Home » ඔබේ නිවසට ධනය ලැබෙන මහානුභාවසම්පන්න ශ්‍රී ලක්ෂ්මි පූජාව

ඔබේ නිවසට ධනය ලැබෙන මහානුභාවසම්පන්න ශ්‍රී ලක්ෂ්මි පූජාව

by thanushika
November 18, 2023 12:35 am 0 comment
ජ්‍යොතිර් විද්‍යාවේදිනී ගීතාංගනී ගුණසේකර

ඔබේ නිවසත් ජීවිතය ධනයෙන් බලයෙන් කීර්තියෙන් වාසනාවෙන් පුරවන නිවසට ආලෝකය ගෙනෙන ලක්ෂ්මි දෙවඟන වෙනුවෙන් පවත්වන ඉතා බලගතු පූජාවකි මේ. ලක්ෂ්මි දෙවඟනගේ ආශිර්වාදයෙන් උන්වහන්සේ වෙනුවෙන් පවත්වන පූජාවෙන් ඔබේ නිවසත් ජීවිත ආලෝකවත් කරගන්න පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය මෙලෙසිනි.

* ඉතා කුඩා තඹ කළයක්, කුඩා තඹ පහනක්, සුවඳ දුම් සහ හඳුන්කූරු, දාස්පෙතියා මල් වට්ටියක්, පලතුරු වර්ග 7, කුඩා මුට්ටියකට පොල් සහ ගිතෙල් මිශ්‍ර පොන්ගල් බත්, පඬුරු 07, බුලත් කොළ 7, සහල් මිටක්, දාස්පෙතියා මල් මාලයක්, උතුම් ලක්ෂ්මි මෑණියන්ගේ මූර්තියක්

මේ කාලය තුළ පුලුටු, මස් මාංසවලින් තොර වන්න. නිවෙස් පිරිසිදු කර දොර ජනෙල් තිර ද සෝදා පිරිසිදු කර තබා ගන්න. ඔබේ නිවසේ උතුරු දිශාවට මුහුණලා පිරිසිදු ස්ථානයක මේසයක් තබන්න. ඒ මත රන්වන් නූලෙන් වැඩ දැමු අලංකාර රෙද්දක් දමා රිදී හෝ තඹ පලඟනක් මත ශ්‍රී ලක්ෂ්මි මූර්තිය තබන්න.

දැන් උදෑසනක පොන්ගල් බත සාදා රිදී පාත්තරයක දමා සුදු රෙදිකඩකින් වසා ශ්‍රී ලක්ෂ්මි මූර්තිය ඉදිරියෙන් තබන්න. එළඟිතෙල් පහන, සුවඳ දුම්, හඳුන්කූරු, මල් වර්ග 7, පලතුරු වර්ග 7 තබන්න. අනතුරුව කිරි බෝතල් 2ක් ගන්න. ශ්‍රී ලක්ෂ්මි මූර්තිය අප්‍රමාණ භක්තියෙන් යුතුව ඉන් නහවන්න. අඹ කොළ 4ක් හතර අතට දමා ගත් තඹ කළය ගෙන දාස්පෙතියා මල් 7ක් ගෙන පූජා කරන්න. සියලු දේ පූජා කරන්න. මල් මාලය දෙවිඳුට පලඳන්න. පහන දල්වන්න. තඹ කළය තුළට පඬුරු 7 එකිනෙක දැමිය යුත්තේ ඔබට අවශ්‍ය ප්‍රාර්ථනා කරමින් ඉවර වන ආකාරයටයි. එළඟිතෙල් දමන්න.

වරු 3ක් එක දිගට මේ පහන දල්වන්න. මේ පූජාවෙන් පසු ලක්ෂ්මි දේවියට පහනක් දල්වන්න. කළ යුත්තේ එකම දෙයයි. නිවසත් වත්තත් ඔබත් ඉතාමත් පිරිසිදුව සුවඳවත්ව තබා ගැනීමයි.

මේ පූජාවෙන් අත්දුටු විස්මිත ඉතාම බලසම්පන්න නිවසට වත්තට අරක් ගත් යක්ෂයෙක් පලවා හැර රන් රිදී මුතු මැණික්, ධන ධාන්‍ය, මුදල් ගලා එන මේ පුද පූජා තැබීමේ ආනිසංස මෙලොවදීම ඔබට ලැබෙයි.

ඔබේ ජන්ම කේන්දරයේ කොටු 12 මතට සදාකල් මේ අලෝකය දල්වන්න.

ලක්ෂ්මි යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවියයි. ඇය විෂ්ණු දෙවියන්ගේ පතිනිය (බිරිය) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රිදේවියන්ට අයත් වන්නේ සරස්වති දේවිය, ලක්ෂ්මි දේවිය සමඟ ගෞරි දේවියත්ය. ඇය ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය යි. ලක්ෂ්මි දෙවඟන විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. ඇය හා නෙළුම් මල අතර විශේෂ සම්බන්ධතාවක් පවතින අතර ඇගේ බොහෝ අන්වර්ථ නාම නෙළුම් මලට සම්බන්ධ වේ. උදාහරණ ලෙස පද්ම, කමලා, පද්මශ්‍රිය, පද්මමාලාධර දේවි, පිද්ම මුඛී, පත්මාන්කිෂ, පද්ම හස්ත සහ පද්ම සුන්දරී දැක්විය හැකිය. මීට අමතරව ඇය රාමා, ඉන්ද්‍රා, මුනිශ්‍රි, චක්‍රිකා, කමලිකා, ලලිමා, නන්දිකා යන නම්වලින්ද හඳුන්වනු ලබයි.

හින්දු ධර්මයට අනුව ශ්‍රී ලක්ෂ්මි දේවිය පළමුව ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය වශයෙන් ජන්මය ලබන අතර, ඇයට තව ජන්ම දෙකක් ඇත. එකක් සෘෂි බ්‍රිගු සහ ක්‍යාතිගේ දියණිය වශයෙන් ජන්මය ලැබීම සහ අනෙක ක්ෂීර සාගරයෙන් ප්‍රකට වීමයි.

ඒ මෙසේය. කිපෙනසුලු චරිතයකින් යුතු දුවරාස නම් ඉසිවරයා වරක් පර නොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදී. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය අයිරාවන නම් ඔහුගේ රාජකීය හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදී. මෙය දුටු දුවරාස ඍෂිවරයා තමාට සිදු වූ මේ නොසැලකිල්ල නිසා මහත් කෝපයට පත් වී සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන්ගේ බලය පහ වි යා යුතුයි යැයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.

පරාජයට පත්වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහා බ්‍රහ්මයන් වෙත ගියෝය. නැවතත් ජය ලැබීමට නම් අමරණීයත්වයට පත් කරන ‘අමෘතය’ ලබාගත යුතු බවත් පැවසීය. මේ සඳහා ක්ෂීර සාගරය (කිරි මුහුද) කැලඹිය යුතු බවත් පැවසීය. මෙම කාර්ය සඳහා උදවු ලබා ගැනීම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු කුමාර් අවතාරය වේශයෙන් මන්ත්‍ර පර්වතය දණ්ඩක් ලෙස ගෙන කිරි මුහුද කැලඹීමට උදවු කළේය. නාග රජු වූ ‘වාසුකී’ ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර විය. ඉන්ද්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් දෙවිවරුන් සහ බලි රජුගේ නායකත්වය යටතේ අසුරයෝද එක්ව කිරි මුහුද කලඹන්නට පටන් ගත්තේය.

කිරි සයුර කැලඹීමේදී මතු වූ අගනා වස්තුන් අතරින් ලක්ෂ්මි දෙවඟන ද පහළ වුවාය. ඇය විසින් ශ්‍රී විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදී. සියලු මායා බන්ධන දුර්වල කිරීමේ බලය ඔහුට පමණක් තිබීම ලක්ෂ්මි දෙවඟනගේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මි දෙවඟන සාගරයේ දියණිය ලෙසද සැලකේ.

අෂ්ට ලක්ෂ්මි

අෂ්ට ලක්ෂ්මි යනු ලක්ෂ්මි දේවිගේ ස්වරූපයන් අටකි.

*ආදි ලක්ෂ්මි (ලක්ෂ්මියගේ පළමු පහළ වීම)

* ධාන්‍ය ලක්ෂ්මි (ධාන්‍ය ධනය)

* ධෛර්ය ලක්ෂ්මි (වීයර් ධනය)

*ගජ ලක්ෂ්මි (අලියා – ධනයේ සලකුණ)

*සන්තාන ලක්ෂ්මි (පරම්පරාව පවත්වාගෙන යාමේ ධනය)

* විජය ලක්ෂ්මි (ජයග්‍රහණයේ ධනය)

* විද්‍යා ලක්ෂ්මි (දැනීමේ සහ අධ්‍යාපනයේ ධනය)

* ධන ලක්ෂ්මි (මූල්‍යමය ධනය)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division