Home » මම ගුටිකද්දි ඔහුගේ ඇස්වලින් කඳුළු ආවා

මම ගුටිකද්දි ඔහුගේ ඇස්වලින් කඳුළු ආවා

by thanushika
November 11, 2023 12:30 am 0 comment

ගයාන් කියන්නේ ජනප්‍රිය ගායකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක්. ඔහු අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුතණුවන්. ගයාන් මේ මාසේ අලුත් ප්‍රසංගයක් පවත්වන්න ලක ලැස්ති වෙන බව දැන ගන්න ලැබුණා. ඒ ගැන වගේම ගයාන්ගේ ජීවිතේ අලුත්ම තොරතුරු ගැන කළ කෙටිකතාබහයි මේ…

ගයාන් අපට කියන්නකො මේ නොවැම්බර් 18 මොකක් ද මේ වෙන්නෙ

මගේ තාත්තා අපි අතරින් වියෝ වෙලා දෙසැම්බර් මස 08 වැනිදාට අවුරුද්දක් වෙනවා. ඒ නිසා තාත්තා වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වන්න හිතුවා. Tribute to Nuwan Live in Concert 2023 නමින්. මගේ පියාගේ අනුස්මරණ ප්‍රසංගයක්. ඔහුගේ කලා ජීවිතේ අගයන්න. මනුස්සයෙක් විදියට, සහෝදරයෙක් විදියට, සැමියෙක් විදියට වගේම තාත්තා කෙනෙක් විදියට කලාකරුවෙක් විදියට ඔහු සතුව තිබ්බ මානුෂීය ගුණාංග අගයන්න. ජීවිතේට ඔහුට කවදාවත් චිත්‍රපට ගායකයෙක් විදියට සම්මානයක් හෝ නිර්දේශයක් ලැබිලා නැහැ. හැමදාම ඔහුට ලැබුණේ ජනතා සම්මානය විතරයි. ඒ ජනතා ආදරය එක්ක ඔහුට නිසි සැලකීම කරන්න මමත් මගේ සහෝදරියත් තාත්තාගේ ගීත ගායනා කරනවා. එදාට කථනයෙන් එකතු වෙන්නේ ධනංජය සිරිවර්ධන සහෝදරයා. සංගීත කණ්ඩායම මගේම සංගීත කණ්ඩායම වන Rawds සංගීත කණ්ඩායම. ජැක්සන් ඇන්තනී මහතාගේ බාල පුත් සජිත ඇන්තනි අපිත් එක්ක එදාට ගීත ගායනා කරනවා. කවින්දයා අධිකාරි. ගයාන් උඩවත්ත. දිමිත්‍රි රාජසිංහ. පියත් රාජපක්ෂ සහ පාරදිගේ හරහා මගේ සහෝදරයන් වුණු කුසල් මධුරංග, සචින් චතුරංග, ඉඳුවර සූරිය බණ්ඩාරත් එකතු වෙනවා. පාර දිගේ කියන්නේ මගේ තාත්තා ආසම කළ නාට්‍යයක්. ඒ නිසා පාරදිගේ නාට්‍යයේ අංගයක් රඟදක්වනවා. උපරිම උත්සහයක් දරනවා තාක්ෂණිකව ජීවමානව මේ ප්‍රසංගයට නුවන් ගුණවර්ධනයන් ජනතාව අතරට ගෙන්නන්න.

තාත්තා ඉන්න කාලේ ගයාන් රඟපෑමට වැඩිය යොමු වෙනවට කැමැත්තක් තිබ්බෙ නැද්ද , සංගීතය මග හැරෙයි කියලා

මම රංගන ශිල්පියෙක් වෙනවා දකින්න තාත්තාට කැමැත්තක් තිබ්බා. කවදා හෝ චිත්‍රපටයක මාව රංගනයෙන් වගේම පසුබිම් ගායනයෙන් දකින්නත් ඔහු ආස කළා. පසුකාලීනව මම ටෙලි නාට්‍යය රංගන ශිලිපියෙක් වුණාමත් ඔහු මගේ ලොකුම රසිකයා වුණා. මගේ පළවෙනි නාට්‍යයේ ඉඳන් පාරදිගේ දක්වාම මගේ හාස්‍යය චරිතවලදී කෑගහලා හිනාවෙන අවස්ථාවන් වගේම මම ගුටිකන චරිතවලදී ඔහුගේ ඇස්වලට කඳුළු එනවා මම දැක්කා. තාත්තා හැම වෙලේම කිවුවෙ ඔයාගේ මාර්ගය ඔයා හොයා ගන්න. ඒක ගායනය ද නිවේදනය ද රංගනය ද කියන එක හෝ වෙනත්ම දෙයක් ද කියන එක මට භාර කරලා තිබ්බේ. මගේ වපසරිය ඇතුළේ මට යාමට ඔහු උපරිම නිදහස දුන්නා.

අපි දන්න විදියට තාත්තා බොහොම ආදරණීය චරිතයක්, තාත්තාගේ අඩුව එදාට වඩා අද තදින් දැනෙන තැන් ඇති නේද?

මගේ තාත්තා කියන්නේ පුදුමාකාර සුන්දර නිහතමානී මනුස්සයෙක්. ඒ ආදරේ ළෙන්ගතුකම සහ ඒ සංවේදීකම පුදුමාකාර විදියට ගැබ් වුණු චරිතයක්. මගේ ජීවිතේ අත්දැකීම් හැමදෙයක්ම මම ඔහු එක්ක බෙදා ගත්තා. තාත්තගේ ජීවිතේ අත්දැකීම් මට කියලා තියෙනවා. මගේ අතින් වැරද්දක් වුණත් මට ගහන්නේ බණින්නේ නැතුව කතා කරලා එයාගේ අතින් වැරද්දක් වුණු විදිය මට මතක් කරලා දීලා, මට එහෙමයි වුණේ පුතේ කියලා ඒ අත්දැකීම් මා එක්ක බෙදා ගෙන තමයි මගේ ජීවිතේ වැරදි නිවැරදි කළේ. මගේ ජීවිතේ ආදරේද විරහවද ඕනේ දෙයක් බය නැතුව බෙදා ගන්න පුළුවන් මිත්‍රයෙක් බවට මගේ තාත්තා පත්වුණු හින්දා. මට කිසිම දෙයක් හංගන්න තිබ්බේ නැහැ. ඒ මිත්‍රයා මගෙන් ගිලිහුණු දවසේ ඉඳන් ඒ අඩුව පුරවන්න කෙනෙක් තවම ලැබිලා නැහැ. නුවන් ගුණවර්ධනට අයිති ඔහුගේ නිර්මාණයක් මම. තාත්තා නැති අඩුව කවදාවත් මගේ ජීවිතේ පිරවෙන්නේ නැහැ. ඒක මම තාත්තා කෙනෙක් වුණු දවසට තාත්තට දැනුණු හැඟීම මට තේරෙයි මොකක්ද පිය පදවිය කියන එක. ඒ නිසා තාත්තා එක්ක මම ගතකරපු ඒ සුන්දර අතීතය මට ආයේ ගන්න තියෙන්නේ මමත් තාත්තා කෙනෙක් වුණු දවසක කියන එක මගේ හිතේ තියෙනවා.

අක්කව එතරම් අපිට සමීප වෙන්නෙ නැහැ. හැබැයි මේ ප්‍රසංගයට අක්කත් ගී ගයනවා, ඇය ගැනත් කිව්වොත්?

මගේ අක්කා දුලාරි ගුණවර්ධන. ලංකාවේ හින්දි හරියටම උච්චාරණය කරලා ගීත ගායනා කරන්න පුළුවන් අය ඉන්නේ අතළොස්සයි. ඒ අතරින් ටෝනි හසන් සහ නුවන් ගුණවර්ධන කියන්නේ අංක එකේ ගායන ශිල්පීන්. එවැනිම ගායන ශිල්පිනියක් මගේ සහෝදරිය. ඇයට හින්දි බස ලියන්න කියවන්න හොඳ හැකියාවක් තියෙනවා. හින්දි ගීත නිවැරදිව උච්චාරණය කරනවා. මමත් උපරිම උත්සහ කරනවා නිවැරදිව උච්චාරණය කරමින් ගයන්න. මෙච්චර කල් තාත්තාගෙන් මම ගත්ත උපදෙස් මගේ සහෝදරියගෙන් මම ගන්නවා. ඇය ගීත ගායනයට මෙච්චර කල් යොමු වුණේ නැහැ. ඇයගේ පළවෙනි ප්‍රසංගය Tribute to Nuwan. මගේ තාත්තා ගොඩක් ආසාවෙන් හිටියා ඇයගේ දක්ෂතා පෙන්වන්න. ඒ නිසා මගේ සහෝදරියගේ දක්ෂතා පෙන්වන්න සහ තාත්තාගේ එක හීනයක් සැබෑ කරන්නත් ලැබුණු අවස්ථාවක් විදියට ගන්නවා.

ප්‍රසංගයේ සංගීත කණ්ඩායම ගැනත් මතක් නොකළොත් අඩුවක් වෙයි?

RAWDS සංගීත කණ්ඩායම. එදාට සංගීත කණ්ඩායම ලීඩ් කරන්නේ අපේ කී බෝර්ඩ් වාදන ශිල්පී ශම්මික ගීශාන්ත්. ලීඩ් ගිටාර් එකෙන් මනුජ ප්‍රනාන්දු. ඩ්‍රම්ස් වාදනයෙන් සෙව්නෙත් දේවාෂ්. රිදම් ගිටාර් වාදනයෙන් ඉඳුවර සූරිය බණ්ඩාර. ෆොගෂන් වාදනයෙන් සචින් චතුරංග. රිදම් සහ ගායනයෙන් ධශෙන් මෙන්ඩිස් සහ බ්‍රෙස් වාදනයෙන් රෙහාන් ෂෙහාර තමයි නිල නිත්‍ය ශිල්පීන් වෙන්නේ. ඊට අමතරව තවත් වයලීන්, ගිටාර්, බටනලා සහ ෆොගෂන් වාදන ශිල්පියෙක් එකතු වෙලා පරිපූර්ණ ඔකෙස්ට්‍රා සංගීත කණ්ඩායමක් එක්කයි එදාට ගීතවලට පණ දෙන්න සුදානම් වෙන්නේ. RAWDS සංගීත කණ්ඩායම ගැනත් කිව්වොත් මේ සංගීත කණ්ඩායම නිර්මාණය වෙන්නේ පාරදිගේ නාට්‍යය හරහා. පළවෙනි වතාවට ටෙලි නාට්‍යයක් හරහා නිර්මාණය වුණු සංගීත කණ්ඩායම. ඒ ගැන මට ආඩම්බරයක් තියෙනවා. එහි නායකයා කියනවට වඩා මම කැමති මම මේ කණ්ඩායමේ සහෝදරයන් හත් දෙනාගේ අයියා කියන්න. මම තමයි ඉන්න වැඩිමලා. අපි හැමෝම එක කණ්ඩායමක්. අපි අට දෙනාම මෙහි නායකයෝ. අපි අතර තියෙන්නේ පුදුම බැඳීමක්. අපි හැමෝම එකිනෙකට හරිම ආදරෙයි. පවුල් කනවට වඩා අමාරුයි කොල්ලෝ අට දෙනෙක් එක්ක ඒ තියෙන සබඳතා කැඩෙන්න බිඳෙන්න නොදී පවත්වා ගැනීම. ඒ සම්පූර්ණ වගකීම මම අරගෙන හැමකෙනාගේම දක්ෂතා එක්ක යන ලස්සන ගමනක අපූරු ප්‍රසංගයක් වන එක නොඅනුමානයි මේ Tribute to Nuwan Live in Concert එක.

ලබන අවුරුද්දේ ගයාන්-පූජනීට මංගල සීනු හැඩවෙනවා කියන්නෙ ඇත්තද?

පළමුව මේ ප්‍රසංගය සහ දෙවනුව දෙසැම්බර් මාසේ මගේ තාත්තගේ දානමය පින්කම ඉවර වුණාම මමත් පූජනීත් තීරණය කරලා තියෙනවා ලබන අවුරුද්දේ විවාහ වෙන්න. අවාසනාව කියන්නේ මගේ මංගල දිනය දකින්න සහ මගේ දරුවෙක් දකින්න මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. කවදා හරි මගේ දරුවෙක්ට ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ උතුම් සීයා කෙනෙක් හිටිය එක ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නේ.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division