මහින්ද රාජපක්ෂයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ජීවිතය ඇරඹූවේ 24 හැවිරිදි වියේදීය. නොවැම්බර් 18 වැනි දින ජන්ම දිනය සමරන මහින්ද රාජපක්ෂයන් සිය දේශපාලන ජීවිතය ඇරඹුවේ බහ තෝරන වියේ සිට සිය පියා වූ පසුකලෙක වැඩ බලන ඉඩම් ඇමතිවරයා ද වශයෙන් කටයුතු කළ ඩී. ඒ. රාජපක්ෂ සමඟය.
අප මේ ලිපියෙන් අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂයන්ගේ ඉතිහාසයීය මතක සටහන් ය. මෑතකාලීන ඉතිහාසය බොහෝ දෙනකුට ආගන්තුක නැත. එහෙත් ඉතිහාසයීය මතක සටහන් ගැන අප මතක් කරන්නේ නව පරම්පරාව ඒ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක් නිසා ය.
සිරිමා බණ්ඩාරනායක රජය මඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1972 ඉදිරිපත් කිරීමේදී එම යෝජනාව පිළිබඳ මුල් යෝජනාව 1970 ජුලි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂය. වර්තමාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ද ඔහුය. 1970 මැතිවරණයේදී බෙලිඅත්තෙන් ලැබුණේ පුදුමාකාර සහයෝගයකි. එය සම කළ හැක්කේ 2010 ජනාධිපතිවරණයට පමණි.
විශේෂයෙන්ම ඔහු තරුණයකු වීමත් පියාගේ නොකැළැල් දේශපාලන දිවියත් එයට හේතුවය. එදා 1970 සියයට 80ක් පමණ පැවැත්වූයේ කුඩා රැස්වීම්ය. සෑම රැස්වීමකටම 250ක පමණ පිරිසක් එක්වූහ. වැඩිහිටියන් එතුමා ඇමතුවේ මහින්ද මහත්තයා නමිනි. තරුණ අයට අයියා හෝ මල්ලී විය. සෑම රැස්වීමකම මේසය උඩ තිබුණේ අලියා ඔරේන්ජ් බාර්ලි බෝතල් සහ බැප්ටිස්ගේ රන් කුකුළා ලකුණ දරන කේක් ගෙඩි කිහිපයක් පමණී. රැස්වීම ආරම්භයට පෙරම එතුමා සංවිධායකවරුන් සමඟ ඒවා රස විඳියි.
හැටේ දශකයේ නාලන්දාවේ විදුහල්පති වශයෙන් සේවය කළ ලියුම්කරුගේ පියා වූ ගුණපාල වික්‍රමරත්න සමඟ නාලන්දේ ආදි සිසුවකු වූ මහින්ද රාජපක්ෂයන්ගේ සම්බන්ධය පසුකලෙක සිදු විය. ඉනික්බිති අසූවේ දශකයේ සිට දශක හතරකට ආසන්න කාලයක් වෘත්තීය මාධ්‍යවේදියකු වශයෙන් ඔහු සමඟ කටයුතු කිරීම පිළිබඳව ලියුම්කරුට ඇත්තේ අසිරිමත් මතකයකි.
මහින්ද රාජපක්ෂයන් 1989 මහ මැතිවරණයට මුහුණ දුන් අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවැනි ගමන විය. 1977 මහ මැතිවරණයෙන් වසර 12කට පසු යළි පාර්ලිමේන්තුවට පැමිණියේ 1989දීය. එම යුගයේ ඔහු සමඟ සමීපව කටයුතු කළ ලියුම්කරු වසර 34කට එපිට එම අතීතය ගැන සිය මතකය මෙසේ ආවර්ජනය කරයි.
දිනය 1988 මාර්තු 04 වැනිදාය. ස්ථානය කොළඹ 07 පිහිටි ඉරෙඩ් ආයතනයයි. සුනිමල් ප්‍රනාන්දු එහි කැඳවුම්කරුය. එපමණක් නොව මහින්ද රාජපක්ෂයන්ගේ සියලු ජයග්‍රහණවල දෙවැනි ගමනේ තිඹිරි ගෙය ද එම සාකච්ඡාව වූවාට සැක නැත. එයට සහභාගි වූ පිරිස වූයේ ආචාර්ය විලී ගමගේ, කේ. එච්. ඒ. ගොඩාවත්ත, ටී. ජයසිංහ, ධර්මන් වික්‍රමරත්න, එස්. සහබන්දු, අමරසිංහ කුඩගල්ආර, ජස්ටින් දිසානායක, චමල්, මහින්ද සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන්ය.
කෙදිනක හෝ දකුණින් ජනාධිපතිවරයෙක් බිහි කළ හැකි බව කීවේ බැසිල් රාජපක්ෂයන්ය. සියලු සැලසුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය. සතිපතාම රැස්ව අප විවිධ ක්‍රියා සැලසුම් කළෙමු. ඇතැම් අවස්ථාවන්හිදී තංගල්ලේ කාල්ටන්හි ද, බැසිල් රාජපක්ෂගේ ජුබිලි කණුවේ නිවෙසේ සහ ජනාධිපතිතුමාගේ දෙහිවල නිවසේ ද සාකච්ඡා පැවැත්විණි. නව ආරක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. තංගල්ලේ කාල්ටන්හි බිහි වූ මානව හිමිකම් සුරැකීමේ සහ නීති ආධාර මධ්‍යස්ථානය ද මානව හිමිකම් ක්‍රියාකාරකම් සහ උද්ඝෝෂණ ද ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ඒ අතර විය. තංගල්ලේ කාල්ටන් නිවෙස අතුරුදහන් වූ පවුල්වල අයගේ දුක් සුසුම් සහ අඳෝනාවලින් දෝංකාර දුණි.
සියලු දෙනා ම තංගල්ල කාල්ටන්හි කඳවුරු බැඳ ගත්තේ 1989 මහ මැතිවරණයට මසකටත් කලිනි. සැලසුම් සියල්ල බැසිල් රාජපක්ෂයන් ගෙන්ය. චමල් රාජපක්ෂයන් මැදමූලනේ සිට කටයුතු කළේය. එහෙත් දෙදෙනාගේ ම ඡන්ද ව්‍යාපාරය ඒකාබද්ධ ව මෙහෙය වූයේ එවර මැතිවරණ මූලස්ථානය වූ තංගල්ලේ කාල්ටන් සිටය. කාල්ටන්හි වික්‍රමසූරිය පවුලේ වෛද්‍යවරුන් වන සේන, තිස්ස සහ සුනිල් එදා සිටම රාජපක්ෂ පවුලට ළෙන්ගතුය. ප්‍රචාරක, ප්‍රවර්ධන, සංවිධාන, ප්‍රවාහන සියලු කටයුතු භාරව සිටියේ ආචාර්ය විලී ගමගේය. ආරි වීරරත්න, ධර්මන් වික්‍රමරත්න, එම්.කේ. රංජිත්, පද්මසිරි රාජපක්ෂ, ජස්ටින් දිසානායක, කුඩගල්ආර අමරසිංහ ඇතුළු කිහිප දෙනෙක් ම එම මැතිවරණ සටනේ නියමුවන් විය. තංගල්ල තානායමේ ජයසිංහ රාළහාමි ද යටිතල පහසුකම් සඳහා නොමසුරුව අතහිත දුන්නේය.
තංගල්ල කාල්ටන්හි 1989 මහ මැතිවරණයේදී අපේ නඩයට බාහිරව වැඩ කිරීමට 200ක් පමණ විය. පැමිණි සියලු දෙනා රාජපක්ෂ පරපුරේ උග්‍ර ආධාරකරුවන්ගේ දෙවන පරපුර විය. ගමේ තරුණ අධාරකරුවන් සියලු දෙනාම රක්ෂණය කිරීමට යෝජනා කළේ අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන්ය. ඒ සඳහා හමු වූයේ කාල්ටන් අසල රක්ෂණ නියෝජිතයෙක් වූ වීරකෝන්ය. ඔහුගේ ලිපිකරු වූයේ සරත් අමරවීරය. ඉන් විදහා පෑවේ තම සගයන් වෙනුවෙන් අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් දැක් වූ කෘතවේදීභාවයයි. කාල්ටන් නිවෙසේ ද එහි පසුපස තිබුණු ශිරන්ති රාජපක්ෂයන්ගේ පෙර පාසල් භූමියේ ඉදි වූ තාවකාලික නවාතැනක සියලු දෙනාම රොද බැඳ ගෙන සිටියහ. මහින්ද සමඟින්ම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයුවේ බණ්ඩාර සහ තිලක්ය.
මහ මැතිවරණය පැවති 1989 පෙබරවාරි මාසයේ රාත්‍රි පහන් වන තෙක් ගත කළ සොඳුරු දිනයන්හිදී වසර 1970දී මහ මැතිවරණය පිළිබඳව අතීතය ආවර්ජනය කළේ ආචාර්ය විලී ගමගේය. එදා 1970දී මහ මැතිවරණයට හදිසියේ තරග කිරීමට සිදු වූ මහින්ද රාජපක්ෂයන්ට එදා උදවු කළ පිරිස අතර වෛද්‍යතිලක, විලී ගමගේ, ආරි වීරරත්න, සිංහ අබේගුණවර්ධන, පී.ජේ රත්නායක, පර්සි සූරියපටබැඳි, ජිමී සමරවීර, හෙන්රි සහ ජස්ටින් දිසානායක, මිල්ටන් විතාරණ, කේ.ඩී. හින්නි මහත්තයා පෙරමුණේ ම විය.
නේරු හින්නි මහත්තයා, අම්බල ලියන මහත්තයා, බෙලිඅත්තේ ගුණපාල මුදලාලි, සෙනරත් රාළහාමි, පුවක්දණ්ඩේ පුංචි මහත්තයා, කුඩා වැල්ලේ මුතුමාල මුදලාලි, සිරිසේන මුදලාලි, තංගල්ලේ අප්පුසිඤ්ඤෝ රාළහාමි, විල්සන් ඉස්කෝලයේ මහත්තයා, විජේතුංග විදුහල්පතිතුමා, අක්‍රම් ගුරුතුමාගෙන් ලැබූ සහය ද ඉමහත්ය. මහින්ද මහත්තයාගේ 5 ශ්‍රී 2549 මිට්ෂුබිෂි ජීප් රථයේ රථාචාර්ය වූයේ වාසල පුංචි මහත්තයාය. මහාචාර්ය ඈපාසිංහයන්ගේ බිරියට අයත් තංගල්ලේ වාසල වලව්ව 1970 මැතිවරණ මූලස්ථානය විය. හැත්තෑවේ ඡන්දයට වැය වූ මුළු මුදල රුපියල් 9,168කි. වැඩි ඡන්ද 6,600ක සංඛ්‍යාවකින් 1970දී මහ මැතිවරණයේ දී මහින්ද ජය ගෙන තිබිණි. වසර 1977 මැතිවරණයේදී හම්බන්තොට පමණක් නො ව මුළු රටින්ම ශ්‍රීලනිපය සෝදා ගියේය.
මහ මැතිවරණය පැවති 1989 වසරේ මසකට ආසන්න කාලය තුළම අධිනීතිඥ මහින්ද රාජපක්ෂයන් සමඟ වැඩ කළෙමු. ඔහු වැඩ ඇරඹුවේ අලුයම 5ටය. ඉන් පසු උදෑසන 6ට නිවසේ කාර්යාලයට එන ඔහු එදින විභාග වන නඩු සහ කළ යුතු කාර්යයන් පිරික්සයි. උදෑසන 6.30 සිට 7.30 දක්වා දිනපතා ඔහු හමුවීමට පැමිණෙන ගිරුවාපත්තුවේ අහිංසක ගැමියන් ගණන අපමණය.
ඉන් බහුතරයකම නම් ගම් කියා කතා කිරීමට ඔහු සමත්ය. මුණුබුරකු පැමිණි විට සීයාගේ නම මතකයට නංවා අතීතය ආවර්ජනය කරයි. සුව දුක් විමසයි. හැම ප්‍රශ්නයකට ම උපරිම සහනයක් එම මොහොතේ ම ලබාදීමට කටයුතු කරයි. එකල තිබුණේ ස්ථාවර දුරකථන පමණි. ඒවාට නිවාඩුවක් නැත. ඔහු කිසි විටෙක ආඳා මෙන් ජනතාවගේ ප්‍රශ්නවලින් පැන ගියේ නැත. දේසේ හැටියට වාසේ කියා නිහඬ ව සිටින්නට ද ඔහු සූදානම් නොවීය.
හෙතෙම ගමේ අක්මුල් සිඳ නොගත්තෙකි. ගම වෙනුවෙන් පෙනී සිටියෙකි. ගැමි සුවඳ හඳුනන්නෙකි. උදෑසන හෝ දිවා ආහාර ගන්නා අවස්ථාවේදී කාල්ටන් නිවෙසේ කෑම මේසය ඕනෑම කෙනකුට සැමදාම විවෘතය. ඕනෑම කෙනෙකුට උපරිමයෙන් සංග්‍රහ කිරීම ඔහුගේ ගතියකි.
එදා වැඩි ම ගැමි පිරිසක් නීතිඥ මහින්ද රාජපක්ෂයන්ට සහයෝගය පළ කළේ දම්මුල්ල, පල්ලත්තර, බෙලිගල්ල, ගැටමාන්න ඇතුළු ගම්මාන ගණනාවකිනි. ඡන්ද ව්‍යාපාරයේ නිරත වූ බොහෝ දෙනා ඇතැම් දිනයන්හි ස්නානය කළේ බෙලිඅත්ත වලස්මුල්ල පාරේ කහවත්තේ සහ තංගල්ල වීරකැටිය පාරේ කුඹුරු අසල ඇනිකට් එකේය. එවැනි විරාමයකදී ඔහු අසල නිවසක හිතවතුන් හමුවීමට යයි. තම සගයන් කිසිවකු පිළිබඳ ඔහු සැක නොකළේය. එහෙත් වරදක් දුටු විට එය එළිපිටම කියා සිටියේය. එමෙන් ම එවැනි සිද්ධියක් අමතක කර දැමීමට ඔහු නිහතමානී විය. කලගුණ සැලකීම අතින් ඔහු පෙරමුණේ ම විය.
මැතිවරණ දිනය උදා විය. ඒ 1989 පෙබරවාරි 15වැනිදාය. නිවෙසින් පිටවීමට නැකත තිබුණේ උදෑසන 6ට මොහොතකට පෙරය. එය ප්‍රබල නැකතක් බවත් ජයග්‍රහණය නියත බවත් කීවේ එය පිළියෙල කළ මහරගම ප්‍රකට දෛවඥවරයාය. නිල්, කහ, රතු, සුදු, කොළ වර්ණනයෙන් යුත් ඇඳුමෙන් විචිත්‍ර විය යුතු බව ඔහු කීවේය. නිල් වර්ණයෙන් සාගරය සහ අහස් කුස ද, කහ වර්ණයෙන් සූර්යයා ද, රතු වර්ණයෙන් ජනතාව ද, සුදු වර්ණයෙන් සමඟිය සහ සාධාරණත්වය ද කොළ පැහැයෙන් භූමිය ද නිරූපණය වීම එහි අර්ථය බව ඔහුගේ සටහනේ සඳහන් විය. පෙරමගට සුබ ලකුණ ලෙස ජල වීදුරුවක් රැගෙන පැමිණියේ ශිරන්ති රාජපක්ෂය.
ජවිපෙ විසින් ඡන්දය දමන ප්‍රථම 12 දෙනා ඝාතනය කරන බවට රට පුරා දැනුම් දී තිබේ. 1989 පෙබරවාරි 13 සිට 16 දක්වා නිල නොවන ඇඳිරි නීතියක් ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මඟින් පනවා තිබිණි. එය රටේ වඩාත් ඉහළින් ක්‍රියාවට නැඟුණේ දකුණේ හම්බන්තොටය. එම සියලු තත්ත්වයන් අභිබවමින් ජනයා පෙළ ගස්වන්නට මහින්ද සමත් විය. අපේ නඩය උපරිම ජවය සහ ශක්තිය ලබා දුන්නෝය. හෙතෙම එම සියලු බාධක බිඳගෙන හිමිදිරියේ සිටම තංගල්ල, විතාරන්දෙණිය, පුවක්දණ්ඩාව ගම් නියම් ගම්වල ජනතාව හමු විය. කාර්මික විද්‍යාල, පාසල් සහ පන්සල්වලට ඡන්දදායකයන් පැමිණියේ මී මැසි පොදි මෙණි. දහවල් වන විට සෙසු ගම්මාන ද ඒ හා සමාන විය. ධවල භීෂණයේ මරණීය තර්ජන නොතකා ගැමි ජනයා සිය යුතුකම ඉටු කළහ.
ජංගම දුරකතන එකල නොවීය. එහෙත් කිලෝමීටර් 35ක් අතර ක්‍රියාත්මක වන වෝකි ටෝකි යන්ත්‍ර කිහිපයක් සතු විය. මැතිවරණයේදී ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීමත් සමඟ ගියේ හම්බන්තොට දිසාපති කාර්යාලයටයි. ඡන්ද ගණන් කිරීමේ හම්බන්තොට මධ්‍යස්ථානයේ ඔහුගේ ප්‍රධාන නියෝජිතයන් විය. ජවිපෙ සහ එජාප ආණ්ඩුවේ මර්දනය සහ භීෂණය මැද පැවති මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ පසුවදා එනම් 1989 පෙබරවාරි 16වැනිදා පෙරවරු 11.30ට පමණය. මහින්ද සහ චමල් රාජපක්ෂ සොහොයුරෝ ජයග්‍රහණය කර තිබිණි. එය අසමසම ජයග්‍රහණයක් වූයේ පැවති අනේක බාධක සහ භීෂණය හේතුකොට ගෙනය.
යළි හම්බන්තොට කච්චේරියේ සිට තංගල්ලේ කාල්ටන් බලා පිටත් වූයෙමු. ගිරුවාපත්තුවේ ගම් පිබිදී තිබිණි. භීෂණය නොතකා නිවෙස්වලින් එළියට ආ ගැමියන් මහින්ද මහත්තයා දිනූ බව අසා කෑ ගසා නැටූහ. යන එන හැම තැනකින් ම ඇසුණේ ජය වේවා හඬ පමණි. ජයග්‍රාහී සතුට සමරන්නට මැදමූලනට සහ කාල්ටන් වෙත සෙනඟ ගලා ආහ. මහින්ද මහත්තයා ඒ ගිරිවාපත්තුවේ අහිංසක ගැමියන් සහ එක්ව සතුට බෙදාහදා ගත්තේය.
මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කිසිදු තීරණාත්මක අවස්ථාවකදී ඔහු චිත්ත ධෛර්යය අහිමි කර නොගැනීමය. බාධාවන්හිදී අපේක්ෂා සුන්කර නොගැනීමය. ඔහුගේ ජීවිතය යනු රිද්මයකි. ජීවිතයේ ගලා බැස්ම දිය ඇල්ලකට සමානය. ගලා බසින්නේ වරෙක සැඬවය; වරෙක අහිංසකවය; වරෙක නිහඬවය; වරෙක ප්‍රචණ්ඩය. එහෙත් රිද්මයානුකූලය. එමෙන්ම එය මී වදයක් සේ ඉමිහිරිද නැත. කොහොඹ දලු සේ තිත්තද නැත.
භගවත් ගීතාවේ සඳහන් කළ පරිදි ඔහු වැඩ කළේ ඉන් ලබන ප්‍රතිඵලය බලා නොවේ. ඔහු තමන් තේරුම් ගත්තේය; තම සතුරා තේරුම් ගත්තේය. සටන් දහසක් කර ජයග්‍රහණ දහසක්ද ලබා ගත්තේය. එහෙත් ඔහුට මිතුරු වෙසින් සිටි සතුරන් හඳුනා ගැනීමට නොහැකි විය. ගුරු මුෂ්ටිකයෙක් නොවන නිසා මූසිලයන් බවට පත්වූ ගෝලයන් පිළිබඳව කම්පාවක් ද ඔහුට නැත. පැරණි කියමනකට අනුව සංසාරය නැමති විෂ ගසේ මිහිරි ගෙඩි දෙකකි. ඉන් එකක් කියමන්වල රස විඳීමය. අනෙක හොඳ මිනිසුන් සමඟ ඇසුරය. එවැනි හොඳ මිනිසුන් සිය ගණනක් නොව දහස් ගණනක් මහින්ද රාජපක්ෂයන් පැරදුණ විට ඔහු තනිකර ගියේ නැත.
ලංකාවේ සම්පත් බහුල බව ද ජනතාව බුද්ධිමත් බව ද මහින්දගේ දැක්ම විය. රාජ්‍ය සේවය පුළුල් වූයේ ජනතාවට වඩා ගුණාත්මක සේවයක් ලබාදීමය. මුල්වරට 1971දී නිකුත්වූ ආයතන සංග්‍රහය ප්‍රතිව්‍යුහාත්මක වෙනසක් කිරීමට මහින්ද සමත් වූයේ නම් මැදි ආදායම් රටකට ගැළපෙන පරිදි රටේ සංවර්ධන අපේක්ෂාවන් තවත් ඉහළින්ම ඔප් නැංවීමට ඉඩ තිබිණි.
රටේ සංවර්ධනයට සැම කොටසක්ම මහින්ද එක්කර ගත්හ. උඩරට හත්මාලුව ද, මාතර ඇඹුල්තියල් ද, පුත්තලමේ බටු මෝජුව ද, යාපනයේ එළුමස් වරුවල් ද, කැකිරාවේ කුරක්කන් පිටි ද අනුභව කරන්නෝ එක පවුලක කොටස්කරුවන් බවට පත්විය. දෙමළ බෙදුම්වාදය සුනු විසුණු කළේය. තිස් වසරක යුද්ධයට තිත තැබුවේය. එහෙත් දෙමළ බෙදුම්වාදීන් ද ඔවුන්ගේ ගැත්තන් සහ ඉත්තන් ද, බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් ද එයට කැමති වූයේ නැත. මහින්ද සිය විශිෂ්ටත්වය උදා කර ගත්තේ සිය ජීවිත කාලයේදීය. අන්ධකාරය වනාහි අරුණෝදයේම කොටසකි. කිසිවකුට රාත්‍රී මාවතේ ගමන් නොකොට අරුණෝදය කරා ගමන් කළ නොහැකිය. හිරු අවරගිරින් බැස යන බව සැබෑය. එහෙත් යළි හෙට උදේ පායනු ඇත්තේ නැගෙනහිරින්මය.
මහින්ද දූරදර්ශී නායකයෙකි. එමෙන්ම නිර්භීතව ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නෙකි. කෘතවේදීත්වය පිළිබඳ හොඳම කැටපතක් වන්නේ ද මහින්ද වැනි මිනිසුන්ය. එහෙත් තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ සැම දෙයකටම නිර්භීතකම හේතුවෙන් එතුමා අත පෙවීමය. ගැමි වහර අනුව එය හැඳින්වූයේ අශ්ව කටේ අත දැමීමක් ලෙසය.
ලොව ප්‍රධාන නායකයන් දෙකොටසකි. එක් වර්ගයක් අයත් වන්නේ තමන් ගෙන ගිය වැඩ කොටස ඉවත්වීමෙන් පසුව ද අනුප්‍රාප්තිකයන් ඒවා ක්‍රියාත්මක කරන්නන්ය. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලා, මලයාසියාවේ මහතීර් මොහොමඩ් මෙන්ම මහින්ද රාජපක්ෂ ද එම ගණනයට අයත්ය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නුවර අධිවේගී මාර්ගය, ග්‍රාමීය යටිතල පහසුකම් සකස් කිරීම වැනි මහින්දගේ සෑම ව්‍යාපෘතියක්ම අදට ද වලංගුය. එම වැඩසටහහන්හි නාමයන් වෙනස් වුවද අවසාන ප්‍රතිඵලය එකමය. බුදුන් වහන්සේගේ කියමනක් අනුව දිගුකාලීනව සැඟවිය නොහැකි දේවල් 3කි. ඒ ඉර, හඳ සහ සත්‍යය වේ. සත්‍යය තේරුම් ගෙන ඇති වැසියෝ අදට ද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බාධක සහ අභියෝගවලට මුහුණ දෙමින් පෙනී සිටින්නේ එබැවිනි.
අලුත් ජීවයකින් මහපොළොව ප්‍රබෝධවත් වන්නේ වැසි වැටෙන තරමටය. එවිට අලුත් පැළ ඉපදේ. කුඩා පැළ අතු රිකිලි දරා නැඟී සිට මහා රුක්ෂයක් බවට පත්වේ. මේ මහපොළොව අලුත් කළ යුතුමය. ඒ සඳහා තව තවත් වැසි ඇවැසිමය. අලුත් අනාගතයක පෙරවදන වන්නේ ද එයයි. ඒ සඳහා අභිමානවත් මවුබිමේ අපරාජිත දේශපාලනඥයෙකු වශයෙන් පියවර දස දහසක් ඉදිරියට තබන්නට මහින්ද රාජපක්ෂට හැකිය.
අනුන් වෙනුවෙන් දකින සිහින කිසිදා සදාකාලික පැරදුම් නොලබයි. යහපත් සිහින දුටුවෝ කල්ගතවී හෝ ජය ලබති. ලොව කවදත් කොතනත් එවැනි යහපත් සිහින දකින යහපත් මිනිසුන්ට එරෙහි බලවේග සහ කුමන්ත්‍රණ දියත් වීම ස්වාභාවිකය. එහෙත් ඒවාට කළ හැක්කේ යහපත් මිනිසුන්ගේ තාවකාලික පසුබෑම් ඇති කිරීම පමණි. මහින්ද රාජපක්ෂයන්ට ද එය අදාළය.
බුද්ධිය යනු ඇතැමුන් කියන දේ නොව නොකියන දේය. පෙනෙන පෙන්වන දේ නොව, නොපෙනෙන නොපෙන්වන දේය. මතුපිට නොව ගැඹුරය. ළඟ නොව දුරය. එය විනිවිද යාමේ පරිකල්පන ශක්තිය මහින්ද සතුය.
ධර්මන් වික්‍රමරත්න