Home » ඔබ දිළින්දකු කරන මේ ග්‍රහ යෝග ඔබේ කේන්දරේ තිබෙනවාද?

ඔබ දිළින්දකු කරන මේ ග්‍රහ යෝග ඔබේ කේන්දරේ තිබෙනවාද?

by thanushika
November 18, 2023 12:30 am 0 comment

සැප සම්පත් සහිත දිවියක් ගෙවීමට අප හැමෝම කැමතිය. ජන්ම පත්‍රයේ ධනයට අදාළව ඇති ග්‍රහ සම්බන්ධතා, මහ දශා, අතුරු දශා කාලයන්හි ඇති වන සුබ තත්ත්වයන් මෙන්ම පෙර පින් බලය ද ධනය ඉපැයීමට උරුම දේපළ ධනය හිමි වීමට භූමිගත වස්තු හිමි වීමට හේතු වේ. ජීවිතයේ සැප හිමි වන යෝග වන මෙන්ම දිළිඳු බව උරුම වන යෝග ද ග්‍රහ බලපෑම් ද ඇත. සෑම ජන්මියෙකුටම මෙම දුක සැප තත්ත්වයන් පොදුය.

ජීවිතයට දිළිඳු යෝග බලපාන අයුරු විමසා බලමු.

කේතු දෙවැන්නේ සිටීම, කුජ තුලා රාශියේ සිටීම, ධනකාරක ග්‍රහයන් වක්‍ර වීම, දෙවැන්නේ තැන්පත් ග්‍රහයන් දුර්වල වීම, දෙවැන්නාධිපති හයවැන්නේ සිටීම, සඳුට රවිගේ අශුභ දෘෂ්ටිය ලැබී දෙවන භාවයේ රවි, සඳු හෝ ශනි සංයෝග වීම, ශනි කර්මස්ථානයේ සිට සඳුට අශුභ දෘෂ්ටිය ලබාදීම දිළිඳු බවට හේතු වෙයි.

ජන්ම පත්‍රයේ හයවන භාවයේ පාපී ග්‍රහයන් තැන්පත් වීමෙන් ණය බරිත වීමට සිදු වේ. රාශින්ගේ ස්වභාවය (භාවයන්හි තැන්පත්) ලග්නය හා ග්‍රහයා අතර සබඳතාවය. ජන්මය ලබන විට තිබූ ග්‍රහ බලපෑම වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටිය අශුභ වේ නම් ආර්ථික ශක්තියට ද එය බාධාවක් වෙයි. ජන්ම පත්‍රයේ 12 වන භාවයෙන් ආර්ථික අපහසුතා පැහැදිලි වේ.

සඳු, කුජ, ගුරු, සිකුරු පීඩා වීම අනිසි ලෙස මුදල් වැය වීමෙන් මුල්‍යමය පාඩු සිදුවීම, ණයගැතියෙක් වීම සිදු වේ. කේතු පීඩා වීම දිළිඳු බවට මඟ පාදයි. ජන්ම පත්‍රයේ ලග්නයේ අශුභයන් වන බාධක හා මාරක ග්‍රහයන් අදාළ රාශිවල තැන්පත්ව තිබීම ද දිළිඳු බවට හේතුවක් වෙයි.

ගුරුගේ මහ දශා කාලයේදී ගුරු අශුභ වීම ආර්ථික පාඩුවලට හේතු වන අතර ශනි අශුභ වීම නිසා (ශනි මහ දශාවේ) රැකියා බිඳ වැටීමෙන් ආර්ථිකයට හානි සිදු වෙයි. කේතුගේ මහ දශා කාලයේ කේතු අශුභ වීම ජන්මියාගේ වැය පාර්ශ්වය ඉහළ යාමට හේතු වෙයි.

රවිගේ මහ දශාවේ රවි අතුරු දශාව, ශනි අතුරු දශාව, බුධ අතුරු දශාව දැඩි ලෙස ආර්ථිකය බිඳ වැටී පීඩාවට පත් වෙයි. සඳුගේ මහ දශාවේ ශනි අතුරු දශාව බුධ අතුරු දශාව කේතු හා රවි අතුරු දශාවත් අශුභ වේ නම් ධන හානිය ඉතා බලවත්ය.

කුජගේ මහ දශාවෙහි ශනි අතුරු දශාව කේතු අතුරු දශාව සිකුරු අතුරු දශාවන්හිදී ග්‍රහයන්ගේ දුර්වලත්වය නිසාම ධනය හානි වේ. රාහු මහ දශාවෙහි ශනිගේ අතුරු දශාව බුධගේ අතුරු දශාව කේතු අතුරු දශාව ද සඳුගේ අතුරු දශාව ග්‍රහ පීඩාවන් මත රැකියා අහිමි වී ධනෝපායන මාර්ග බිඳ වැටී දැඩි ආර්ථික පසුබෑමකට ලක්වෙයි. ගුරු මහ දශාවේදී ද ගුරුගේ කුජ අතුරු දශාව හා ගුරුගේ රාහු අතුරු දශාව යෙදී ඇති වකවානුවෙහි ධන හානියට ලක්වී ණයකරුවෙක් බවට ද පත්වීම සිදු වේ.

ශනි මහ දශා කාලය තුළ උදාවන සිකුරු අතුරු දශාව සහ සඳු අතුරු දශා අශුභ ලෙස පැවතීම විශාල ලෙස ජන්මියාගේ ධනය වැය වීම හෝ හානි වීම සිදු වෙයි. බුධ මහා දශාවෙහි රවි, සඳු, බුධ අශුභ ලෙස පිහිටීම සිදු වුවහොත් උපායා ගත් ධනය නොසිතූ ලෙස නිකරුණේ වැය වෙයි. බුධගේ රාහු හා කුජ අතුරු දශාවලදී ජන්මියා දිළිඳු තත්ත්වයට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇත.

කේතුගේ මහ දශා කාලයෙහි රවි, සඳු, ගුරු, ශනි, බුධ අතුරු දශාවලදී තැන්පත් ධනය වැය වී ණය වීමට සිදු වේ. ව්‍යාපාරවලින් බොහෝ පාඩු සිදු වෙයි. සිකුරුගේ මහ දශාව තුළ උදා වන රාහු, ශනි, කේතු අතුරු දශාවන්හිදී ධනය නිකරුණේ වියදම් වේ. රවි අතුරු දශා කාලය තුළ බොහෝ ණයගැති වීමට සිදුවේ.

ශනි ඒරාෂ්ටක කාලයන්හිදී ජන්මියාගේ විවාහයෙන් පසු ආදායම් මාර්ග අවහිර වී ධන හානි තත්ත්වයට පත් වේ. රැකියා මාර්ගවලට ද බාධා සිදු වේ. කාල සර්ප යෝගවලදී ධනවත් වීම මෙන්ම දිළිඳු වීම ද සිදුවන බව දැක්වේ. අශුභ කර්තරී යෝගය, ශතෘ මාලිකා යෝගය, රන්ධු මාලිකා යෝගය, ව්‍යාමාලිකා යෝගය යෙදීම ජන්මියා දිළිඳු වීමට හේතු වෙයි.

ජන්ම පත්‍රයේ ලග්නයේ දෙවැන්නේ හා දොළොස්වැන්නේ පාප ග්‍රහයන් පිහිටීම අශුභ කර්තරී යෝගයයි. ජන්ම පත්‍රයේ හයවැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වීම ශතෘ මාලිකා යෝගය උදා වෙයි. ජන්ම පත්‍රයෙහි අටවන භාවයේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වීම රන්ධු මාලිකා යෝගයයි. දොළොස්වැන්නේ සිට පිළිවෙළින් ග්‍රහයන් තැන්පත් වීම ව්‍යමාලිකා යෝගයයි. රවි, සඳු, ගුරු, සිකුරු ධන කාරක ග්‍රහයන් දුබල වීම ජන්මියා දිළිඳු වීමට හේතු වෙයි. සඳු පුරුෂ ජන්ම පත්‍රයේ ද රවි ස්ත්‍රි ජන්ම පත්‍රයේ ද පාප ග්‍රහයන් සමඟ යෝග වීම දිළිඳු වීමට බලපායි.

ධන කාරක ග්‍රහයින් ප්‍රබලව ශුභ රාශිවල තැන්පත් වීම ජන්මියාගේ ධනය වර්ධනයට හේතු වෙයි. මෙවැනි අයුරින් ධනකාරක ග්‍රහයන් දුබලව අපල උදා කරන වකවානුවෙහි ග්‍රහ පූජා තැබීම, බෝධි පූජා පැවැත්වීම මඟින් එම අපල තත්ත්වයන් දුර වීමට හේතු වේ.

ජ්‍යොතිර්වේදී ගාමිණි ජයතිලක බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division