Home » කැලණිගං මිටියාවත දිග්විජය කරන අභිමානවත් තක්සලාව
හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල

කැලණිගං මිටියාවත දිග්විජය කරන අභිමානවත් තක්සලාව

by gayan
November 18, 2023 12:30 am 0 comment

හංස සන්දේශයෙහි කෑරගල වැනුමෙහි සඳහන් සරුසාර කෙත්වතු පොල් වතුවලින් පිරුණු රමණීය පුරවරයකට නෑකම් කියන මනරම් හරිත කලාපයක පිහිටි හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ අභිමානනීය පාසල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන විද්‍යාලයකි. කැලණිය අධ්‍යාපන කලාපයේ මහර කොට්ඨාසයේ ප්‍රධානතම පාසල වන මෙම විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසලයි. සුවිශේෂී අධ්‍යාපනික, ක්‍රීඩා, සෞන්දර්යය ජයග්‍රහණ නිරන්තරයෙන් ලබා ගන්නා මෙම කීර්තිමත් පාසලෙහි වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 3,462ක් වන අතර, අධ්‍යයන කාර්ය මණ්ඩලය 115කින් සහ පන්ති කාමර 70 කින් යුත් මිශ්‍ර පාසලකි.

සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ බිහි වූ 11 වැනි මධ්‍ය විද්‍යාලය වන්නේ හේනේගම මධ්‍ය විද්‍යාලයයි. වර්ෂ 1944ක් වූ මාර්තු මස 12 වැනිදා සිසුන් 180කින් හා 6 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් ආරම්භ වූ මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ඩී.ඊ. රාජපක්ෂ ය.

විද්‍යාලය ආරම්භයේ සිට වර්තමානය දක්වා විදුහල්පතිවරුන් 16 දෙනෙකුගේ නායකත්වයෙන් මෙම පාසල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇත. සුවිශේෂී මතක සටහන් ඉතිරි කළ විදුහල්පතිවරුන් ලෙස ආර්.පී.එස්. රාජපක්ෂ විදුහල්පතිතුමා සහ විජය සත්‍යජින් කුලරත්න විදුහල්පතිතුමාගේ කාලවකවානු විද්‍යාලයේ ස්වර්ණමය යුගයන් බව ආදි සිසු ගුරු මතයයි. ආර්.පී.එස්. රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ ජිම්නාස්ටික්, කරාතේ, මලල ක්‍රීඩා ඉසව් විද්‍යාලයට හඳුන්වා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල ලෙස හේනේගම මධ්‍ය විද්‍යාලය නම් කරනු ලැබිණි. කෙටි කලකට පෙර විශ්‍රාම ලැබූ විජය සත්‍යජිත් කුලරත්න විදුහල්පතිතුමා විසින් 2019 සැප්තැම්බර් 25 වැනිදා හිටපු විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරමින් විද්‍යාලයේ අභිමානනීයත්වය ඉහළටම ඔසවා තැබීය. වත්මන් විදුහල්පති යූ.වී. ගුණරත්න ගුණාත්මක හා ඵලදායක අධ්‍යාපනයක් සමඟ ක්‍රීඩා, සෞන්දර්ය විෂය සමඟාමී ක්‍රියාකාරකම් සමඟ විදුහලේ භෞතික සම්පත් සංවර්ධනය උදෙසා විද්‍යාලය මෙහෙය වනු ලබයි.

විද්‍යාලයීය දැක්ම වන ” විනයවත් පරිසරයක් තුළ විධිමත් අධ්‍යාපනය” අනුව යමින් පරිපූර්ණ ශ්‍රී ලාංකික පුරවැසියන් බිහි කිරීමට විෂයමාලානුකූල අධ්‍යාපනය මෙන්ම බාලදක්ෂ, පරිසර භට බාලක බාලිකා, ශිෂ්‍ය භට කථික විවාද මාධ්‍ය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, තාරකා විද්‍යා, තොරතුරු තාක්ෂණ සංගම්, ශිෂ්‍ය නායක නායිකා, සාහිත්‍යය, ඡායාරූප සංගම් ආදී ක්‍රියාකාරකම් රාශියක් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සුවිශේෂී පුහුණුකරුවන් සමඟ සක්‍රීයව පවතී. මෙවැනි පසුබිමක් මත සෑම වර්ෂයකදීම සමස්ත ලංකා ක්‍රීඩා හා සෞන්දර්යය ජයග්‍රහණ රාශියක් වාර්තා කිරීමට විද්‍යාලය සමත් වී ඇත.

ආසන්නතම ජයග්‍රහණ ලෙස එම්.ඒ. හිමාල් සෙනහස් සමරවීර සමස්ත ලංකා පාසල් පාපැදි ශූරතාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, අවුරුදු 18න් පහළ වොලිබෝල් බාලිකා 2022 සමස්ත ලංකා තුන්වැනි ස්ථානය, 2023 සමස්ත ලංකා සිවුවැනි ස්ථානය හා බස්නාහිර පළාත් ශූරතාව හිමිකර ගත්තේය.

අවුරුදු 13න් පහළ දැල් පන්දු සමස්ත ලංකා නියෝජනය, 2022 සමස්ත ලංකා නර්තන ජ්‍යෙෂ්ඨ සමූහ මිශ්‍ර පහතරට ගෙජ්ජි මාත්‍රය ප්‍රථම ස්ථානය, 2023 බස්නාහිර පළාත් නර්තන හා සංගීත තරගවල ප්‍රථම හා දෙවැනි ස්ථාන හිමිකරගත් අතර, 2022 චිත්‍ර සමස්ත ලංකා සම්ප්‍රදායික මෝස්තර ජයග්‍රහණය ලබා ඇත.

මීට අමතරව 2023 ගම්පහ දිස්ත්‍රික් හොඳම බාලදක්ෂ සමූහය, ශිෂ්‍ය භට බාලක බාලිකා කණ්ඩායම් 7ක් විවිධ දක්ෂතා ප්‍රකට කරමින් විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දී ඇත. ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම ගම්පහ නගර සභා විවාද තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත් අතර, සිංහල හා ඉංග්‍රීසි භාෂා හා සාහිත්‍ය තරගාවලි සුවිශේෂ තරග ජයග්‍රහණ හිමිකරගෙන ඇත. විද්‍යා ක්‍රිකට් කණ්ඩායම් විශිෂ්ට දස්කම් ප්‍රකට කරන අතර ” සියනෑ නිල් කොළ සටන ” “රුහුණු මායා මැදි මහ සටහන ” විද්‍යාලීය ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ මතක සටහන් වේ.

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මත විද්‍යාලයේ හය වැනි ශ්‍රේණිය සඳහා සිසුන් අැතුළත් කර ගන්නා අතර, 2014 වසරේ තාක්ෂණ විෂයය ධාරාව හඳුන්වා දෙමින් 1AB Supper පාසල් වර්ගී කරණයට එක් විය. ගම්පහ දිස්ත්‍රික්කයේ මිශ්‍ර පාසල් අතරින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් සෑම වර්ෂයකම වාර්තා කරන අතර, ඒ අනුව කැලණිය කලාපයේ ප්‍රමුඛතම විද්‍යාලයක් බවට පත් වී ඇත. 2022 වර්ෂයේ සමත් ප්‍රතිශතය 99.05% කි. අ.පො.ස. උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ හා තාක්ෂණ විෂය ධාරා යටතේ සෑම වර්ෂයකම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සෑම පීඨයකටම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සරසවි වරම් ලබයි.

2022 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අනුව සෑම විෂයකට A3 ලබාගත් සිසු සිසුවියන් 21 දෙනකි. වෛද්‍ය ඉංජිනේරු, නීති, කළමනාකරණ සහ තාක්ෂණ පීඨ සඳහා ඇතුළත් වීමට ඔවුහු සුදුසුකම් ලබා ඇති අතර, සෑම වසරකම සිසුහු 100කට ආසන්න පිරිසක් සරසවි වරම් ලබති.

වර්තමාන විදුහල්පති යූ.වී.ගුණරන්නගේ අරමුණ වන්නේ ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි ඉහළ අධ්‍යාපනික නිපුණතාවක් සහිත ගුණාත්මක ශ්‍රී ලාංකික පුරවැසියන් රටට දායාද කිරීමයි. ආචාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විද්‍යාලයීය සංවර්ධන ඉලක්ක ජය ගැනීමට පූර්ණ සහයෝගය ලබා දෙමින් කැපවීමෙන් ක්‍රියා කරති. මෙම සියලු අංශවල අපේක්ෂාව සමස්ත ශ්‍රී ලංකාවට වැඩදායී අනාගත පරපුරක් බිහිවනු දැකීමය.

පාසල් ගොඩනැඟිලි නවීකරණය, ක්‍රීඩා පිටිය හා පුස්තකාලය පහසුකම් සංවර්ධනය, ප්‍රධාන ශ්‍රවණාගාර පහසුකම් වර්ධනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සහිත සුහුරු පන්ති කාමර (Smart Class Room) නිර්මාණය කිරීම පිහිනුම් නටාකයක් ඉදි කිරීම සහ අධ්‍යාපනික කටයුතුවල ගුණාත්මක බව තවදුරටත් සංවර්ධනය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම විද්‍යාලයේ අනාගත සැලසුම් අතර වේ. වසර 2024 මාර්තු 12 වැනිදා විද්‍යාලයේ 80 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වන හේනේගම මධ්‍ය විද්‍යාලයට සිළුමිණ සුභාශිංසන ද එක්කරමු.

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division