Home » අය වැය ගැන දේශපාලන පක්ෂ නායකයෝ කියන කතා

අය වැය ගැන දේශපාලන පක්ෂ නායකයෝ කියන කතා

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

2024 වසර සඳහා රාජ්‍ය ආදායම් සහ වියදම් ලේඛනය හෙවත් අය වැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉකුත් නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ශ්‍රී ලංකාවේ 78 වැනි අය වැය ලේඛනය වන මෙය “සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව ඔස්සේ ඉදිරිපත් කර ඇත. අය වැයෙහි දෙවැනි වර කියැවීමේ විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර, එය නොවැම්බර් 21 වැනිදා නිමාවට පත්වේ. එදින පස්වරුවේ දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීමෙන් පසු නොවැම්බර් 22 දා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වේ. තෙවැනි වර ඡන්ද විමසීම එදින සිදු කිරීමට නියමිතය. මේ මෙවර අය වැය යෝජනා ගැන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නායකයන් සිළුමිණට දැක්වූ අදහස් ය.

ඉතිහාසයේ අභියෝගාත්මකම අය වැය මෙයයි
– මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

ලංකා ඉතිහාසයේ ඉදිරිපත් කළ අභියෝගාත්මකම අය වැය ලෙස මෙම අයවැය හැඳින්විය හැකියි. ඊට හේතුව ඉතාම අවාසනාවන්ත ආර්ථික අගාධයකින් මිදෙමින් සිටියදී ගෙන ආ අය වැයක් වීමයි. අදත් අපට අර්බුද නැහැ කියලා කියන්න බැහැ. නමුත් මෙවර අය වැයේ අරමුණ වුණේ ඉදිරියේදී යළිත් එවැනි වාතාවරණයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමේ දැවැන්ත අභියෝගය හමුවේ ඒවාට විසඳුම් ලබා දීමයි.

රජයේ සුභසාධන ආධාර ලබන ජන කණ්ඩායම ලක්ෂ 20ක්. රජයේ සේවකයෝ, විශ්‍රාම වයසේ පසුවන්නන් සහ විශ්‍රාමික ප්‍රජාව ඇතුළු පිරිස ලක්ෂ 20ක් පමණ වෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරන පිරිස සමඟ මුළු රටේම පවුල් ලක්ෂ 55ක් 60ක් අතරින් ලක්ෂ 40ක් විතර ඍජුවම අය වැයෙන් සහන බලාපොරොත්තු වෙනවා. මේ සියලු දෙනාම සතුටු කරන අය වැයක් ඉදිරිපත් කිරීම විශාල අභියෝගයක්. නමුත් ජනාධිපතිතුමා මුදල් ඇමැතිවරයා හැටියට ඒ සියලු අභියෝග රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් භාරගෙනයි මෙවර අය වැය ඉදිරිපත් කළේ.

විපක්ෂයේ නායකයෝ කිසිවකු රටේ පාලන බලය ලබා ගන්නට ඉදිරිපත් නොවූ තත්ත්වයක වත්මන් ජනාධිපතිතුමා ඒ අභියෝගය භාර ගත් නිසයි රට මේ තරමින් හෝ ආරක්ෂා වී, ආර්ථිකය රැකගෙන ඉදිරියට යෑමට පටන් ගත්තේ. පතුල නොපෙනෙන මහා අගාධයකට ගිය ගමන දැන් වැළකී තිබෙනවා. ඒ බව අප අමතක නොකළ යුතුයි. රුපියල් දහදාහක් කියන්නේ උපරිම වැටුප් වැඩි වීමක්. බුද්ධිමත් රාජ්‍ය සේවකයා ඒ පිළිබඳ ධනාත්මකව සිතාවි යැයි මම විශ්වාස කරනවා.

2022 වසරේ ඩොලර් මිලියන 1,898ක් වූ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය 2023 සැප්තැම්බර් මාසය වන විට ඩොලර් මිලියන 3,500 දක්වා වර්ධනය වී තිබෙනවා. 2023 වර්ෂයේ උද්ධමන වේගය සියයට 51.7ක් වුවත් 2023 සැප්තැම්බර් වන විට එය සියයට 1.3ක්. මාස 9ක් තුළ උද්ධමන වේගය එසේ අඩු වීමට ඉකුත් අය වැය ලේඛනයේ ධනාත්මක කරුණු බලපා තිබෙන බව අපි අමතක නොකළ යුතුයි.

හොඳ යෝජනාවලට සහාය දෙන්න අපි ලෑස්තියි
– සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

අය වැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිතුමා විදිහට ජනාධිපතිතුමා අපව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක රැගෙන ගියා. පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළා යනුවෙන් පැවසූ ජනපතිතුමාගේ කතාවේ සත්‍යතාවක් තිබෙනවා. පෞද්ගලික අංශයේ අයට කිසිදු දෙයක් මෙවර අයවැයෙන් ලැබුණේ නැහැ.

බදු ප්‍රතිපත්තිය විවිධ වෙනස්කම් නොමැතිව පැවැතිය යුතුයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ආර්ථිකය හැදිය හැකියි. අපනයනය වැඩි කිරීමට හොඳ යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා.

විශ්වවිද්‍යාල ගැන මෙවර අය වැයෙන් කතාකර තිබෙනවා. එවැනි යෝජනා හොඳයි. අය වැය කාර්යාලයක් තිබිය යුතුයි. එවැනි දේවලට අපිත් අත් දෙකම උස්සලා සහාය දෙනවා.

නමුත් මේ කාර්යාල ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුයි. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න කියලා මම යෝජනා කරනවා.

තමා ඉදිරිපත් කළ අය වැයට වඩා හොඳ යෝජනා විපක්ෂයට තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිවරයා ආරාධනා කළා. අපි ඒ සඳහා සූදානම්. නමුත් විපක්ෂය ඉදිරිපත් කරන එම අය වැය යෝජනා පුළුවන් නම් කරලා පෙන්වන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මේක අය වැයක් නෙවෙයි, ණය වැයක්
– ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැයෙන් ඉතාම පැහැදිලිව පෙන්නුම් කරනවා ඔහු මේ ආර්ථිකය ගොඩගන්න උත්සාහ කරන්නේත් මේ රටේ ආර්ථිකය විනාශ කිරීමට දායක වූ නායකයන් ගමන් කළ ඒ පැරණි ක්‍රමවේදය අනුවම බව. ඒ නිසාම මෙය අය වැයක් නොව ණය වැයක් බවට පත්වී තිබෙනවා. මේ අය වැය යෝජනා තුළ ජනාධිපතිවරයා කිසි විටෙකත් පැහැදිලි කළේ නැහැ, රාජ්‍ය වියදම උපයාගන්නා ආකාරය පැහැදිලි ගණන්හිලව් සහිතව. එයින් පැහැදිලි වෙනවා වැරැදි උපකල්පන මත හදපු ඉලක්ක හඹා යෑම පහසු නැති බව.

2023 වසර සඳහා වූ අය වැය ලේඛනයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම සියයට 25ක්වත් මේ වෙද්දි සාධනය කරගත නොහැකි මට්ටමක තිබෙනවා. එසේ තිබියදී එම අය වැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිව එම යෝජනාම මේ අය වැයෙන් අලුත් යෝජනා විදිහට වෙනත් ආකාරයකින් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වෙනවා. එම නිසා ඒ යෝජනා කිසිවක් සාධනීය යෝජනා නොවන බව ද පැහැදිලියි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හතළිස් වසරකට ආසන්න දේශපාලන භාවිතය තුළ ඔහු උත්සාහ කළ, ඔහුට කර ගැනීමට නොහැකි වූ වැඩ ප්‍රමාණයක් ඉටුකර ගැනීමට ඔහු මේ අය වැය තුළින් උත්සාහ කරනවා. මේ අය වැයේ තිබෙන්නේ තිබෙන දේවල් විකුණාගෙන කන උපාය මාර්ග. මෙය ජනාධිපතිවරයා විකිණීමට දක්ෂ බව පෙන්වන අයවැයක්. ඉඩම් හිමි ඔප්පු දීම, කොළඹ නිවාස සින්නක්කර අයිතිය ලබා දීම ඓතිහාසිගත තීන්දුවක් කියලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියන්න උත්සාහ කළාට මේ කාරණා දෙක අනාගතයේදී මේ රටේ වැරැදි තීන්දු බවට පත්වනු නොඅනුමානයි.

සින්නක්කර අයිතිය ලබා දිය යුත්තේ හිතුමතේ ඉඩම් විකුණා ගෙන කන තත්ත්වයක් නිර්මාණ කිරීමට හෝ ඉඩම් හිමි ධනපති පන්තියක් නැවත බිහිවීමට අවස්ථාව ලබා දෙමින් නොවෙයි.

මේ අය වැය 2011 සහ 2016දී කර ගැනීමට නොහැකි වූ දේවල් ඉටු කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයා දරන උත්සාහයක්.

ඡන්දය ඉලක්ක කරගත් අය වැයක්
– සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මේ අය වැයෙන් අපි එක දෙයක් නම් හරියටම දැන ගත්තා, ඒ කියන්නේ එන අවුරුද්දේ ඡන්දයක් තියෙන බව. ඒ ඡන්දයට ලෑස්ති වෙලා තමයි ජනාධිපතිවරයා අය වැය කතාව කළේ. මේ අයවැය ගැන ගැඹුරින් විමසා බලද්දි කරුණු කිහිපයක් ඉස්මතු වෙනවා. අපි යා යුතු ආර්ථික දිශානතිය කුමක්ද? ඒ දිශානතියට යා යුත්තේ ඉතා බරපතළ ආර්ථික ප්‍රතිසංස්කරණයක් තුළින්. ඒ දිශානතිය හරහා යෑමේ සූදානමක් ආණ්ඩුවට තිබෙන බව පෙනුණත් එය ක්‍රියාත්මක කළ හැකි ද කියන ප්‍රශ්නය තිබෙනවා. මේක ප්ලේන් එකක ගමනක් යනවා වගේ වැඩක්, අහසින් වැටෙන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩියි. සමස්තයක් විදිහට මම දකින්නේ මෙය ඡන්දෙට ලෑස්ති වුණු අය වැයක්.

අය වැය කතාවේදී නොකී බදු වර්ග පවා පනවා තිබෙනවා. සියලුම සෞඛ්‍ය උපකරණවලට 18%ක වැට් බද්දක් පනවා තිබෙනවා. සියල්ලට පෙර ජනතාව තුන්වේල කන්නේ, බෙහෙත් ගන්නෙ, ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි. මෙරට සියයට 13ට තිබු දරිද්‍රතාව සියයට 25%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා. ආර්ථික ඝාතකයන් රට බංකොලොත් කරන්න කලින් රටේ දුප්පතුන් හිටියේ ලක්ෂ තිහයි.

අද වන විට එම පිරිස ලක්ෂ හතළිහකින් වැඩි වී තිබෙනවා. අයවැය කතාවේදි ජනාධිපතිතුමා කිව්වා, තිබුණ තැනින් ආර්ථිකය යම් තැනකට ගෙනැවිත් තිබෙනවා කියලා.

මිනිසුන්ගේ ජීවන වියදම සියයට අනූවකින් ඉහළ ගිහින්. පුළුවන් හැමෝම විදෙස්ගත වෙන්න හදනවා. එහෙම නම් මේ අය වැයෙන් ජනතාවට ලැබෙන සහනය මොකක්ද?

සමාජ පරිවර්තනයක්, විප්ලවයක් ඉක්මන් කිරීමට උදවු කරන අය වැයක්
– ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත

ජනාධිපති වික්‍රමසිංහ අයවැය ඉදිරිපත් කරමින් පැවසුවා මෙතෙක් කිසිදු ආණ්ඩුවක් ඉදිරිපත් නොකළ විප්ලවීය අය වැයක් ඉදිරිපත් කරන බව. විප්ලවයක් කියන්නේ සමාජ පරිවර්තනයක්, සමාජය තියෙන තැනින් වෙන තැනකට යන වෙනසක්. එවැනි උවමනාවකින් මුළු සමාජයම පෙළ ගැසී සිටින වෙලාවකදි එවැනි පරිවර්තනයක්, විප්ලවයක් ඉක්මන් කිරීමට මේ අය වැය ඉක්මන් වන බව නම් කිව යුතුයි. ඊට හේතුව එවැනි සමාජ පරිවර්තනයක වුවමනාව එන්නේ මිනිසුන්ට තවදුරටත් තිබෙන සමාජය තුළ ජීවත් වීමට බැරි විටයි. මේ, ඒ බැරි බව වැඩි වැඩියෙන් තහවුරු කරන අය වැයක්. එම නිසාම මේ අය වැය සමාජ පරිවර්තනයකට, විප්ලවයකට උදවු කරන අය වැයක්.

රාජ්‍ය සේවකයන්ට රුපියල් පන්දාහක් ලබා දෙනවා කියලා පත්තර මුල් පිටුවක භාගයක විතර ඉඩක් අරගෙන වාර්තා කිරීමෙන්ම මේ අය වැයේ තියෙන ලොකුම මැජික් එක එය බව පේනවා. ඊට වඩා වැදගත් බරපතළ දෙයක් මේකේ නෑ කියලා ඒකෙන්ම තේරෙනවා.

මේ අය වැයෙන් පෞද්ගලික අංශය ගැන වචනයක්වත් කතා කරලා නැහැ.

මීට පෙර ඉදිරිපත් වුණු ඇතැම් අය වැයවල කොපමණ දුර්වලතා තිබුණත් රාජ්‍ය සේවකයාට සොච්චමක් හරි දෙන වෙලාවට පෞද්ගලික අංශයේ හාමු පුතුන්ගෙන් ඉල්ලීමක් කළා මේ වැඩි කිරීමට සමාන්තර පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳව සලකා බලන්න කියලා. නමුත් මේ අය වැයෙන් හැටපන් ලක්ෂයක් වූ පෞද්ගලික අංශය මුළුමනින්ම අතෑරලා තියෙනවා. ඒ වගේම වතු ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම, 2016දී රනිල් වික්‍රමසිංහ පාලන යුගයේ ඇති කළ විශ්‍රාමික වැටුප් විෂමතාව නිවැරැදි කිරීම ගැන මේ අය වැයෙන් කිසිම දෙයක් කතා කරලා නැහැ.

මේක යූඑන්පී අය වැයක්, විරුද්ධ වෙන්න පුළුවන් පොහොට්ටුවේ අයට විතරයි
– සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

මේ අය වැය යෝජනා නරකයි කියන්න බැහැ. මේක යූ එන් පී අය වැයක්, විරුද්ධ වෙන්න පුළුවන් පොහොට්ටුවේ අයට විතරයි. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබා දී තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම වැදගත්ම දේ මෙවැනි අය වැය ලේඛන ගෙනාවට ඒ යෝජනාවලින් කොයිතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණාවයි. සාමාන්‍ය සුභසාධන යෝජනා ක්‍රියාත්මක කළ හැකි වුවත් සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යම් විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අය වැය යෝජනා තුළ එය ඉතාම වැදගත්. එයින් අපිට බලන්න පුළුවන් මේ අය වැය ලේඛනය කොච්චර හොඳද නරකද කියලා.

මේවා සුන්දර යෝජනා පමණයි
– ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්

ගියවර අය වැයෙන් ද මෙවැනිම යෝජනා රාශියක් ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් එම යෝජනාවලින් සියයට 90ක්වත් ඉටු නොකර තිබෙන අවස්ථාවක මේ අය වැය යෝජනා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු විය නොහැකියි. මොකද මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කරන්න නම් මුදල් අවශ්‍යයි. ජනාධිපතිතුමා දැනටමත් කියනවා අපේ ආදායමට වඩා වියදම ගොඩක් වැඩියි, ණය බර විශාලයි කියලා. එහෙම නම් එවැනි ණය බරක් තුරුලු කරගෙන ඉන්න ආණ්ඩුවට මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කරන්න බාධා රාශියක් තිබෙනවා. ඒ බාධක ජය නොගෙන මේ අය වැය යෝජනා කිසිම දෙයක් ක්‍රියාත්මක කිරීම අසීරු විය හැකියි.

ජනාධිපතිතුමා අය වැය කතාවේදී සුන්දර කතා කිහිපයක් කිව්වා. ඒවා සුන්දර කතා පමණයි. ඒවා ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් අපිට පෙනෙන්නේ නැහැ. ඒ වගේම එවැනි අවස්ථාවක් මේ අය වැය තුළින් බලාපොරොත්තු විය නොහැකියි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division