදා ගැනීම ලොව ජයගත හැකි පුරවැසියන් බිහි කිරීමට හේතු වන බවත් ඔහු පවසන්නේය. බංකොලොත් රටක ආර්ථික පරිවර්තනය විය යුත්තේ සුහුරු අධ්‍යාපනය ලබන අනාගත පරපුරකින් බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

මේ සංකල්පය අර්ථාන්විත ද. ප්‍රායෝගික ද? හිටපු අධ්‍යාපන අමාත්‍යවරු මේ සංකල්ප ප්‍රවේශය ගැන කියන්නේ කුමක් ද? මේ සංවාද ඉඩ හසර එම අදහස් දැක්වීම වෙනුවෙනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රිසියෙන් දෙන්න බෑ
– අධ්‍යාපන අැමැති නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත්

දැනට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා මාධ්‍යයන් අනුව අපට ප්‍රාථමික අධ්‍යාපනය රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් දෙන්න බෑ. හයෙන් උඩ තමයි ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්.

2000 වසරෙදි අධ්‍යාපන ඇමති හැටියට මා ඉන්න කොට තමයි 1961න් පස්සේ නොතිබුණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 6 වැනි පන්තියෙන් උඩට උගන්වන්න පටන් ගත්තේ.

මෙතෙක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්නුවේ 3 වැනි ශ්‍රේණියෙන් පස්සේ. එහෙත් මා ගිය අවුරුද්දේ පටන් ගත්තා පළමු ශ්‍රේණියේ ළමයින්ට භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. ඒකට අපි ගුරුවරු 13, 800ක් පුහුණු කරලා තමයි එම ව්‍යාපෘතිය පටන් ගත්තේ.

මේ අවුරුද්දේ මුල ජනවාරි මාසයේ පාසල් පටන් ගනිද්දි පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ඒ වැඩසටහන පටන් ගත්තා. දැන් ඒක කරගෙන යනවා. ඒ සම්බන්ධව පසු විපරමක් කරනවා.

මෙතෙක් ඉංග්‍රීසි උගන්වපු නැති දෙවැනි ශ්‍රේණිය සඳහා භාවිතයෙන් ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරුත් 14,000ක් දැන් පුහුණු කිරීමේ කටයුතු කරගෙන යනවා. පෙබරවාරි 19 අලුත් පාසල් වාරය පටන් ගත්තට පස්සේ දෙවැනි ශ්‍රේණියේ දරුවන්ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් උගන්වනවා. තුන්වන ශ්‍රේණියේ කොහොමත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පටන් ගන්නවා. මේ වැඩපිළිවෙළ ජාතික අධ්‍යාපන ආයතනය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යක්ෂවරු එක්ක දීර්ඝ සංවාදයක් තුළ තමයි සැලසුම් කරලා තියෙන්නේ.

මෙවර අය වැය ලේඛනයෙන් ජනාධිපතිතුමා යෝජනා කරලා තියනවා සැමට ඉංග්‍රීසි කියන වැඩපිළිවෙළ. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනිහිල්ලා පුළුවන් තරම් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරවනවා පාසල් පද්ධතිය තුළ.

මේක අපේ ද්වී භාෂා වැඩසටහනක්. දරුවකුගේ මවු භාෂාව සමඟ ඉංග්‍රීසි ඉගැනීම තමයි ඒකෙන් වෙන්නේ. මේකට අපි ගුරුවරුන්ව පවා සන්නද්ධ කරනවා. පශ්චාත් උපාධි ගන්න ප්‍රතිපාදන වෙන් කරනවා.

ජනාධිපතිතුමාගේ මේ අය වැය යෝජනාවෙන් සැමට ඉංග්‍රීසි කියන අර්ථයෙන් මේ දීලා තියෙන්නේ පාසල් පද්ධතිය තුළ ඉංග්‍රිසිය භාෂාවක් හැටියට ප්‍රගුණ කරන්න. මේ පරිචය විශ්වවිද්‍යාල පද්ධතියටත් වෘත්තීය පුහුණු අංශයටත් රැගෙන යා යුතුයි.

යුනෙස්කෝ ප්‍රතිපත්ති අනුව ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්න ඕන මවු භාෂාවෙන්
– හිටපු අධ්‍යාපන අැමැති, වත්මන් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

අපි මේ රටේ අධ්‍යාපන ඇමතිවරු ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල වශයෙන් කතා කරනවා. සැලසුම් කරනවා. ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.

සමස්ත රටේ මවු භාෂාවේ අයිතිය සුරක්ෂිත කරන අතර ඉංග්‍රීසි භාෂාව ඇතුළු වෙනත් විදේශීය භාෂා කුඩා කල සිට ඉගැන්වීමේ කිසිම වරදක් නෑ.

නමුත් ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන ප්‍රතිපත්තියක් ලෝකයේ රටවල්වලට ක්‍රියාත්මක කරන්න බෑ. හේතුව දරුවන් වෙනුවෙන් වන ජාත්‍යන්තර සංවිධානය වූ යුනෙස්කෝව ප්‍රාථමික අධ්‍යාපනය, මූලික අධ්‍යාපනය මවු භාෂාවෙන් ලබා දිය යුතු බවට විශ්වීය එකඟතාවක් තියනවා

ලෝකයේ ජාතියක අනන්‍යතාව රඳා පවතින්නෙ මවු භෂාවෙන්. ඒ අතර ඔවුන්ට ඕනෑම විදේශීය භාෂාවක් හෝ කීපයක් උගන්වන්න සලස්වන්න ඕන.

ඒ නිසා තමයි මම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් පත් වූ පසු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දාහක් පිහිටුවන ගමන් ලංකා ඉතිහාසයේ පළමු වතාවට, ලංකාව ඇතුළෙ භාෂාගාර දහසක් පිහිටවනු ලැබුවේ.

අප පිහිට වූ භාෂාගාරවල ඉංග්‍රීසි භාෂාව, චීන, ජපන්, ප්‍රංශ වැනි විදේශ භාෂා ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තරව ගනුදෙනු කිරීමට අවකාශ සලසන ඉංග්‍රීසි භාෂාව හැකියාව වැඩි දියුණු කිරීම රටට ඉතාම වැදගත්. සැමට ඉංග්‍රීසි කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් මෙවර අය වැයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා.

ඒ නිසා ඉංග්‍රීසි භා විදේශ භාෂාවන් ඉගැන්විය යුතුයි.

සංකල්පය හොඳයි, ක්‍රියාත්මක කිරීම අපහසුයි 
– හිටපු අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්

පාසල්වල අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි භාෂාව ලෙස නම් කිරීම ඉතාම හොඳ ප්‍රතිපත්තියක්. ඉන් අපේ දූ දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව හා ප්‍රායෝගික බව ඉහළ යනවා.

ඉංග්‍රීසි යනු ජාත්‍යන්තර භාෂාවක්. ඒ භාෂාව පිළිබඳ නිපුණත්වයක් තිබෙනවා නම් එය ලෝකයට සම්බන්ධ කරන පාලමක් වනවා. එවිට විදේශ රැකියා පමණක් නෙවෙයි. ඉංග්‍රීසි දැනුමත් සමඟ වාණිජ ක්ෂේත්‍රයේ සහ ආයෝජන, ජාත්‍යන්තර වෙළඳාම් ඇතුළු සියල්ලටම ප්‍රවේශ මාර්ග විවර වෙනවා.

නමුත් ප්‍රතිපත්තිමය විදිහට මෙවැනි යෝජනාවක් ප්‍රායෝගික කරගන්න තිබෙන ගැටලුව තමයි, ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න කිසිදු වැඩපිළිවෙළක් නැතිකම.

අපේ දර්වන්ගේ ලොකු උනන්දුවක්, උදෝගයක් තිබෙනවා ඉංග්‍රීසි භාෂාව හදාරන්න. නමුත් ඔවුන්ට ඒ සඳහා අවකාශ නැති තරම්.

ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි ඉගැන්වීමේ හැකියාව තිබෙන ගුරුවරු ප්‍රමාණවත් සංඛ්‍යාවක් ඉන්නව ද? ඔවුන් පුහුණු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් තියෙනවාද? නගරවල පවා ඉංග්‍රීසි ඉගෙන ගන්න හැකියාව තිබෙන්නේ ටියුෂන් යවලා යම්කිසි ආර්ථික ශක්තියක් තිබෙන පවුල්වල් දරුවන්ට. මෙවැනි සංකල්පයක් ක්‍රියාත්මක කරන්න ගියොත් අධ්‍යාපනය සඳහා සමාජ සාධාරණත්වය නැතිකර නොගෙන එය ප්‍රායෝගික කරන්නේ කොහොම ද කියන කාරණාව බරපතළ ලෙස කල්පනා කරන්න වෙනවා.

මෙවැනි වැඩපිළිවෙළක් සඳහා යනවා නම් ක්‍රමානුකූල පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙනවා. මේ ක්‍රමය තුළ ශිෂ්‍යයන් මෙන්ම ගුරුවරුනුත් පුහුණු වෙන්නේ මවු භාෂාවෙන්. ඒ සඳහා දැනුම සම්පත්වල පරිවර්තනය සිදු කිරීම ඉතාම ක්‍රමානුකූලව කළ යුතු වැඩක්.

6 වන ශ්‍රේණියෙන් ඉහළට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය භාෂාවක් කළ යුතුයි 
– හිටපු අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

ඉංග්‍රීසි භාෂාව දරුවන්ට අනිවාර්ය භාෂාවක් විදිහට භාවිත කිරීම කිසිදු අඩුපාඩුවක් විදිහට මම දකින්නේ නැහැ. එය ජාත්‍යන්තර භාෂාවක්. නිදහසෙන් පස්සේ ඉන්දියාව වැනි රටවල මවු භාෂාව හින්දි භාෂාව ඒ, ඒ, ප්‍රාන්තවල මවු භාෂාව සහ ඉංග්‍රිසි භාෂාවන් අනිවාර්ය කළා. ඒ නිසා ඉන්දියානුවන් ලෝකේ හැම රටකම වෘත්තිකයන් විදිහට විශාල වශයෙන් සාර්ථක වුණා.

හේතුව ඒ ජාත්‍යන්තර භාෂාව ඔවුන්ගේ පාසල් පද්ධතිය තුළට අරන් ගිය නිසා.

අපි ඉංග්‍රිසි අනවශ්‍ය භාෂාවක් විදිහට හඳුන්වලා ඉතිහාසයේ යම් වැරැද්දක් කර ගත්තා. සිංහල, දෙමළ, මවු භාෂා ප්‍රමුඛ භාෂා වෙන්න ඕනේ. එහි කිසි තර්කයක් නැහැ. නමුත් ඉංග්‍රිසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉගැන්වීම බැහැර කිරීම නිසා අපි වසර ගණනාවක් ආපස්සට ගිහින් තියනවා. ඒ වැරැද්ද නිවැරදි කරගත යුතුමයි.

ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය භාෂාවක් කිරීමෙන් ජාතියක් විදිහට රටක් විදිහට අපි විශාල ප්‍රයෝජනයක් අත්පත් කරගනීවි.

ඉංග්‍රීසි අවශ්‍ය නෑ කියන ඇතැම් නායකයන් තමන්ගේ දරුවන්ව විදේශ රටවලට යවලා ඉංග්‍රීසි භාෂාවෙන් උසස් අධ්‍යාපනය ලබා දුන්නා.

එය දේශපාලන කුහකමක්. ඒ දේශපාලනයේ වැරැද්ද නිවැරදි කරන්න ඕන. මව් භාෂාවලට අදාළ ගෞරවය ලබා දෙමින් 6 වැනි පන්තියෙන් ඉහළට ඉංග්‍රීසි අනිවාර්ය භාෂාවක් කර ඉගැන්විය යුතුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division